ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ප්‍රතිකාර දීමට සිදුවූ විට…

පළමු ශ්‍රී ලාංකික කොවිඩ් රෝගීයා වාර්තා වූවේ 2020 මාර්තු මාසයේදීය. එතැන් සිට වාර්තා වූ සියළු රෝගීන් වෙනුවෙන් වෙනම රෝහල් පිහිටවුනි. රෝගීන්ගේ ආශ්‍රිතයන් රඳවා තබා ගැනීමට නිරෝධායන මධ්‍යස්ථාන ද ස්ථාපිත වූවේය. යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් 19 වැලැක්වීමේ කාර්ය සාධක බලකායක් ද ස්ථාපිත කෙරිනි. රෝගීන් රඳවා සිටින රෝහල් මෙන්ම නිරෝධයනය වන පුද්ගයන් රඳවා සිටි නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් සම්බන්ධයෙන් සොයා බැලුවේ යුද හමුදාවය.

රෝගය සුව වී පැමිණෙන්නන් මෙන්ම නිරෝධානය වී පැමිණෙන්නන්ද කීවේ ඔවුන්ට ඉතා හොඳින් සැලකූ බවය. පළමු රැල්ලේ දී මාස දෙකක් පමණ රට වසා රෝගය පැතිරීම පාලනය කිරීම හේතුවෙන් රෝගීන් හා නිරෝධායනය වන පිරිස අඩුවිය. පළමු රැල්ලේ රෝගීන් වාර්තවූවේ 4000 ට අඩුවෙනි. එම නිසා රෝගීන්ට හා නිරෝධායනය වන පුද්ගලයන්ට පහසුකම් සැලසීම ද ඉතා පහසු කරුණක් විය.
දෙවෙනි රැල්ලේදී රට වසා දැමුණේ නැත. සෞඛ්‍ය අංශ කොතෙක් ඉල්ලුවද රට වසා දැමීමට බලධාරීන් අකමැතිවීම නිසා රෝගීන් සංඛ්‍යාදව අනූදහස ඉක්මවා ගියේය. අමතර රෝහල් මෙන්ම විද්‍යා පීඨ හා පුහුණු මධ්‍යස්ථාන රෝහල් බවට පරිවර්ථනය කිරීමට සිදුවිය. රෝගීන්ගේ වර්ධනයත් සමග රෝහල් හා කොවිඩ් වෛද්‍ය මධ්‍යස්ථානයන් හී පහසුකම් ද පරිහානියට පත්වූවේ නිතැතිනි. රෝගීන් මිය යන සංඛ්‍යාව ද ඉහළයාමට පටන් ගත්තේය.
සිංහල අවුරුදු සමයේ රට වසා තබන ලෙස සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉල්ලා සිටිය ද එය ඉටු නොවුනු අතර ජනතාව ඉකුත් වසරේ සිංහල අවුරුද්ද සැමරීමට නොහැකිවීමේ අඩුවද පිරිමසමින් ඉහළින්ම අවුරුදු සැමරුවේය. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට නැවත කොවිඩ් 19 තුන්වන රැල්ල ද වාර්තාවන්නට වූහ. කොවිඩ් තුන්වන රැල්ලේ රෝගීන් තිස් දහස ද ඉක්මවා ගොස් ඇත.

දෙවෙනි රැල්ල උත්සන්න වෙද්දී රෝගීන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිවෙස්වලම නිරෝධායනය කළ අතර නිරෝධායන මධ්‍යස්ථාන ද ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්ථනය කර තිබුනි. තුන්වන රැල්ල ව්‍යාප්ත වෙද්දි මෙම සංඛ්‍යාවද ප්‍රමාණවත් නොවුනු බැවින් ඇගළුම් කම්හල් පවා ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්ථනය කිරිමට කොවිඩ් 19 වැළැක්වීමේ කාර්ය සාධක බලකායට සිදුවිය. එයින්ද නොනැවති රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් නිවෙස්හි රදවා ප්‍රතිකාර කිරිමේ තැනට ගමන් කිරිමට ආණ්ඩුවට සිදුවිය.
කොවිඩ් පළමු රැල්ලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි පැවැති සුන්දරත්වය මැකී යමින් ප්‍රතිකාර මධ්‍යස්ථාන අපායන් බවට පරිවර්ථනය වෙමින් තිබුනි. එම ස්ථානවල ප්‍රතිකාර ලැබූවන් සිය ජංගම දුකතන මගින් ලබාගත් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හැරියේ පීඩනය දරා ගැනීමට නොහැකිවය. පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානය එහි ප්‍රමුඛ ස්ථානයක් ගත්තේය.

ප්‍රථිකාර මධ්‍යස්ථාන නොමැතිවීම හේතුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යෑමට රෝගියෙකුට දවස් ගණනක් නිවෙස්හි රැඳී සිටීමට සිදුවිය. පළමු රැල්ලේදි රෝගීන් එකතු කර ගැනීම අපහසු වුවත් දෙවෙනි තෙවෙනි රැලි ආරම්භයේදී රෝගීන් තමන්ට දුරකතනයෙන් කතා කරමින් රෝහලකට යවන ලෙස බැගෑපත් වූ බව මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරියෙකු අප හා කීය.
ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පසු දිනයේ හිස් වන බවට දැනුම්වත් කිරීම නිසා බස් දෙකක් සුදානම් කර පෙරදින රාත්‍රියේ සිට රෝගීන් බස් රථයේ රඳවා තබා ගත් බවත් පසුදින දහවල් වනතුරුම රෝගීන් බස් රථයේ රඳවා ගැනීමට සිදුවූයේ කියු වේලාවට ප්‍රථතිකාර මධ්‍යස්ථානයක් නොලැබීම නිසාවෙන් බවත් එම නිලධාරියා සඳහන් කළේය. බොහෝ රෝගීන් මෙලෙස බස් රථ තුළ රස්තියාදු වී කිලෝමීටර් 200 ක් 300 ක් ඈතින් තිබෙන රෝහලකට යැවීමේදි ගමන් වෙහෙස නිසාම රෝගය උත්සන්න වන බවද සදහන් කළේය.

එලෙස බස් රථයෙන් ගෙන යද්දී වූ මරණ කිහිපයක් ද පසුගිය දිනවල වාර්තා විය. පළමු රැල්ලේදි රෝහල්ගත වූවන්ට බුරියානි, ෆ්‍රයිඩ්රයිස්, පළතුරු ආදිය කෑමට ලැබුණද දෙවෙනි, තුන්වන රැලිවලට හසුවූ රෝගීන්ට
ලැබෙනුයේ බතක් හා හොදි දෙකක් පමණකි.
කෝපායි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබූ රෝගියෙකු අප හා පැවසුවේ කොවිඩ් නිව්මෝනියාව කෙසේ වෙතත් කන්න නැතුව තමන් මරණයට පත්වේය යන බියෙන් පසුවූ බවය. එම ප්‍රදේශයන්හි
ජල හිඟයක් පවතින නිසා ඔවුන්ට බීමට වතුර ලැබී තිබුණේ දින පහකට ලීටර් 5 ක වතුර බෝතලයකි. එය පණමෙන් රැක ගැනීමට සිදුවූවේ තමන් වැසිකිලි කැසිකිලි ගොස් පැමිණෙන විට අසල රෝගියෙකු එය පානය කළහොත් තමන්ට වතුර නොමැතිවේය යන බිය නිසාවෙන් බවද ඔහු සඳහන් කළේය.

කොවිඩ් රෝගීන් රෝගයට වඩා පීඩාවට පත් වන්නේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ගෙන යද්දීය. මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට දෙවෙනි රැල්ලට ගොදුරු වී තිබූ අතර ඉන් එක් මාධ්‍යවේදියෙකු තුන්වන රැල්ලේ ගොදුරක් බවට ද පත්ව තිබුණි. එහිදි ඔහු තමන්ට පළමුවර ප්‍රතිකාර ලබාගත් රෝහලේ වෛද්‍යවරයාට කතා කරද්දී ඔහු කියා තිබුණේ මෙවර ඔබ අප රෝහලට පැමිණියත් ගියවර දුන් පහසුකම් නම් මෙවර දිය නොහැකි බවය.

නොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ගෙන් බරපතල චෝදනා එල්ල වන්නේ පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානය සම්බන්ධයෙනි. සමාජ මාධ්‍ය වෙත ඊට අදාළව විඩියෝ පට කිහිපයක්ම නිකුත් වී තිබේ. එසේම විෂ්ණු වාසු නම් චිත්‍රපට අධ්‍යක්ෂවරයා ද චෝදනා එල්ල කරන්නේ තමන්ගේ වැඩිමහල් සොහොයුරියගේ පුතා ද පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයට යැවීම හේතුවෙන් මිය ගිය බවය. නිසි ලෙස ආහාර, ජලය මෙන්ම ප්‍රතිකාර ද නොලැබුනු බව ඔහු සාමාජ මාධ්‍ය  වෙත පෝස්ටුවක් දමමින් කියා සිටියි. පොදු වැසිකිලි පවා භාවිතා කළ නොහැකි තරමට අපිරිසිදු බවද එහි ප්‍රතිකාර ලැබූවෝ පවසති.

පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානය පොළොන්නරුව රෝහලෙන් පාලනය වන ස්ථානයක් බව සඳහන් වූවද රෝගීන් පරික්ෂාවට වෛද්‍යවරු නොපැමිණෙන බවද ප්‍රතිකාර ලැබූවන් සමාජ මාධ්‍ය  වෙත පළ කර ඇති තොරතුරුවල සදහන්ය. පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නොව වහල් කඳවුරක් බව එක් අයෙකු පොස්ටුවක් දමා තිබිණ. එසේම ආහාර ගෙන එන්නේත්, රෝගීන් ගෙන යන්නේත් එකම ට්‍රැක්ටරයකින් බවට පෙන්වන වීඩියෝවක්ද සමාජ මාධ්‍යයේ ඇත.

කටුනායක වෙළඳ කලාපයේ සේවය කරන කාන්තාවක් අප හා කීවේ ඇය මරදමුනේ රෝහලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කළ බවකි. එහිදි ඇය ලැබූ ලොකුම ගැටළුව ආහාර නොමැතිකම බව අප හා කියා සිටියාය. එම ආහාර ගත නොහැකි නිසා පිටතින් ආහාර ගෙන්වා ගැනීමට උත්සාහ කළත් ඊට අවසර ලැබුණේ දින කිහිපයකට පසුව බවද ඇය කියා සිටියාය. ඥාතීන් මාර්ගයෙන් එම ප්‍රදේශයේ දන්නා හඳුනන පුද්ගලයන් සොයා ගෙන ආහාර ගෙන්වා ගත් බවද ඇය කීවාය.
බියගම වෙළඳ කලාපයේ තරුණියක් ද කොවිඩ් ආසාදිතයෙකු ලෙස වාර්තාවීමත් සමග වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ. නමුත් එම රෝහලේ ඉඩ නොමැතිවීම හේතුවෙන් ඇය දින දෙකකට පසු බස් රථයකින් කෝපායි විද්‍යා පීඨ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇත. ඇයට ද පානීය ජලය ලබා ගැනීම වෙනුවෙන් පෝලීමේ රැඳී සිටීමට වී ඇති අතර මේ නිසා දිනක් ඇයට ක්ලාන්තය ද සෑදී තිබේ. ඇය කියා සිටියේ ද ආහාර ගැටළුවමය. වතුරයි, බතුයි කෑවා හා සමාන බව ඇය අප හා කීවාය.

පොළොන්නරුව රෝහලින් පාලනය වන පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් තිබෙන බවත් ඉන් එකක තත්ත්වය නරක තත්ත්වයක පැවතියත් අනෙක හොඳ තත්ත්වයක පවතින බවත් වැලිකන්ද රෝහලේ ප්‍රකාශයකයෙකු අප හා කීවේය. අම්පාර ප්‍රතිකාර මධ්යපස්ථානය ද හොඳ තත්ත්වයක පවතින බව එහි ප්‍රතිකාර ලත් රෝගියෙකු අප කළ විමසුමකදී පැවසීය.
බණ්ඩාරවෙල බිදුණුවැව විද්‍යාපීඨ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලත් රෝගියෙකුට එල්ල වූ ප්‍රහාරයක් සම්බන්ධයෙන්ද සමාජ මාධ්‍යයේ පළවී තිබුණි. එම මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබූ මොණරාගල, සිරිගල පදිංචි සමන් අබේගුණවර්ධන සිය ෆේස්බුක් පිටුවේ මේ ගැන විස්තරය පළකර තිබුණි.

ඔහු කියා තිබූ දිර්ඝ විස්තරයේ සාරාංශය නම් එක් දිනක වැඩියෙන් ජලය ඉල්ලා සිටීමෙන් උරණ වූ එය භාරව සිටි හමුදා මේජර්වරයා තමන්ට පහර දුන් බවය. හමුදාවට අපහාස වන බැවින් මෙය නොලියා සිටීමට සිතුවත් ඔහු තවමත් එම මධ්‍යස්ථානයේ සිටින නිසා මෙය පළ කරන බවත් සමන් අබේගුනවර්ධන සටහන් කර තිබුනි.
කල්පිටිය ප්‍රතිකාර මධ්‍යස්ථානයට යැවු ගම්පහ ප්‍රදේශයේ ඇගළුම්කම්හල් සේවිකාවන් පිරිසකට මුහුණ දෙන්න සිදුව තිබුණේද අපූරු ගැටළුවකට ය. එනම් ඔවුන් ප්‍රතිකාර ලබා අවසන් වූ පසු නැවත සිය නිවෙස් වෙත යාමට ප්‍රවාහන පහසුකම් නොලැබීමය. ඔවුන් පදිංචි ප්‍රදේශයකින් එම මධ්‍යස්ථානයට රෝගීන් රැගෙන පැමිණෙන බස් රථයක් එන තුරු සිටීමට ඔවුනට සිදුව තිබුණි. වෙනත් ප්‍රදේශවලින් රෝගීන් ගෙනෙනා බස් රථවල ඔවුන්ව රැගෙන යාම ප්‍රතික්ෂේප කිරිම මෙයට හේතුවී තිබුණි.

රෝගීන්ගෙන් එල්ල වූ චෝදනා හමුවේ ආණ්ඩුව දැන් රෝගීන් නිවෙස් අසල ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවීම තීන්දු කර තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ රෝගියා ඔහු පදිංචි ප්‍රදේශයට ආසන්නම ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කරන බවය.
මෙරට කොවිඩ් රෝගීන්ට රෝගයෙන් සේම පහසුකම් නොමැතිවීමේ අර්බුදය යන දෙකෙන්ම ගොඩ ඒමට සිදුව ඇත්තේ නිසි ප්‍රමිතියකින් යුතු ප්‍රතිකාර මධ්‍යස්ථාන නොලැබීම හේතුවෙනි. ප්‍රතිකාර මධ්‍යස් ථානයන්හි ගුණ වර්ණනා කළ මාධ්‍යය, ප්‍රතිකාර මධ්‍යස්ථා නයන්හි ගැටළු වාර්තා නොකිරීම මෙයට හේතුවී තිබේ.
-ලසන්තවීරකුලසූරිය

 

Leave A Reply

Your email address will not be published.

eighteen − twelve =