“නම්” – සරසවි උපසංස්කෘතිය පිලිබද සංවාදයකට මුලපිරුමක්

සමකාලීන සංස්කෘතික-දේශපාලන අවකාශයේ එක් අධිපති ධාරාවක් සමග විවිධ ආකාරවලින් ගැටෙන, එහි බලපෑමට ලක්වන සහ අවසාන වශයෙන් ඊටම අවශෝෂණයද වන තරුණයෙකුගේ ජීවිත කතාවක් සුදර්ශන සමරවීරගේ “නම්” නවකතාවට පදනම් වෙනවා. කතාව ඉදිරිපත් කෙරෙන්නේ කොටස් හතරකින් යුක්තවයි. පලමු කොටස් දෙක සහ අවසාන කොටස් දෙක අතර කතාව ඉදිරිපත් කරන ආකාරයේ පැහැදිලි වෙනසක් දකින්නට පුලුවන්. ඒවගේම යථාර්තවාදී රීතියකට මුල්තැන දෙමින් යන මුල්කොටස් දෙකට අනතුරුව එන අවසාන කොටස් සැලකිය යුතු මට්ටමකින් අධියථාර්තවාදී රීතියකින් ඉදිරිපත් වෙනවා.
කතාවේ වඩාත්ම තීරණාත්මක කොටස හැටියට සැලකිය හැක්කේ “අන්දරේගේ සරසවි අන්දරය” නමින් වන දෙවන කොටසයි. ප්‍රමාණයෙන් මුලු නවකතාවෙන් හරි අඩක් පමණ වන මෙම කොටස නවකතාවේ නම – “නම්” – ඍජුව අදාල වන කොටස හැටියටද සලකන්න පුලුවන්. විශ්ව විද්‍යාල උපසංස්කෘතිය පිලිබදව සිංහල නවකතාවක වන වඩාත්ම විස්තරාත්මක විග්‍රහයක් එහි ඇතුලත්. උපසංස්කෘතිය දිවිහිමියෙන් රැකගැනීම පිලිබද අදහස ශිෂ්‍යයෙකුගේ සිතට ඇතුලු වන ආකාරය සහ දිවිහිමියෙන් එය රැක ගැනීම වෙනුවෙන් ප්‍රාකාරයක් ගොඩනැංවීම දක්වා විස්තරය ඉතාම සජීවී ආකාරයකින් ඉදිරිපත් වෙනවා. අවසානයේ එම ප්‍රාකාරය තුලම ශිෂ්‍ය මානසිකත්වය සිරගතවීම, එක්තරා ආකාරයේ ඉන් බාහිර සමාජයේ චින්තනමය සිරගත වීම පිලිබද කතාවක්ද වෙනවා.

සරසවි උපසංස්කෘතිය සම්බන්ධයෙන් වර්තමාන සමාජයේ තේරුම් ගැනීම් ප්‍රධාන ආකාර වර්ග දෙකක් දකින්නට පුලුවන්. පලමු වැන්න, මේ කෘතියේ සදහන් සිතුවිලි සැකසුම් ක්‍රියාවලිය ඔස්සේ නිර්මාණය වන ඒ පිලිබද සරසවි ශිෂ්‍ය ආකල්පය. දෙවැන්න, ප්‍රධාන වශයෙන් ජනමාධ්‍ය වාර්තා කිරීම් ඔස්සේ බාහිර සමාජය තුල ඒ සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති ආකල්පය. මෙම ධාරාවන් දෙක අතර ඇති පරතරය නිසාම, මෙම භාවිතයට කිසිදු වෙනසකින් තොරව පවතින්නට හැකියාවකුත් ලැබී තියනවා. කතාවේ දැක්වෙන ආකාරයට, සරසවි ශිෂ්‍යයා ක්‍රමානුකූලව “බලුවිය”, “රජ විය”, “අවබෝධ විය” පසුකරමින් “එපා විය” දක්වා ඇවිත් බාහිර සමාජයට එකතු වෙනවා. එහෙත් ව්‍යුහය තවදුරටත් තවත් පිරිසක් විසින් ඉදිරියට ගෙන යනවා. ජනප්‍රිය යෙදුමකින් කියනව නම් සීනි දියවෙලා යනව, හැබැයි ගෝනි දිරන්නෙ නැහැ.

මේ දෙකටම පරිබාහිරව ශිෂ්‍යයන් අතරින්ම ගොඩ නැගෙන (කතාව තුල අන්දරේ නියෝජනය කරන ආකාරයේ) වෙනත් ප්‍රවේශයන්ද තිබුණත් ඒවා තවමත් ප්‍රධාන ධාරාවක් ලෙස වර්ධනය වී නැහැ. එම නිසා මේ පිලිබද බැරෑරුම් සාකච්ඡාවක් සරසවි ප්‍රජාව තුලත් සමාජය තුලත් ඇතිවීම වැදගත් දෙයක්. මෙම කෘතියේ වඩාත් වැදගත් දායකත්වය ලෙස සැලකිය හැක්කේ එම කාරණයයි.
“නම්”, ස්වර්ණ ග්‍රන්ථ ප්‍රකාශනයක්
-නිශාන්ත කුලරත්න (fb)

Leave A Reply

Your email address will not be published.

five × two =