“පෝට් සිටි පනත චීනෙට දෙන ගෙරිහම්කඩක්”

-නීතිඥ හර්ෂණ නානායක්කාර

ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අද (20) බත්තරමුල්ලේදී මාධ්‍ය හමුවක් පවත්වමින් අද දිනයේ සම්මත කිරීමට සූදානම් වන කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව මෙහිදී නීතිඥයන් විසින් අදහස් දක්වන ලදී. මෙම මාධ්‍ය හමුවට නීතිඥ සුනිල් වටගල, නීතිඥ හර්ෂණ නානායක්කාර සහ තවත් නීතිඥවරියන් දෙදෙනෙකු ද සහභාගී විය.

මෙහිදී අදහස් දැක්වූ නීතිඥ හර්ෂණ නානායක්කාර පැවසුවේ,

“ආණ්ඩුව මේ වෙනකොට ප‍්‍රකාශ කර තිබෙනවා, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව කි‍්‍රයා කරන බව. ඒකෙන් ඔවුන් පෙන්වන්න හදන්නෙ නීතියට ගරු කරන ආණ්ඩුවක් බවයි. නමුත් මේවා හුදෙක් ව්‍යාජයන්. මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්වී ලබාදුන් තීන්දුව අනුව ගෙනඑන සංශෝධන මොනවාද කියලා අපි තවම දන්නේ නැහැ. ආණ්ඩුවේ කට්ටිය මේ පනත ගැන සියලූම මාධ්‍ය යොදාගෙන 100%ක් නීතිගරුක බව කීවා. නීතිපතිතුමා කතා කළෙත් මේක ව්‍යවස්ථාවට අනුකූලයි කියලා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් තිබියදීත් සංශෝධන රාශියක් ගෙනාවා. අන්තිමේදී මේ පනතේ තිබෙන වගන්ති 74න් 25ක්ම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ආසන්න වශයෙන් පනතෙන් 1/3ක ප‍්‍රමාණයක් ව්‍යවස්ථා විරෝධී නම් පවතින තත්වය මොකක්ද? ආණ්ඩුව ජනතාවගේ බදු මුදල්වලින් මේ පනත රටට හිතකර බවට දැන්වීම් පළ කළා. නමුත් මේ ආකාරයේ ව්‍යවස්ථා විරෝධී පනතක් හොර රහසේම සම්මත කර ගන්න උත්සාහ කළේ ආණ්ඩුව හිතාමතාමයි. නමුත් රටේ ජනතාව සහ සිවිල් සංවිධාන අවදියෙන් හිඳීම නිසා පනතේ සැර බාල කරගන්න හැකිවී තිබෙනවා. ආණ්ඩුව ජනතාවට එරෙහිව දුෂ්ටකමක් කරන්න හැදුවා. ශ්‍රේ්ෂ්ඨාධිකරණය යම් ප‍්‍රමාණයකට ඊට එරෙහිව තිරිංග යෙදුවා.
මේ පනතේ වැඩි හරියක්ම ඝට්ටනය වුණේ 12-1 ව්‍යවස්ථාව සමගයි. එයින් කියවෙන්නේ නීතිය ඉදිරියේ සැමට සමාන අයිතියක් තිබෙනවා කියන එක. මේ කොමිෂන් සභාවට පත්වෙන කොමසාරිස්වරුන්ට විශාල බලතල ප‍්‍රමාණයක් ලබාදෙන පනතක් හදිසියේ සම්මත කරග්න හැදුවේ රටට තියෙන ආදරේට නෙවෙයි. අදටත් මේකෙන් රටට විශාල මුදල් ප‍්‍රමාණයක් ලැබෙනවා නම් එය විගණනය කරන්න අපේ විගණකාධිපතිවරයාට බලය දීලා නැහැ. පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට නොගියා නම් ජනතාවට හානි කරන වගන්ති ගණනාවක් අනීතිකව මේ වෙනකොටත් සම්මත කරගෙන. නමුත් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සංශෝධනය වෙන දේවල් අපි දන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් අභියෝග කරන්න වෙන නීතිමය ස්ථරයක් මම දන්න තරමින් නැහැ. මේ පනත සම්මත කරගන්නේ මහජනතාව තෝරා පත්කර යැවූ නියෝජිතයන්ගෙන්. ඒ නිසා තමයි අපි මහා මැතිවරණයේදී කිව්වේ ජනතාවට වගකියන නියෝජිතයන් තෝරා පත්කර යවන්න කියලා. නමුත් අපේ ජනතාව සුපුරුදු පරිදි මුදලට විකිණෙන අය යැව්වා. දැන් ජනතාව තමන්ගේ නියෝජිතයන්ට කියන්න මේ පනතට අත උස්සන්න එපා කියලා.
චීනයේ ආර්ථික උපායමාර්ගයේ කොටසක් වුණ, පෝට් සිටි කොමිසමට චීන පුරවැසියන් පත්කරන්න ඉඩ තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඉදිරිපත් කළ සංශෝධනවල මේ කොමිසමේ බහුතරයක් ලාංකිකයන් වන බව කියා තිබෙනවා නමුත් මේ පනත සම්මත කරගන්නා ආකාරය අනුව සිදුවෙන දේවල් අපිට කියන්න බැහැ. අපේ රටේ කෑල්ලෙන් කෑල්ල චීනයට යන්නේ. කොරෝනා භීතිය අස්සේ මිනිස්සුන්ට එන්නත් ටික ලබාදෙන්න වැඩපිළිවෙළක් නැහැ. මේ වෙනකොට ජනතාවට තියෙන ලොකුම ප‍්‍රශ්නය කොරෝනාව. නමුත් ආණ්ඩුවට හිතන්නේ මේ අස්සෙත් ජනතාවගේ ආරක්‍ෂාව පැත්තකට දාලා ගරානාව කරන්නේ කොහොමද කියලා. ඇල්ලේ ගුණවංශ හාමුදරුවොත්, කාදිනල්තුමත් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් තියලා මේකට විරෝධය පළ කළා. හැබැයි ඊට වඩා ස්වාමින් වහන්සේලා බර තොගයක් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයලා බලයට ගේන්න කි‍්‍රයා කළා. දැන් ඒ ස්වාමීන් වහන්සේලා කෝ? එද කථා කළ දේශපේ‍්‍රමීන් කෝ? රාජපක්‍ෂවරුන්ගේ දේශපේ‍්‍රමිත්වය නම් පොල් පිත්තකින් කපා ගන්න පුළුවන්. මතක තියා ගන්න 1505දී පෘතුගීසීන් මේ රටට ඇවිල්ලා යුද්ධ කළේ නැහැ. ගෙරි හම්කඩක් එළා ගන්න බිම් කොටසක් ඉල්ල ගත්තා. ගිවිසුම්වලින් ඔවුන් රටට ඇතුල් වුණා. 1656 ලන්දේසීන් ආරාධනා කරලා ගෙන්වා ගත්තේ. 1815 රට බාර දෙන්නෙත් ගිවිසුමක් ගහලා. මේ පෝට් සිටි පනත කියන්නේ අපි චීනට දෙන ගෙරිහම්කඩ කියලා මතක තියාගන්න. මේ පෝට් සිටි පනත මගින් ඔවුන් අපේ රටට රිංගගෙන සම්පූර්ණයනේම හැසිරවීමේ හැකියාව තියෙනවා.
අපිට විදේශ ආයෝජන ඕනෑ. නමුත් මේ ආකාරයෙන් විශාල බලතල තියෙන පනතක් සම්මත කරගන්න ඕනෑ නැහැ. අපි එදා වේල කන්නත් ලෝකෙන් ණය ඉල්ලන රටක්. ඒ නිසා අපි ඉන්න ඕනෑ කිසිම කඳවුරකට සම්බන්ධ නොවී. නමුත් අපි චීනෙට විශේෂ වරප‍්‍රසාද දෙනකොට ඉන්දියාව, ඇමරිකාව, මේකට කැමති නැහැ. ඇමරිකාවයි, ඉන්දියාවයි එකතු වෙලා චීනයට විරුද්ධව ඉන්නවා. මෙතනදී ලංකාවේ දැක්මක් නොමැති, දුර්වල, වංචනික නායකයින් නිසා ලෝක දේශපාලනයේ ගොදුරක් බවට පත්වෙනවා. ඔවුන් මේ කලාපයේ ගැටෙන්න පටන් ගන්නකොට අපේ ජාතික ආරක්‍ෂාවට බරපතළ අනතුරක් ඇති වෙනවා. මේ සියලූ කරුණු ඉස්මතු කරලා අපි ඉල්ලන්නේ එක දෙයයි. මේ මහ පොළොව අපේ පරම්පරාවට විතරක් අයිති දෙයක් නෙවෙයි. ඉදිරි පරම්පරාවටත් රැකගත යුතුයි. ඒ නිසා ඉතාම වැදගත්කමකින් යුතු මේ පනත සමාජය තුළ සංවාදයකට ලක්වෙන්න ඉඩ දෙන්න කියන ඉල්ලීම අවධාරණය කරනවා. ”

Leave A Reply

Your email address will not be published.

twelve − 5 =