එල්. ටී. පී. මංජුශ්‍රී – නූතනවාදී සිත්තරෙක්…

Nun and Noble Female Devotee නමින් 1973 දී කඩදාසිය මත වෝටර් කලර් වලින් එල්. ටී. පී. (ලොකු කංකානම්ගේ තෝමස් පීරිස්) මංජුශ්‍රී | 1902 – 1982 | විසින් අඳින මේ සිතුවම මා පෙරේදා දුටුවේ මාගේ උපන්දිනය වෙනුවෙන් විදර්ශන කාර්‍ය මණ්ඩලය මට තිළිණ කළ L. T. P. Manjusri – Artist and Scholar කෘතියෙනි.
මංජුශ්‍රී ගේ මේ සිතුවම දුටු සැණින් මගේ මතකයට නැගුණේ ප්‍රංශ ජාතික සිත්තර ගොගෑන්ගේ Two Thahitian Women සිතුවමය.
ගොගෑන් එකී සිතුවම තුළ ස්ත්‍රී ස්වභාවයන් දෙකක් තුළින් වර්ණ සුවිශේෂතා හා පිහිටුවීම් සුවිශේෂතා දෙකක් මතින් එකී යුගයේ සමාජ සංස්කෘතික සිතීම හා කලා භාවිතාව තුළ උත්කර්ෂයට නැංවී තිබූ උපස්තිථිවාදී භාවිතාවේ වර්ණ දේශපාලනය ප්‍රශ්න කරනු ලබතැයි මම විශ්වාස කරමි.
ඒ ගැන මා මීට පෙර ලියූ සටහනක සබැඳිය මේ සමග වේ.

මංජුශ්‍රී ගේ මේ සිතුවම තුළත් ගොගෑන්ගේ Two Thahitian Women හී ජ්‍යාමිතික ලක්ෂණ නොඅඩුව මතුවී පෙනේයැයි මට සිතේ.
මේ සිතුවම තුළ සිටින්නේ දිව්‍ය අප්සරාවක හා මෙහෙනියක වේ.
ඔවුන් දෙදෙගෙනාගේම ශරීර උස හා හැඩ ස්වභාවයන්ද එක සමාන වේ.
ඔවුන්ගේ ශරීර අංග වල ඇතැම් පිහිටුවීම් දෙදෙනාගේ සංස්කෘතික හික්මීම් හී ස්වභාවන් අනුව කුඩා වෙනස්කම් පෙන්නුම් කළද (උදාහරණයක – ඇස් පිහිටුවන ආකාරය, දකුණත් හී දරනා සුදු නෙළුම් මල් හී උඩට එසැවී හා පහතට නැමී ඇති ද්විත්ව ස්වභාවය…ආදිය) මේ ස්ත්‍රීන් දෙදෙනා එකම ස්ත්‍රී ස්වභාවයක ද්වීවිධ ආකාරයන් පෙන්නුම් කරයි.
සීගිරි චිත්‍රවල පැනෙන ශ්වේත ස්ත්‍රීන් හා නීල ස්ත්‍රීන් සංකල්පයේ වන ද්වීවිධත්වය අනෙක් ආකාරයකින් ලෞකික හා ලෝකෝත්තර භාවිතාවේ දෙපාර්ශවයද මංජුශ්‍රී මෙම සිතුවම තුළ මතු කරන්නේ යැයි අයෙකුට සිතිය හැක.
මංජුශ්‍රීගේ සිතුවම් අතර වඩාත් මගේ සිත්ගත් සිතුවම මෙය වන අතර මෙම පෝස්ටුවේ මුල් කොමෙන්ටු අතර බහාලන ඔහුගේ තවත් සිතුවම් කිහිපයක් අතර වන ‘සාලිය අශෝකමාලා’ සිතුවමටද මම ආශා කරමි.
මේ අගනා වටිනා කෘතිය අනුව යමින් මංජුශ්‍රී ගේ චිත්‍ර කලා භාවිතාවේ නව්‍යතාව දාර්ශනික අතින්ද, වර්ණ භාවිතාව අතින්ද විශේෂතා දරයි.
ඇත්ත වශයෙන්ම මංජුශ්‍රී අඩුවෙන් කතාබහට ලක්වූ වැදගත්ම ලාංකීය චිත්‍ර ශිල්පියෙක් ලෙස මම හඟිමි.
1902 වසරේ අලුත්ගම ප්‍රදේශයේ ධීවර පවුලක උපත ලබන, පසුව මංජුශ්‍රී ලෙස නම් දරන අප කතා නායකයා තරුණ වියේදීම ඉන්දියාවේ ශාන්ති නිකේතනයේදී චිත්‍ර කලාව ප්‍රගුණ කරයි. ඒ නන්දලාල් බෝස් යටතේය.
මංජුශ්‍රී ගේ මුල් කාලීන චිත්‍ර තුළ ඒ ශාන්ති නිකේතනයේ ශිල්පීය බලපෑම නොඅඩුව දක්නට ඇත. (කොමෙන්ටු තුළ ඇති දෙවන චිත්‍රය බලන්න)
ඔහුගේ නිර්මාණාත්මක නව ජීවනය උදාවන්නේ ඔහු පසුව කරන තිබ්බත හා ජපාන සංචාරයන් තුළින් පසුවය.
ඔහුගේ පසු කාලීන කලා භාවිතාව තුළ බහුලව දිස්වන සේම ඔහුගේ කලා අනන්‍යතාවේ අනිවාර්‍ය ලකුණ සේ පෙනෙන මහායානික හා තන්ත්‍රයානික දාර්ශනික ලකුණු හා ජපාන හා තිබ්බත ආගමික කලා භාවිතාවන් හී ලකුණ ඔහුගේ ඉහත සංචාරයන්හී ප්‍රතිඵල වන්නට ඇත.
තරුණ වියේදීම අග නාගරික තරුණ කලා එකමුතුවක් වූ ’43 කණ්ඩායම’ සමඟ එක්වන මංජුශ්‍රී ඔවුන් සමඟ එක්ව චිත්‍ර ප්‍රදර්ශනයක්ද ඉදිරිපත් කරයි. (තෙවන කොමෙන්ටුව තුළ ඇත්තේ කොලට් සේනානායක විසින් ඇඳි 43 කණ්ඩායම පිළිඹිබු වන සිතුවමකි. එහි සිවුරු දරා සිටින්නේ මංජුශ්‍රී ය.)
එම ප්‍රදර්ශනය නැරඹූ බ්‍රිතාන්‍යයේ නිළ යුධ සිතුවම් ශිල්පියා වූ ජෝන් නැපියර් මංජුශ්‍රී ගැන මෙසේ පවසා ඇතැයි මෙම කෘතියේ සඳහන්‍ ය : ‘The only man in the group who sees things through his only eyes…’
වසර දෙකකින් 43 කණ්ඩායමෙන් ඉවත්වන මංජුශ්‍රී තමන්ගේම ස්වාධීන චිත්‍ර කලා මාර්ගයක ගමන් කිරීමට වෙර දරන අයුරු මා ඉහත සඳහන් කළ කෘතියේ වන ඔහුගේ නිර්මාණ තුළින් මොනවට පැහැදිලි වේ.
කෘතියේ තැනක ගුණපාල මලලසේකර මංජුශ්‍රී තමන්ට පැවසූයේ යැයි සඳහන් කරන උපුටනයක් මෙලෙසය: ‘I will go on experimenting until I am fully satisfied…I hope that would never happen…’
’43 කණ්ඩායම’ සමඟ වූ මිත්‍රත්වයට පෙර කොළඹ ගෝතමී විහාරයේ සිතුවම් කරණයට හා පිටපත් කරණයට මංජුශ්‍රී ජොර්ජ් කීට් හා එක්ව කටයුතු කර ඇත.
මංජුශ්‍රී විසින් ලංකාවේ විවිධ විහාරස්ථාන වල කළ චිත්‍ර පිටපත් කිරීම් විශාල ප්‍රමාණයකි. මෙම කෘතියේ දැක්වෙන එම පිටපත් කිරීම් අතර කතළුව හා තොටගමුව විහාරස්ථානයේ කළ සිතුවම් පිටපත් කිරීම් සුවිශේෂය.
මංජුශ්‍රී ගේ චිත්‍රකරණය තුළ මනාව ඉස්මතුවන කාරණය නම් මහායානික හා ත්‍රන්තයානික දාර්ශනික සිතීම්හී ආභාෂය ඔහු නොඅඩුව තමා කලා භාවිතාව තුළ පරිහරනය කර ඇති බවයි. එසේම ඒ තුළ වන විවෘත සිතීම සිත් ගන්නා සුළුය.
යුරෝපය තුළත්, ඇමරිකාව තුළත්, නැගෙනහිර ආසියාව තුළත් ප්‍රදර්ශන බොහෝ ගණනක් පවත්වා ඇති ඔහුගේ සිතීම් විශ්වය සුවිශාල වීමට මෙකී විශ්ව විවෘත බවද හේතු වන්නට ඇත.
40 දශකයේ අගභාගයේදී ලන්ඩනයේදී උපැවදි වන ඔහු එම කාලයේදීම වියානා හී දී චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්නේ සිවුරු ළා ගෙන බවද කියැවේ.
ලන්ඩනයේ සියියදී හා පසුව ලංකාවේදී ද මංජුශ්‍රී සමඟ ළඟ ඇසුරක් තිබූ සරච්චන්ද්‍රයන් ‘මළගිය ඇත්තෝ’ හී දෙවොන්දරා සං ගේ චරිතය නිර්මාණය කළේ ඔහුගේ චරිතයේ ආභාෂයෙන් බවද කියැවේ.
මා උඩ දැක්වූ කරුණු කිහිපයක් අනුව ‘මළගිය ඇත්තෝ’ හී දෙවන පිටුවේ මේ සඳහන සසඳන්න.
‘…මා දඹදිව කලායතනයක සිතුවම් අඳිමින් සිටින දවස්වල, එහි වූ ප්‍රසිද්ධ කලාකරුවෝ මා ප්‍රන්ස සිත්තරුන් අනුගමනය කරන බවක් කීහ. කුඩා කල සිට මහණ වී පන්සලක විසූ මට, ප්‍රන්ස සිත්තරුන්ගේ කලාව හැදෑරීමට අවස්ථාවක් ලැබුණු බව මතක නැත. පිකාසෝ වැනි ප්‍රසිද්ධ ශිල්පීන්ගේ සිතුවම් මා කවදාවත් දැක නැතැයි කිව නොහැකිය. එහෙත් පිකාසෝගේ හෝ වෙන කිසි ප්‍රන්ස සිත්තරෙකුගේ හෝ සිතුවම් ගැන මගේ සිත විශේෂයෙන් ඇදී ගියේ නැති බව මම දනිමි. එහෙයින් භාරතීය කලාකරුවන් කී විවේචනය අසා මම පුදුම වීමි. අනතුරුව මම නේපාලයට හා භූතානය ට ද තිබ්බතයටද ගොස් ඒ රටවල තිබෙන තාන්ත්‍රික චිත්‍ර කලාව මැනවින් පුහුණු කළෙමි. මා ආපසු ලක්දිවට අවුත් මෙහිදී ප්‍රදර්ශනයක් පැවැත්වූ කල විවේචකයන් කීවේ, මට ම හිමි වූ ශෛලියක් මා තවම සොයාගෙන නැතැයි කියාය.’ (මළගිය ඇත්තෝ – 2 පිට)
‘එංගලන්තයට ගොස් හය මසකට පමණ පසු මා සිවුරු හැර ගිහියෙකු වශයෙන් විසූ නමුත්, ඔස්ත්‍රියාවේ පැවැත්වුණු ප්‍රදර්ශනය සඳහා මට නැවත සිවුරු හැඳගෙන පෙනී සිටින්නට සිදු විය. එසේ කළහොත් ප්‍රදර්ශනයට කිසියම් විශේෂත්වයක් ඇතිවන බව මගේ ඔස්ත්‍රියානු මිතුරා කී හෙයිනි, මා ඒ අවස්ථාව සඳහා සිවුරු පැළඳ ගත්තේ…’ (මළගිය ඇත්තෝ – 3 පිට)
මංජුශ්‍රී උපැවදි වීමෙන් අනතුරුව කලක් ‘ලංකාදීප’ හා ‘ලේක් හවුස් ආයතන වල සේවය කළේය. ඔහු ඒවායින් විශ්‍රාම ගෙන ඇත්තේ 1968 දීය. (මළගිය ඇත්තෝ හී ලංකාවට පැමිණෙන දෙවොන්දරා සං ද සේවය කරන්නේ පුවත් පත් කාර්‍යාලයකය.)
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ බිත්ති චිත්‍රද මංජුශ්‍රී ගේ නිර්මාණයන්‍ ය.
මැග්සයිසේ සම්මානය හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක්ද ලද එල්. ටී. පී. මංජුශ්‍රී මිය ගියේ 1982 වසරේදීය.
-ජනක ඉනිමංකඩ (fb)

 

Leave A Reply

Your email address will not be published.

one × five =