කොවිඩ් ණය කෝටි 900ක් අතුරුදහන් !

රෝහල් ඇඳන් හා හෙද සේවය අඩු කරලා
මෙරට තුළ කොරෝනා වසංගතය ආරම්භ වූ පසුගිය වසරේ දී රජයේ රෝහල්වල ඇඳන්, හෙද හෙදියන්, උපස්ථායකයන් මෙන් ම සහකාර වෛද්‍යවරුන් අඩු වී සෞඛ්‍ය සේවය බරපතළ ලෙස කඩවැටෙමින් තිබිය දී, වසංගතය මර්දනය සඳහා ලැබුණු විදේශ ණය ඇතුළු අරමුදල් මහා පරිමාණයෙන් වංචා කර තිබේ දැයි බලවත් සැකයක් මතු වී තිබේ.
මෙම සැකයට විශේෂයෙන් හේතු වී තිබෙන්නේ, ජාත්‍යන්තර සංවර්ධන සංගමය විසින් ලබා දී තිබෙන රුපියල් කෝටි 1,340කට ආසන්න හදිසි ප්‍රතිචාර ණය මුදලක් පවා ලබා දී තිබිය දීත්, ආණ්ඩුව කොවිඩ් මර්දනය සඳහා සෞඛ්‍ය උපකරණ වෙනුවෙන් වැය කර තිබෙන්නේ, රුපියල් කෝටි 450ක් බව හෙළි වීමෙන් ය. ජාත්‍යන්තර සංවර්ධන සංගමය ‘කොවිඩ්-19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතිය’ යනුවෙන් නිශ්චිතව ම කොවිඩ් මර්දනය වෙනුවෙන් එම ණය මුදල ලබා දී ඇත.
එසේ තිබිය දී, 2020 වසර තුළ දී රජයේ සෞඛ්‍ය සේවයේ මූලික අවශ්‍යතා ගණනාවක් 2019 වසරට වඩා අඩු වී තිබේ. රජයේ රෝහල්වල ඇඳන් සංඛ්‍යාව 843කින් අඩු වීම, සහකාර වෛද්‍යවරුන් 98 දෙනකු අඩු වීම, හෙද හෙදියන් 642 දෙනකු අඩු වීම සහ උපස්ථායකයන් 147 දෙනකු අඩු වීම වශයෙන් සෞඛ්‍ය සේවය බිඳවැටී ඇති බව මහා බැංකු වාර්ෂික වාර්තාවෙන් හෙළි වේ. ඊට අමතරව කොරෝනා මර්දනය සඳහා ම පිහිටුවන ලද ‘ඉටුකම’ අරමුදලෙහි මුදල් යොදවා මිලදී ගෙන ඇති ගිලන් රථ සඳහා මුදලක් වැය කර ඇති බවට හෙළි වී තිබේ.
මේ අතර, පසුගිය වසරේ දී ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ වෙනත් මූල්‍ය ආයතන ද, විවිධ රාජ්‍යයන් ද මෙරට කොරෝනා මර්දන කටයුතු සඳහා මූල්‍යමය ආධාර විශාල ප්‍රමාණයක් ලබා දී තිබිණි. එම ආධාර පිළිබඳ කිසිදු නිල තොරතුරක් මහ බැංකු වාර්තාවේ සඳහන්ව නැත. මේ වන විට කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කොවිඩ් මර්දනය වෙනුවෙන් දානපතියන්ගෙන් ආධාර ඉල්ලන තත්ත්වයට සෞඛ්‍යය සම්බන්ධයෙන් අරමුදල් සැපයීම බරපතල අර්බුදයක් වී ඇත. එසේ ම විදේශ රැකියා කරන්නන් සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු ආධාර ඉල්ලා ඇත.
ඉදිරි දින සියය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය දක්වා වැඩි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක අනතුරු ඇඟවීම් කර ඇත. එසේ තිබිය දී, මේ සම්බන්ධයෙන් අරමුදල් මෙහෙයැවීම කිසිදු විනිවිදභාවයකින් තොරව සිදු කෙරෙන බව විවිධ කරුණු මඟින් සනාථ වී තිබේ.

Leave A Reply

Your email address will not be published.

17 − 7 =