ජනතා මත ඩෝසර් කළ නීති විරෝධී පෝට් සිටි පනත

පෝට් සිටි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අප්‍රේල් අට වැනිදා ය. අප්‍රේල් නව වැනිදායින් පාර්ලිමේන්තුවේ සභා වාරය අවසන් වුණේ ය. එතැන් සිට දහය, එකොළහ, දොළහ, දහතුන සහ දහහතර යන දින පහ ම නිවාඩු දින වූයේ ය. කවදාවත් නැති විදියට දොළොස් වැනිදාත් නිවාඩු දුන්නේ ය. නැවත රාජකාරී ආරම්භ වූයේ අප්‍රේල් පහළොස් වැනිදා ය. මේ ගෙවුණු සතිය ඇතුළත වැඩ කරන දින තිබුණේ, තුනක් පමණකි. පනත ඉදිරිපත් කළ දවස හැරුණා ම හරියට ම දින දෙකකි. සාමාන්‍යයෙන් මෙතෙක් පැවැති ව්‍යවස්ථා නීතිය අනුව යම් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව සති දෙකක කාලයක් තුළ එය උසාවිය ඉදිරියේ අභියෝග කළ හැකිව තිබිණි. එහෙත්, එය නන්දසේන පාලනයෙන් පසු මුළුමනින් ම වෙනස් කළේ ය. එය සිදු කරන ලද්දේ විසිවැනි සංශෝධනය මඟිනි. මුලින් ම ගෙන ආ විස්සෙහි හදිසි පනත් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති වගන්තියක් ද තිබිණි. එයට එල්ල වූ බරපතළ විරෝධයත් එක්ක ‘සතියක් තුළ’ කියන කෙටි කාලසීමාව යන්න ඇතුළත් වූයේ ය. එය එසේ නොවූයේ නම්, පෝට් සිටි පනත ගෙන එන්නේ හදිසි පනතක් ලෙස බව පැහැදිලි ය.

ලැබිච්ච කෙටි කාලය තුළ විවිධ පාර්ශ්ව කෙසේ හෝ අධිකරණය ඉදිරියට ගියහ. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මෙය සැලකිල්ලට ගත්තේ ය. අධිකරණ තීන්දුව එන්නත් කලින් මැයි මාසේ හතර වැනිදා පාර්ලිමේන්තුව තුළ මෙය හදිසියේ සම්මත කර ගන්නට උත්සාහ ගත්තේ ය. අධිකරණ තීන්දුව ප්‍රමාද විමත් සමඟ ආණ්ඩුවේ පළමුවැනි කැත උත්සාහය අසාර්ථක වුණේ ය. ඉන් නොනැවැතී නැවත කෙසේ හෝ හදිසියේ මෙය ගැනීම ආණ්ඩුවේ නිර්ලජ්ජිත උත්සාහය වුණේ ය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඉදිරිපත් කොට පහුවදා ම මෙය විවාදයට ගත්තේ ය. එහි දී අධිකරණය ලබා දුන් තීන්දුව ඉතාමත් බරපතළ ය; තීරණාත්මක ය. එහි පැහැදිලිව ම පනත රටේ මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් විය. වගන්ති නවයක් ම තුනෙන් දෙකේ ඡන්දයකින් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු යැයි කිව්වෙ, ඒ නිසා ය. එනම්, පවතින ව්‍යවස්ථා නීතියට පටහැනි දෙයක් පාර්ලිමේන්තු නියෝජිතයන්ට පමණක් තීන්දු කළ නොහැකි බව ය. ඒ වාගේ ම තවත් වගන්ති නවයක් තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත විය යුතු බව සඳහන් වුණේ ය. ඒ කියන්නේ, මුලින් ම ඉදිරිපත් කළ පනත රටේ මූලික නීතියට මුළුමනින් ම පටහැනි බව අධිකරණය තීන්දු කළේ ය. මෙවැනි නීති විරෝධී පනතක් ආණ්ඩුව කඩිමුඩියේ, හදිසියේ සම්මත කර ගන්නට උත්සාහ දැරීම ම වංචාකාරී ය.

උසාවි තීන්දුවෙන් පසුව හදිසියේ පනතට සංශෝධන ගෙන එමින්, තමන්ගේ පාර්ලිමේන්තු බලය පාවිච්චි කර ගනිමින්, මෙය සම්මත කර ගන්නේ ය. එහෙත්, මේ රටේ ජනතාවට මේ පිළිබඳව කිසිදු අදහසක් ලබා ගන්නට හැකියාවක් නැත. අඩු ම ගණනේ එහි යම් වාසියක් ඇත් නම්, එයවත් දැනගන්නට සාධාරණ කාලයක් නැත. විශේෂයෙන් ම මේ රටේ ආගමික නායකයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, බුද්ධිමතුන්, සාමාන්‍ය ජනතාව ආදී මේ කිසිවකුට මේ ගැන සංවාදයක් ඇති කර ගන්නට ඉඩක් නැත. මුළු රට ම කොරෝනා මරණ බියෙන් වෙව්ලද්දී, ඒ අස්සේ ආණ්ඩුව සිදු කරන්නේ බරපතළ අසාධාරණයකි.

තීන්දුවේ පැහැදිලිව කියන්නේ, පෝට් සිටියට අදාළ කොමිසම මඟින් එකී ප්‍රදේශය තුළ සියලු පාලන කටයුතු මෙහෙයවීම ව්‍යවස්ථාවට පටහැනි බව ය. එනම්, ජනතාවගේ පරමාධිපත්‍ය බලය ඇත්තේ, පාර්ලිමේන්තුවට බවත්, එය වෙනත් කිසිදු පුද්ගලයකුට හෝ ආයතනයකට හෝ පවරා දිය නොහැකි බවත් ය. ජනතා පරමාධිපත්‍යයේ මූලික දෙයක් වන්නේ පාලන බලතල ය. ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ලද පාර්ලිමේන්තුවකට පවරා ඇත්තේ, එකී පාලන බලතල ය. එය වෙනත් කොමිසමකට පැවරීමක් කිසිසේත් ම කළ නොහැකි බව තීන්දුවෙන් අවධාරණය කෙරී ඇත. පෝට් සිටි පනතෙන් කරන්න ගියේ, ඒ සඳහා වූ වෙනම ම කොමිසමක් පත් කොට එහි සියලු පාලන බලතල එකි කොමිසම වෙත පැවරීම ය. එනමුත්, අධිකරණය එය බරපතළ වැරැද්දක් ලෙස පෙන්වා දුන්නේ ය.

දෙවැන්න මූල්‍ය බලතල ය. ව්‍යවස්ථාවේ එකසිය හතළිස් අට වැනි වගන්තියේ මූල්‍ය බලතල පවරා ඇත්තේ, පාර්ලිමේන්තුවට ය. පනතෙන් කරන්න ගියේ, වරාය නගරය තුළ සියලු මුදල් කටයුතු කොමිසම මඟින් සිදු කරන්නට ය. එකී මූල්‍ය ගනුදෙනු පිළිබඳව පාර්ලිමේන්තුවට වග කියන තත්ත්වයෙන් නිදහස් කර ගැනීමට ය. අඩු ම ගණනේ විගණනයටවත් ඉඩක් නොතැබීමට ය. විදේශ මුදල් ව්‍යවහාර කර ලැබෙන මුදල් සියලු ආදායම් කොමිසම මඟින් පාලනය කරන්නට ය. ලැබෙන ආදායම් ශ්‍රී ලංකා රජයට නොව කොමිසම වෙත ලබා ගැනීම එහි අරමුණ විය. එහෙත්, අධිකරණය එය මුළුමනින් ම ව්‍යවස්ථා නීතියට පටහැනි බව පෙන්වා දුන්නේ ය. එසේ කළ හැක්කේ ජනමත විචාරණයකින් නොහොත්, සමස්ත ජනතාවගේ කැමැත්තෙන් පමණක් බව අවධාරණය කෙරිණි.

තුන්වැනිව රටේ නීතියේ සාධාරණත්වය, සමානාත්මතාව එක හා සමානව සර්ව සාධාරණව සෑම තැනකට ම ඒකාකාරීව සිදු විය යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් ය එනමුත්, පෝට් සිටි පනත අනුව වරාය නගර කලාපයට ක්‍රියාත්මක වන්නේ වෙනත් නීතියකි. රටේ සාමාන්‍ය නීතිය නොවේ ය. එනම්, එක රටක් කිව්වාට නීති දෙකක් ක්‍රියාත්මක වීමකි. මෙය ද ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි. මේ ආණ්ඩුව බලයට පත් වුණේම ‘එක රටක් – එක නීතියක්’ යන්න පෙරටු කරගෙන ය. එහෙත්, එයට මුළුමනින් ම විරුද්ධ තත්ත්වයක් මේ පනත හරහා ක්‍රියාත්මක කරන්නට උත්සාහ දැරුවේ ය. උසාවිය මඟින් වැළැක්වූයේ එයයි.

සාමාන්‍යයෙන් මෙවැනි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට පෙර ආණ්ඩුවෙ නීතී කෙටුම් පත් අංශය වෙත යවන්නේ ය. නීතියට පටහැනි දේවල් ඇත් නම්, ඒවා පෙන්වා දෙන්නේ ය. මෙහි දී ද එය කළ බව පෙනෙන්නට තිබේ. එහෙත්, දේශපාලන වුවමනාවට අනුව හිතාමතා ම “නීතියට පටහැනි දේවල් මෙයට ඇතුළත් වූවාට කමක් නැත යන්නෙහි සිටි බව පැහැදිලි ය. මෙතරම් චීනයට භය පක්‍ෂපාතී වී ඇති වුවමනාව ආර්ථික හා පවුලේ වුවමනාවක් ය යන්න දැන් පැහැදිලි ය. දැන දැන මෙවැනි වැරැද්දක් කරන්නට උත්සාහ දැරුවේ චීනයට තම පවුලේ ඇති භය පක්‍ෂපාතීත්වය නිසාවෙන් ම ය. එය හුදෙක් මතුපිටින් පෙනෙන තරම් සරල දෙයක් නොවේ ය. රාජපක්‍ෂ පාලනය රඳාපවතින්නේ ම චීනය මත ය යන්න දැන් පැහැදිලි ය. ඒ වෙනුවෙන් ඕනෑ ම වන්දියක් ගෙවීමට සූදානම් බව මේ සිද්ධ වෙච්ච දේවල්වලින් පැහැදිලි ය.

උසාවි තීන්දුවෙන් පසුව හදිසියේ පනතට සංශෝධන ගෙන එමින්, තමන්ගේ පාර්ලිමේන්තු බලය පාවිච්චි කර ගනිමින්, මෙය සම්මත කර ගන්නේ ය. එහෙත්, මේ රටේ ජනතාවට මේ පිළිබඳව කිසිදු අදහසක් ලබා ගන්නට හැකියාවක් නැත. අඩු ම ගණනේ එහි යම් වාසියක් ඇත් නම්, එයවත් දැනගන්නට සාධාරණ කාලයක් නැත. විශේෂයෙන් ම මේ රටේ ආගමික නායකයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, බුද්ධිමතුන්, සාමාන්‍ය ජනතාව ආදී මේ කිසිවකුට මේ ගැන සංවාදයක් ඇති කර ගන්නට ඉඩක් නැත. මුළු රට ම කොරෝනා මරණ බියෙන් වෙව්ලද්දී, ඒ අස්සේ ආණ්ඩුව සිදු කරන්නේ බරපතළ අසාධාරණයකි. ජනතාවගේ හඬට කන් දෙමින්, ඒවාට යම් හෝ ඉඩක් ලබා දෙමින්, මෙවැන්නක් සිදු කිරීම සාමාන්‍ය සදාචාරයයි. එකී සදාචාරයවත් රකින්නේ නැතිව නිර්ලජ්ජිත ලෙස මේ ක්‍රියාවට නඟන්නේ අත්තනෝමතිකත්වයයි.

පනත සම්මත කර ගන්නට පෙරාතුව සංචරණ සීමා ඉවත් කළේ ය. පනත සම්මත වූ විගස නැවත සංචාරණ සීමා පනවන්නේ ය. මේ කරන්නේ, ජනතා හඬ, ජනතා විරෝධය යටපත් කර දැමීම ය; බලහත්කාරය යෙදවීම ය. රටේ බහුතරයක් ජනතාව ඡන්දය දුන්නේ මෙවැනි උමතු වැඩ කරන්නට නොවේ ය. දවසට තිහ හතළිහ මැරීවැටෙද්දී, හිතක්, පපුවක් නොමැතිව ඒ පිළිබඳව කිසිවක් නොකර මෙවැනි තක්කඩි වැඩ කරන්නට නොවේ ය. ජනතා හඬ කොරෝනා වසංගතයෙන් තාවකාලිකව යටපත් කළ ද, එය සදාකාලිකව යටපත් කළ නොහැකි ය. ජනතා හදවත්වල බුර බුරා නැඟෙන විරෝධය මහා දැවැන්ත පුපුරා යාමකට පෙරළෙනු ඇත. එයට වැඩ ඈතක් නැත. කොරෝනා අර්බුදය ඇතුළේ නන්දසේනගේ හැසිරීමත්, ආණ්ඩුවේ නොමනා හැසිරීමත් හැමදා ඉවසා සිටින්නේ නැත. එය ගිනි කන්දක් පුපුරා යන්නා සේ පුපුරා යන විට අද ඔය ඔලමොට්ටල තීන්දු තීරණ ගන්නා අයට සිද්ධ වෙන්නේ කුමක් ද යන්න ඉතිහාසයේ සිදුවීම් දන්නා අයට නම් අලුතෙන් පැහැදිළි කළ යුතු නැත●

ජගදාක්‍ෂි

 

 

 

Leave A Reply

Your email address will not be published.

5 − four =