පමාවී ආ එන්නත්කරණය

මෙරට කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය ආරම්භ වූවේ ඉකුත් මාර්තු මාසයේ සිටය. ඉන්දියාවේ සේරම් ආයතනයෙන් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 5 ක ප්‍රමාණයක් ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙසද තවත් ලක්ෂ 5 ක ප්‍රමාණයක් මුදල් ගෙවා ද මිලදී ගැනීමට රජය කටයුතු කළේය. තවත් ලක්ෂ 3 ක ප්‍රමාණයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් අරමුදල හරහාද ශ්‍රී ලංකා ආණ්ඩුවට ලැබුණි. මෙම ලක්ෂ 10 ට අමතරව තවත් එන්නත් ලක්ෂ 15 ක් ශ්‍රී ලංකා ආණ්ඩුව සේරම් ආයතනයෙන් ඇණවුම් කරනු ලැබූවේ මාර්තු මාසයේය.
කොවිඩ් 19 රෝගයට එන්නතක් සොයා පරික්ෂණ ආරම්භ කරන ලද්දේ රෝගය පැතිර යද්දීමය. එහිදි ඇමෙරිකානු ජර්මානු ෆයිසර් සමාගම ඇමෙරිකාව හා එක්ව එන්නතක් නිර්මාණය කළ අතර එය ෆයිසර් එන්නත ලෙස හැදින්වීය. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය ද එන්නතක් නිර්මාණය කළ අතර එය ඇස්ට්‍රාසෙනිකා නම් විය. රුසියාව ස්පුට්නික් ඩ එන්නත සොයා ගනිද්දි ඇමෙරිකාව මොඩානා එන්නත ද ඇමෙරිකානු සමාගමක් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමද එන්නතක් නිර්මාණය කළේය.
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත හැර අන් සියළු එන්නත් මාත්‍රා දෙකක් පුද්ගලයෙකුට ලබාදිය යුතු වේ. ලෝකයේ මෙලෙස එන්නත් නිර්මාණය වෙද්දි අදාළ රටවල් ද එන්නත් ඇණවුම් කිරිම ආරම්භ කළේය. ඒ 2020 නොවැම්බර් මාසයේ සිටය. එම කාලයේදි ශ්‍රී ලංකා ආණ්ඩුව එන්නත් ගෙන්වීම පසෙකලා සුදර්ශණ පැණිය හා ධම්මික පැණිය පසු පස යමින් ජනතාවට පැණි පොවමින් සිටියේය.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මෙම පැණිය ප්‍රවර්ධනය කිරිමේ කටයුතු බාරගෙන සිටි අතර ආණ්ඩුවේ බහුතරයක් මෙයට නියම් හා අනියම් අයුරින් සහාය ලබාදුනි.
ශ්‍රී ලංකා ආණ්ඩුව පැණිය පසු පස යද්දී ඊශ්‍රායලය ඩෙලර් 10 ට මිලදී ගත හැකිව තිබු එන්නතක් ඩොලර් 15 ට මිලදී ගැනීමට තීරණය කර තිබුණේ එන්නත් සඳහා පවතින අධික ඉල්ලුම හේතුවෙනි. එහිදී ඊශ්‍රායල් රජය ප්‍රකාශ කර තිබුණේ රෝගය පැතිරීම සිය ආර්ථිකයට හානියක් බැවින් වැඩිපුර ඩොලර් 5 ක් එක එන්නතකට යාම පාඩුවක් නොවන බවය.

නොවැම්බර් දෙසැම්බර් වන විට යුරෝපය ඇමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක් එන්නත් ඇණවුම් කර තිබීම නිසා එන්නත් නිෂ්පාදනය වේගවත් කිරිමට අදාළ සමාගම්වලට සිදුවිය. පාකිස්ථානය, භූතානය, බංග්ලාදේශය අපට පෙර එන්නත් ඇණවුම් කර තිබු බැවින් ඉන්දියාවේ සේරම් සමාගම එම රටවල් වෙත ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදීමට පියවර ගෙන තිබුනි.
ඉකුත් පෙබරවාරි මස අගදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරටට පැමිණි අවස්ථාවේදී ද ඉන්දියාව ලංකාවට එන්නත් ලබාදීමට කැමති බව ප්‍රකාශ කළත් මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය එන්නත් මිලදි ගැනීමේ වැඩපිළිවෙලකට මුල පුරා නොතිබුණි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මෙරටට ගෙන එන එන්නත් ගැන ශ්‍රී ලංකා ඖෂධ නියාම අධිකාරිය වෙත දැනුම් දිය යුතු වුවත් එය ඒ වනවිටත් කර නොතිබුණි. පසුව ඉන්දියාවේ ඇස්ට්‍රාසෙනිකා එන්නත මිලදි ගැනීමට තීරණය කිරිම නිසා ඖෂධ නියාමන අධිකාරිය ඊට අවසර දුන්නේය. ඒ අනුව පෙබරවාරි මස අගදී ඉන්දියාවේ විශේෂ මැදිහත්වීමෙන් එන්නත් ලක්ෂ 5 ක් ලංකාවට ගෙන්වා ගැනීමට හැකිවිය.
ආණ්ඩුව එන්නත්කරණය ආරම්භ කළ අතර තවත් එන්නත් ලක්ෂ 5 ක් ද ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණි. මේ අතර ලංකා ආණ්ඩුව ඇණවුම් කළ එන්නත් ලක්ෂ 15 ක ප්‍රමාණය අප්‍රේල් මසදී ලබාදිය නොහැකි බව සේරම් ආයතනය දන්වා සිටියේ මේ අතරවාරයේදීය. සේරම් ආයතනයේ පණිවුඩය ලැබෙන විට ආණ්ඩුව ලක්ෂ 9 ට ආසන්න ජනතාවකට එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබුනි.

ආණ්ඩුවේ කළමනාකාරිත්වයේ දූර්වලතාව හේතුකොට ගෙන මේ වන විට ලක්ෂ 6 ට අධික සංඛ්‍යාවකට දෙවන මාත්‍රාව නියමිත දිනට ලබාදීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. ආණ්ඩුව සතුව තිබූ ලක්ෂ 10 ක එන්නත් තොගයෙන් ඉන්දීය ඇණවුම ලැබෙන තෙක් පළමු මාත්‍රාව ලක්ෂ 5 ට පමණ දුන්නේ නම් මෙම ගැටළුව පැණ නොනගියි. නමුත් තමන් අත නැති දෙයක් ගැන විශ්වාසය තබා එන්නත්කරණයට යාමෙන් ආණ්ඩුව මෙම අර්බුදයට ජනතාව ඇද දමා තිබේ.

ඔක්ස්ෆර්ඩ් සරසවිය පවසන ආකාරයට ඇස්ට්‍රාසෙනිටා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී සති 3 ත් සති 13 ත් අතර සිමාව තුළදි දෙවන මාත්‍රාව ලබාදිය යුතුය. නමුත් මැයි මස අවසන් වන විට පළමු මාත්‍රාව ලබාදුන් ලක්ෂ 6 ට වැඩි පිරිසකට දෙවන මාත්‍රාව ලබාදීමට හැකියාවක් නොමැත. සරල අංක ගණිතය අනුව ආණ්ඩුව කටයුතු නොකිරිමෙන් මෙම ගැටළුව මතුව තිබේ.

ආණ්ඩුවේ එන්නත්කරණ ක්‍රියාවලියේදි එක එන්නත් මාත්‍රාවක් හෝ ලබාගත් පිරිස මේ වන විට 1315000 ක් පමණ වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. එහිදි කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 925242ට ද, එහි දෙවන මාත්‍රාව 267077 දෙනෙකුට ද ලබා දී තිබේ. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 375316 දෙනෙකුට ද දෙවන මාත්‍රාව 2435 දෙනෙකු ද මේ වන විට ලබාදී අවසන්ය. ස්පුට්නික් එන්නත පුද්ගලයින් 14699 ට ලබා දී තිබේ.

චින එන්නත හා ස්පුට්නික් එන්නත ද ආණ්ඩුවට ලද සියළුම ප්‍රමාණයන් මේ වන විට ජනාතවට දී අවසන්ය. දෙවන මාත්‍රාව දීම සදහා නැවත එන්නත ලැබිය යුතුය. ස්පුට්නික් එන්නත් මාත්‍රා 150000 ක් පමණ ලබන සතියේ මෙරටට ලැබෙන බව සෞඛ්‍ය රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන පවසයි. සයිනෝෆාම් එන්නතේ ලක්ෂ 20 ක් ද චීනය ලබන මස දී මෙරටට ලබාදීමට එකගතාවය පළ කර ඇත.
මේ අතර එන්නත්කරණයේදි මතුවී ඇති ප්‍රධාන ගැටළුව නම් ප්‍රාදේශීය දේශපාලඥයන් හා උසස් නිලධාරින් තම හිතවතුනට හා ඥාතීනට ද පිට පාරෙන් එන්නත් ලබාදීමට කටයුතු කිරිමය. බස්නාහිර පළාත තුළ මේ වන විට සයිනොෆාම් හා ස්පුට්නික් එන්නත් ලබාදුන් අතර එහිදි මේ අර්බුදය මතුවිය. එන්නත ලබාදෙන ප්‍රදේශයේ ජනතාව අළුයම සිට පෝලිමේ සිටියද පිට පාරෙන් පැමිණ එන්නත් ගැනීම හේතුවෙන් ඔවුන් පෝලීමේ වැඩිවේලාවක් රස්තියාදුවීම නිසා ජනතාව සිය විරෝධය පළකර තිබුනි.

කිලෝමිටර ගණන් පොලිම් එන්නත්කරණ මධ්‍යස්ථාන අසල දක්නට ලැබුනි. මතුගම, කොට්ටාව, මීතොටමුල්ල ආදී ප්‍රදේශ රැසක මෙම පෝලිමෙන් පිට එන්නත් දීමේ අර්බුදය මතුව තිබුණි. මොරටුව නගරාධිපති සමන් චන්ද්‍රලාල් තම හිතවතුනට එන්නත ලබා ගැනීමට අංකයක් හා වේලාවක් ද ලබා දී තිබු ඡයාරූපද අන්තර්ජාලයේ විය.
ඇමෙරිකාව, එංගලන්තය, ඊශ්‍රායලය යන රටවල් සිය ජනගහණයෙන් 60%ට වැඩි සංඛ්‍යාවකට මේ වන විට එන්නතක පළමු මාත්‍රාව හෝ ලබාදී තිබියදී ලංකව මේ වන විට ලබාදී ඇත්තේ සිය ජනගහණයෙන් 6%ට
පමණි. එයත් එන්නතේ පළමු මාත්‍රාව පමණක් වීම කණගාටුවට කරණකි.
මේ අතර ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් හා දිළිදු රටවලට කොවැක්ස් පහසුකම ඔස්සේ පවා එන්නත් ලබා ගැනීමට නොහැකිව ඇත්තේ ධනවත් රටවල් සිය අවශ්‍යතාවයෙන් සියයට 150 ක් පමණ එන්නත් ගබඩා කර ගැනීම හේතුවෙනි. මෙම තත්ත්වය මත දියුණු රටවල පුද්ගලයන් අතිරික්ත එන්නත් වහාම දුප්පත් රටවලට මුදාහරිණ ලෙසට ඉල්ලා උද්ඝෝෂණය කිරිම නිසා ඇමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක් සිය අතිරික්ත එන්නත් දිළිදු රටවලට ලබාදීමට තිරණය කර ඇත. එම නිසා ලංකාවට ද එන්නත් මිලියන 5 ක් පමණ ලැබෙනු ඇතැයි උපකල්පනය කෙරෙයි.

ධනවත් රටවල උද්ඝෝණයන්ට පාදක වූවේ ඉන්දියානු කොවිඩ් ඛේදවාචකයය. ඉන්දියාවේ එන්නත් නිෂ්පාදනය ඉකුත් මාර්තු මාසයේදි අඩපණ වූවේ ඇමෙරිකාව විසින් එන්නත් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මුදා හැරිම තහනම් කිරීමය. ඇමෙරිකානු නව ජනාධිපති ජෝ බයිඩ්න් විසින් සිය රටවැසියන්ට එන්නත් කොට අවසන්වන තෙක් එන්නත් හෝ ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය කිසිවක් මුදා නොහරින ලෙසට නියෝග කළේය. එම නිසා ඉන්දියාවේ එන්නත් නිෂ්පාදනය මෙන්ම එන්නත්කරණය ද අඩපණව ගියේය.
දියුණු රටවලින් නිකුත් කෙරන එන්නත් තොගයෙන් වැඩිම ප්‍රමාණයක් ඉන්දියාවට ලැබීමට නියමිත අතර සෙසු රටවලට යම් යම් ප්‍රමාණයන් ලැබෙනු ඇත. ඒ කෙසේ වෙතත් ආසියාවේ එන්නත්කරණය අවසන් කළ රට ලෙස භූතානය ඉදිරියට පැමිණ සිටියි. භූතානය සිය ජනගහණයෙන් 90% ක් පමණ එන්නත් කොට අවසන්ය. මන්ද ඔවුන් පළමු වටයේදීම එන්නත් ඇණවුම් කිරිම හේතුවෙනි. ලංකාවට ද මෙම ඉලක්කයට යා හැකිව තිබු නමුත් ඔවුන් ධම්මික පැණිය පසුපස ගිය බැවින් එය නතර විය.
ලංකාවේ කොවිඩ් තත්ත්වය ද මේ වනවිට දරුණු තත්ත්වයකට පැමිණ තිබේ. ලෝක සෞඛ්‍යය සංවිධානය ද මෙරට කොවිඩ් අසාදිතයන් මිලියනයක් දක්වා යනු ඇති බවට පුරෝකතනය කර තිබේ. එම නිසා ලංකාව ද උපකාර අවශ්‍ය රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කොට ඇත.
ඉන්දියානු ප්‍රභේදය ලංකාවේ පැතිර යන බැවින් එක රෝගියෙකුගෙන් පුද්ගලයන් දෙදෙනෙකුට කොවිඩ් අසාදනය වුවහොත් දින 100 ක් ගතවන විට අසාදිතයන් ගණන මිලියනයක් විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පවසයි.

කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව මේ වන විට 140000 ට ආසන්න වෙමින් තිබේ. මරණ ගණන දහස පැණ තිබේ. මේ සියළු තත්ත්වයන් හමුවේ ආණ්ඩුව රට වැසුවහොත් ආර්ථිකයට වන හානිය ගැන කියමින් සිටියි. ඉකුත් සතියේ දින 3 ක් රට වැසීමෙන් කෝටි ගණනක පාඩුවක් වූ බව මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියි. ඉදිරි සතිය ද දින දෙකක් හැර සෙසු දින වසාදැමීමට ආණ්ඩුව තීරණය කර ඇත.
ආණ්ඩුව නිසි වේලාවට එන්නත්කරණය පටන් ගෙන අවසන්වූවා නම් මෙවැනි අර්බුදයකට රට ගමන් කරන්නේ නැති බව පැහැදිලිය.
– ලසන්තවීරකුලසූරිය

Leave A Reply

Your email address will not be published.

nineteen − nine =