කවියෙක් සිරකොට වසරක් !

කවි පොතක් ලිවීමේ වරදට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් අහ්නාෆ් ජසීම්ගේ රැඳවුම් කාලය පසුගිය 16 දාට වසරකි. ඒ වෙනුවෙන් විවිධ පාර්ශ්ව සංවිධානය කළ සංවාද කිහිපයක් එදින පැවැත්විණි. එහිදී අදහස් දක්වමින් නීතිඥවරුන් සහ සිවිල් ක්‍රියාකාරිකයන් අවධාරණය කරන ලද්දේ නඩු පැවරීමකින් තොරව, අත්තනෝමතික ලෙස මර්දන නීතියක් යොදාගනිමින් සිදුකරන මේ ක්‍රියාවලිය නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් බවයි.
මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අවුරුද්දක් පුරා චෝදනා හෝ නඩු විභාගයක් නැතිව රඳවාගෙන සිටින තරුණ කවියෙකු වන අහ්නාෆ් ජසීම් නිදහස් කරන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 13ක් එක්ව ඉදිරිපත් කළ ඉල්ලීමක් ද ආණ්ඩුවට ඉදිරිපත් කර ඇත.
මර්දනකාරී නීතියක් යටතේ රඳවා සිටින 26 හැවිරිදි කවියාට අදාළ චෝදනා ඇත්නම් වහාම නඩු පැවරීමට පියවර ගන්නා ලෙසත්, නොඑසේ නම් ඔහු වහා නිදහස් කිරීමට කටයුතු කරන ලෙසත් කරුණු දක්වමින් ඉදිරිපත්කර ඇති මෙකී ඉල්ලීමට JDS” PEN International” Amnesty International” Sri Lanka Campaign for Peace & Justice” International Truth & Justice Project” Australian Centre for International Justice” Human Rights Watch” Article 19″ FREEMUSE” Centre for Justice and Accountability” IMADR” People for Equality and Relief in Lanka ^PEARL& iy The International Working Group යන සංවිධාන අත්සන් කර ඇත.

තහනම් නොකළ පුස්තකාල පොතක්

කවියෙකු හා ගුරුවරයෙකු ලෙස අහ්නාෆ් ජසීම්ගේ ක්‍රියාමාර්ග සැක සහිත නම්, ඔහු උසාවියට ගෙන ගොස් සාධාරණ නඩු විභාගයකට භාජනය කළ යුතු බවත්, තමන් නිවැරදි බව ඔප්පු කිරීමට ඔහුට අවස්ථාව ලැබෙනු ඇත්තේ එසේ කිරීමෙන් පමණක් බවත් එම සංවිධාන විසින් අවධාරණය කර තිබේ.
‘නවරසම්’ නමින් දෙමළ බසින් ලියා ඇති මෙම පොතේ කවිවල ඇතුළත් වන්නේ අන්තවාදයට සහාය දෙන අදහස් නොව, යුද්ධයට, හිංසනයට සහ අන්තවාදයට එරෙහි නිර්මාණ බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මගින් සංවිධානය කළ සංවාදයට එක්වූ තරුණ කවියෝ අවධාරණය කළහ. කවි පොත එවැනි අන්තවාදී ඉගැන්වීම් කිරීමට රහසේ කළ එකක් නොව, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ආයතනයේ අයි.එස්.බී.එන්. අංකය ලබාගෙන කළ ප්‍රසිද්ධ ප්‍රකාශනයක් බව ද කවි පොත එළිදැක්වීම කර ඇත්තේ කවියාගේ ගමේ අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රජයේ නිලධාරීන්, ප්‍රදේශයේ දේශපාලනඥයන් ඇතුළු පිරිසක් ගෙන්වා කළ උත්සව සභාවකදී 2018 වසරේ මැයි මස 15 වැනි දා බව ද එහි දී ප්‍රකාශ විය.
මේ වනවිට ලංකාවේ ප්‍රධාන පුස්තකාලවල කියවීමට තබා ඇති ජසීම්ගේ ‘නවරසම්’ කාව්‍ය සංග්‍රහය රට තුළ තහනම් කර ද නැත.
පුත්තලම, මදුරන්කුලිය ප්‍රදේශයේ මද්‍රසා පාසලක දෙමළ භාෂා ගුරුවරයෙකු වූ 26 හැවිරිදි අහ්නෆ්ගේ පළමු කවි පොත වූ ‘නවරසම්’ කෘතිය ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව සිදු කරන පරීක්ෂණ සඳහා අදාළ මද්‍රසා පාසලට ගිය අවස්ථාවේ කවියා නවාතැන් ගෙන සිටි ඔහුගේ කාමරයේ තිබියදී ය.

ත්‍රස්ත විමර්ශනයෙන් කවියට වැරදි අරුත්

දෙමළ බස වටහාගත නොහැකි ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් විසින් හිංසනයට එරෙහි කවි සමඟ තිබූ ආයුධ සම්බන්ධ සිතුවම්වල ඡායාවන් වරදවා වටහාගෙන ඇති බව මේ වන විට කවි පොතේ පරිවර්තන සිදු වී ඇති නිසා පෙනී යන බව එම සංවාදයට එක්වූ තරුණ කවීන් බොහෝ දෙනෙකු විසින් පෙන්වා දෙන ලදි. ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අන්තවාදයට සහාය දක්වන පොතක් ලෙස මුලින් උසාවියට වාර්තා කළ කවි පොත, එසේ නොවන බව පෙනී යෑම නිසා එයින් ළමා මනසට වන බලපෑම ගැන තක්සේරුවක් ගැනීමට ළමා වෛද්‍යවරුන් වෙත යොමු කර ඇති බවද වාර්තා වේ.
කෙසේ වුවත්, තමන්ගේ අදහස් පළකිරීමට ලියා පළ කළ කවි පොතක් නිසා තරුණ ජීවිතයක් අයුක්ති සහගත ලෙස වසරක් තිස්සේ අත්අඩංගුවේ රඳවා තබා ගැනීම භාෂණයට හා ප්‍රකාශනයට ඇති මූලික අයිතිවාසිකම දරුණු ලෙස උල්ලංඝනය කිරීමක් බව සංවාදයට එක්වූ මාස් යූසුෆ්, කෞෂල්‍යා ආරියරත්න, සංජය විල්සන් වැනි නීතිඥවරුන් පෙන්වා දෙන ලදි.
මේ අතර අහ්නාෆ් ජසීම් කවියා නිදහස් කරන ලෙස රජයට බලකරමින් සාහිත්‍ය – කලා ක්ෂේත්‍රවල නිරත පිරිසක් සංවිධානය කළ තවත් සංවාදයකදී ඔහුගේ පියා මෙසේ පැවසීය. මෙය ද Zoom ඔස්සේ පැවැත්විණි.
‘මම කුලී වැඩ කරන කම්කරුවෙක්. වැඩිය ඉගෙනගෙන නෑ. ඒත් මම දාඩිය මහන්සියෙන් වැඩ කරලා මගේ දරුවො පස්දෙනාට ඉගැන්නුවා. දෙන්නෙක් විශ්වවිද්‍යාලෙ ගියා. තව දෙන්නෙක් උසස් පෙළ සමත් වුණා. බාලම දරුවා නවය වසරේ. මට ඕනෙ වුණේ මගේ දරුවෝ රටට වැඩදායක හොඳ මිනිසුන් කරන්නයි.

ඒත් මගේ එක පුතෙක්, කවි පොතක් ලිව්ව කියලා අත්අඩංගුවට අරගෙන අවුරුද්දක් තිස්සෙ හිර කරගෙන ඉන්නවා, ඒත් මගේ පුතා කිසිම වැරදි වැඩක් කරල නෑ. මේක අපට දරාගන්න බැරි වේදනාවක්. අද මගේ පුතාට වෙච්ච අසාධාරණේ ගැන කතාකරන්න අන්තර්ජාලය ඔස්සේ සංවිධානය වුණ හැම කෙනාටමත්, මගේ පුතාට සාධාරණයක් කරල දෙන්න උත්සාහ කරන හැම දෙනාටමත් මම ස්තුතිවන්ත වෙනවා. අපි තනිවෙලා නෑ කියල දැනුණා. මම මේ රටේ හැම දෙනාගෙන්ම ඉල්ලන්නෙ, මගේ පුතා මට ආයෙමත් ගෙනත් දෙන්න!‘

මහාචාර්ය නුහුමාන්ගෙන් දිවුරුම් පෙත්සමක්

මේ අතර දිවුරුම් පෙත්සමක් යොමු කරමින් අහ්නාෆ් ජසීම්ගේ කවියට බලධාරීන් දෙන නිර්වචනය අභියෝගයට ලක් කරන කීර්තිමත් දෙමළ භාෂා මහාචාර්යවරයෙකු වන මක්බුල් අලිමොහොමඩ් නුහුමාන් පවසන්නේ ‘අන්තවාදයට, ප්‍රචණ්ඩතාවට සහ යුද්ධයට එරෙහි කවිපන්ති කිහිපයක්ම මෙම කාව්‍ය සංග්‍රහයේ ඇත’ යනුවෙනි.

මාස දහයක් යන තෙක් නීතිඥ සහාය ලබා දී නැහැ

චූදිතයෙකු ලෙස පිළිගෙන ව්‍යාජ පාපොච්ඡාරණයක් කිරීමට තම සේවාදායකයාට බල කෙරුණු බව අහ්නාෆ් වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයා වන සංජය විල්සන් ජයසේකර පවසයි. වසර දෙකකට පෙර සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ අතරතුර ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු මාස දහයක් යන තෙක් නීතිඥවරයකුට ඔහු වෙත සේවය සැලසීම පිණිස ඔහු හමුවීමට අවසර නොලැබුණ බව ද ඔහු අවධාරණය කරයි. එසේම නීතිඥවරයා පවසන පරිදි, අහ්නාෆ් ජසීම් රඳවා තබා ඇත්තේ කුරිරු, අමානුෂික සහ අවමන් සහගත සැලකිල්ලක් ගණයේ ලා ගිණිය හැකි නින්දිත තත්ත්වයක් යටතේ ය. එය ඔහුගේ සෞඛ්‍යය පිරිහීමට ද හේතුවී ඇත.

මීට අමතරව, ජසීම් රඳවා තබා සිටින කාලය තුළ ඔහුට හිමිවිය යුතු නිසි කාර්ය පටිපාටිය බලධාරීන් විසින් උල්ලංඝනය කර තිබෙන බව ද ප්‍රශ්න කරමින් සිටියදී ජසීම්ට අසත්‍ය පාපොච්චාරණ දීමට බලකොට, නොදන්නා භාෂාවකින් ලියැවුණු ලියවිලිවලට ඔහුගෙන් බලහත්කාරයෙන් අත්සන් ලබාගෙන ඇති බවට ද ජසීම්ගේ නීතිඥයා චෝදනා කරයි.
මේ අතර අහ්නාෆ් ජසීම් තරුණ කවියා වහා නිදහස් කරන ලෙසත් නැතහොත් ඔහුට විරුද්ධව ඇති චෝදනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් බල කරමින් මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීමට කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව කටයුතු යොදා ඇත.
– වත්සලා  මාරුතී

Leave A Reply

Your email address will not be published.

16 − 16 =