‘අවදානම්’ ඇඟළුම් සේවකයින්ට වැඩට එන්න බල කරන්න එපා – සංවිධාන හතරක් ඉල්ලයි

නිදහස් වෙළඳ කලාපවල කෝවිඩ්-19 හේතුවෙන් ඇතිව තිබෙන අර්බුදය වහාම විසඳන්නැයි ඇඟළුම් ශ්‍රමික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හතරක් ඉල්ලා සිටියි.
එම අර්බුදය විසඳීම සඳහා ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් රජයට, කර්මාන්ත ශාලා හිමිකරුවන් සහ සේවායෝජකයින් වෙත ලිපියක් යොමු කරමින් එම සංවිධාන මේ බව ඉල්ලා තිබේ. දාබිඳු සාමූහිකය, මානව සංවර්ධනය සඳහා විප්ලවීය පැවැත්ම (RED), ශ්‍රමඅභිමානී කේන්ද්‍රය, සහ ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් ලංකා යන සංවිධාන හතර මෙම ඉල්ලීම සිදුකරයි.
සේවා තත්ත්වය නිසා අනතුරුදායකත්වයට නිරාවරණය වීමේ අවදානමක සිටින ඇඟළුම් සේවකයින්ට රැකියාවට පැමිණීමට බලනොකළ යුතු බවත් ගර්භනී කාන්තාවන්, දියවැඩියාව හෝ වෙනත් බෝනොවන රෝග සහිත රෝගාතුරවීමට ඉඩ ඇති සහ බරපතල රෝගාබාධ සඳහා අනතුරුදායකත්වය ඉහළ කම්කරුවන්ට ද මෙලෙස බල නොකළ යුතු බවත් එම සංවිධාන ඉල්ලා සිටී. නිදහස් වෙළඳ කලාපවල සේවකයින්, මෑන්පවර් සේවයකින් සඳහා අදාළ කර්මාන්ත ශාලාව හෝ වෙළඳ කලාපය තුළ නවාතැන් ලබාදිය යුතු බවද එවිට, කම්කරුවන් නවාතැන්වල සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේ දී ඉඩ නොමැති බව පවසමින් ප්‍රමාද වීමක් සිදු නොවන බවද ඔවුහු පවසති.
කර්මාන්තශාලා හිමියන්ට තමන්ගේ සේවකයින් ආරක්ෂා කිරීමේ වගකීම ඇති බවත් තම සේවකයින් සඳහා නවාතැන් ලබාදීමට නොහැකි කර්මාන්තශාලා හිමියන් විසින් සේවකයින්ට ඔවුන්ගේ
නේවාසිකාගාර තුළ දී ප්‍රායෝගිකව ආරක්ෂාව තහවුරු කළ යුතු බවත් පෙන්වා දෙන එම සංවිධාන, විවිධ කර්මාන්තශාලාවල සේවකයින් එක්ව ජීවත්වන මෙවන් නවාතැන් ස්ථාන තුළ කෝවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ප්‍රමාණවත් පහසුකම් ලබාදිය යුතු බවද සඳහන් කරයි. ක්‍රමානුකූල පීසීආර් පරීක්ෂණ, ආරක්ෂණ ක්‍රියාමාර්ග සහ වේතන සැලසුම් පිළිපදින්නේ ද යන්න පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කම්කරු නිලධාරීන් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නිලධාරීන් නිරන්තරයෙන් අධීක්ෂණය කරන බවට සහතික වන්නැයි ද එම සංවිධාන ඉල්ලයි. ප්‍රමාණවත් කම්කරු නියෝජනයක් සහිතව සෑම කර්මාන්ත ශාලාවකම සෞඛ්‍ය කමිටු පිහිටුවීම පිළිබඳවත් අවධානය යොමු කරන්නැයි ද ඔවුහු ඉල්ලති.
නිදහස් වෙළෙඳකලාප තුළ සහ ඇඟළුම් ක්ෂේත්‍රයේ කම්කරුවන් සඳහා බස්නාහිර පළාතේ සහ අනෙකුත් පලාත්වල ද කෝවිඩ් 19 එන්නත් කරණයේ දී ප්‍රමුඛතාවය ලබා දෙන්නැයි එම සංවිධාන ඉල්ලයි. මේ සඳහා සාමාන්‍ය සේවකයින් මෙන්ම මෑන්පවර් නියෝජිත ආයතනවල සේවකයින් යන දෙපාර්ශවයම ඇතුළත් විය යුතු බවත් නිදහස් වෙළඳ කලාපවලට ආසන්නව සහ විවිධ නිදහස් වෙළඳ කලාපවල ගේට්ටු අසල එන්නත් කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවා සති දෙකක් ඇතුළත සියලුම කම්කරුවන් එන්නත් කිරීමේ ඉලක්කයක සිටිමින් එන්නත්කරණය කළ යුතු බවත් එම සංවිධාන පෙන්වා දෙයි.

Leave A Reply

Your email address will not be published.

4 + five =