ඊශ්‍රායෙලය සමග සටන් වදින කවුද මේ හමාස් ගරිල්ලන්..?

පලස්තීන ඊශ්‍රායෙල් අයිතිහාසික ගැටුම සෑම දශකයකම අප අත්විඳ ඇත. ලෝක බලතුලනය අතරට සිරවී ඇති මෙම සටනට ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ජීවිත බිලිගෙන ඇත. ඊශ්‍රායෙල් පලස්තීන අර්බුධය දේශපාලනික වශයෙන් නිරවුල් කර ගැනීමට PLO නොහොත් පලස්තීන විමුක්ති සංවිධානය බිහි වන්නේ යසර් අරපත්ගේ මූලිකත්වයෙනි. පීඑල්ඕ සංවිධානයේ බලය 1980 වනවිට යම් තාක් දුරකට බිඳ වැටීමත් සමගම හමාස් සංවිධානය බිහිවිය. හමාස් යනු ඊශ්‍රායෙල් රාජ්‍යයට හිසරදයක් වූ යසර් අරපත්ගේ බල බිඳිමට මොසාඩ් සංවිධානය විසින් ගොඩනැගූවකි. එය හරියටම ඇමරිකාවේ සීඅයිඒ සංවිධානය තම අරමුණු මුදුන් පමුණුවා ගැනීමට අල් කයිඩා අයිඑස් වැනි ඉස්ලාමීය කංඩායම් බිහිකළ ආකාරයටම සිදුවිය. නමුත් ඉහතකී ඉස්ලාමීය සටන්කාමී ව්‍යාපාර ඇමරිකන් හස්තයෙන් මිදී පසු කළෙක ඇමරිකාවට අවි එසවූ ආකාරයටම හමාස් සංවිධානයද පලස්තීනයේ දේශපාලන බලය 2006 වසරේ පැවති මහ මැතිවරණයකින් ලබා ගත් පසුව ඊශ්‍රායෙල් මොසාඩ් ග්‍රහණයෙන් මිදී ඊශ්‍රායෙලයටම ප්‍රහාර දියත් කිරීමට පටන් ගත්තේය. ලොව පුරා ගොඩ නැගුනු තිරස්චීන යුද්ධ වල කර්කෂක සත්‍යය වන්නේ තම පටු අරමුණු වෙනුවෙන් විවිධ සංවිධාන කල්ලි කණ්ඩායම් ගොඩ නගා තම බලය හා ධනය ශක්තිමත් කර ගැනීමය. ගාසා තීරයේ පාලනය පවතින්නේ හමාස් සංවිධානය යටතේ යි. ලෝකයේ පොදු පිළිගැනීම වන්නේ මෙම සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් බවයි. නෝර්වේ හා ස්විට්සර්ලන්තය එම මතයට පරිබාහිර මතයක් දරයි. පලස්තීන විමුක්ති සංවිධානය ඊශ්‍රායල-පලස්තීන අර්බුධය දේශපාලනික මට්ටමෙන් විසඳා ගැනීමට උත්සාග ගත්තත්, හමාස් සංවිධානයට අවශ්‍ය යුධ බලයෙන් ඊශ්‍රායලය එම භූමියෙන් මුළුමනින්ම අතුගා දැමීමටය. ඒ වෙනුවෙන් යුධමය ක්‍රියාමාර්ග වලට හමාස් සංවිධානය එළඹිය. හමාස් සංවිධානයේ මිලිටරි බලගණය හඳුන්වන්නේ Izz ad-Din al-Qassam Brigades නමිනි. හමාස් හි පුරෝගාමී නායකයින් අතර Sheikh Ahmed Yassin, Abdel Aziz al-Rantissi, Mahmoud Zahar, Mohammad Taha, Abdel Fattah නම් කළ හැක. වර්තමානයේ හමාස් සංවිධානයට නායකත්වය දෙනු ලබන්නේ Khaled Khaled Mashal විසිනි.

හමාස් සංවිධානය ක්‍රියාත්මක වන්නේ ලොව ජන ඝණත්වය වැඩිම ප්‍රදේශයක් සේ සැලකෙන ගාසා තීරයේ සිටය. හමාස් සංවිධානය විසින් ඊශ්‍රායෙලය ඉලක්ක කරමින් එල්ල කරන ප්‍රහාර දියත්වන්නේද එකී ජනාකීර්ණ ප්‍රදේශ මුල් කරගෙනය. පලස්තීනය යනු අරාබි රටවල ආධාර මත යැපෙන කුඩා භූමියකින් සමන්විත රටකි. ඊශ්‍රායෙල් පාලනය විසින් අයුක්ති සහගත ලෙස තම නිජබිම් තුලින් පලවා හරින ලද ජනයා රැඳී සිට්නේ ගාසා තීරය තුලය. මෙම කුඩා රාජ්‍යය ලොව බොහෝ රටවල් නෛතිකව පිළිනොගත්තද කටාර් තුර්කිය වැනි ප්‍රබල රටවල් ධනයෙන් මෙන්ම අවියෙන්ද පලස්තීනයට ආධාර කරමින් සිටී. මෙම ප්‍රදේශයට පැමිණි එකම ආරාබි රාජ්‍ය නායකයා වන්නේ කටාරයේ එමීර් වරයා වන හමාඩ් බින් කලීෆා අල් තානිය. ඔහුගේ සංචාරයෙන් අනතුරුව පලස්තීනයට ඩොලර් බිලියන 1.8 ක ආධාර ලැබී ඇත්තේ හමාස් සංවිධානය වෙතය.

ලොව කුඩා මුහුදු තීරයක් හා ගොඩබිම් ප්‍රදේශයක් සහිත පලස්තීනයට මෙතරම් රොකට් හා කෙටිදුර මිසයිල ලැබී ඇත්තේ ඉරානයෙනි. මුස්ලිම් ලෝකයේ බොහෝ රටවල් ඊශ්‍රායෙලය සමග සෘජු සටනකට නොපැමිණියද හමාස් හිස්බුල්ලා වැනි සටන්කාමී සංවිධානය අවියෙන් ධනයෙන් පෝෂණය කිරීම නිරන්තරයෙන් සිදුවේ. ඉරාන අවි සූඩානය හරහා ඊජිප්තුවටද එතැනින් පලස්තීනයටද පැමිණෙන බව ප්‍රසිද්ධ කරුණකි. සූඩානයේ හිටපු ආඥාදායක පාලකයා වූ ඔමාර් අල් බසීර් ගේ පාලන සමයේදී බර අවි විශාල වශයෙන් හමාස් සංවිධානයට සපයා ඇත. එමෙන්ම වර්තමාන තුර්කි ජනපති එර්ඩෝගන්ද හමාස් සංවිධාන ශක්තියේ කොඳුනාරටියකි.

ජර්මානු මිසයිල තාක්ෂණ විශේෂඥයෙකු වූ ෆේබියන්ස් හින්ස් පවතින ගැටුම්නාරී තත්වය තුල ප්‍රකාශ කර සිට්යේ හමාස් සංවිධානය සතුව රොකට් 6000 ක් පමණ ඇති බවය. එමෙන්ම හමාස් සටන්කාමීන්ගේ සහයට පැමිණෙන අනෙකුත් ජෙහාඩ් කල්ලි සතුව රොකට් 8000 ක් පමණ ඇති බවය. මේ වනවිට ගාසා තීරයේ සිට හමාස් සටන්කාමීන් විසින් 2000 කට වැඩි රොකට් ප්‍රහාර එල්ලකර ඇත. එහෙත් ඊශ්‍රායෙල් අයන් ඩ්‍රෝම් මිසයිල නාශක ආරක්ෂණ පද්ධතිය මගින් එම ප්‍රහාරයන් ගෙන් බොහොමයක් ගුවනේදීම විනාශ කර ඇත. හමාස් සංවිධානය විසින් එල්ල කරන ප්‍රහාරයන්ට ප්‍රතිප්‍රහාර වශයෙන් ඊශ්‍රායෙලයෙන් හමා එන මිසයිල වලින් අහිංසක පලස්තීනුවන් දහස් ගණනක් මේ වනවිට මියගොස් ඇත. ගාසා තීරයේ ජීවත්වූ වැසියන්ගෙන් 70%ක් පමණ ගැටුම් නිසා කිසියම් ආකාරයකින් විපතට පත්ව ඇත.
– රසල් බණ්ඩාරවත්ත

Leave A Reply

Your email address will not be published.

19 − fifteen =