COVID 19 බිලිගත්, සිය වසරක් ආයු විඳි, ඇනී ග්ලෙන් (Annie Glenn)

1920 පෙබරවාරි මස 20 දින උපන් ඇය , තම 100 වෙනි උපන් දිනය සැමරුවෙ පසුගිය 2020 වසරේ පෙබරවාරි 20 වෙනිද. උපතින් ඇනා මාගරට් කැස්ටර් වන ඇය, ඇනී ග්ලෙන් ලෙස තම නම වෙනස් කර ගන්නෙ , 1943 වසරෙදි ඔහු සමග විවාහ වූ පසුවයි. ඔහු ඇමරිකානු සෙනෙට් සභිකයකුව සිටි , කීර්තිමත් අභ්‍යවකාශගාමී ජෝන් ග්ලෙන්. ඇමරිකා එක්සත් ජනපදය මගින් අභ්‍යවකාශයට යැවූ, දෙවන මිනිසා මෙන්ම එම චාරිකාවෙදි , පෘථිවිය වටා කක්ෂගත වුණු, පළමු ඇමරිකානුවා වීමේ වාර්තාව තබන්නෙ ඔහුයි. ඒ 1962 වසරෙ පෙබරවාරි 20 වෙනි දින, මර්කරි අභ්‍යවකාශ ව්‍යාපෘතිය මගින් යවන ලද, Friendship 7 නම් අභ්‍යවකාශ යානයෙන්. එය ඔහු සමග පොළොව වටා තුන් වරක් කක්ෂගත වෙනව. ඔහුගේ ඒ පළමු අභ්‍යවකාශ චාරිකාවෙන් , ඔහු යූරි ගගාරින් ට පසු පෘථිවිය වටා කක්ෂගත වුණු දෙවන මිනිසා බවට පත් වෙනව. ඔහුට පෙර ඇමරිකාවෙන් අභ්‍යවකාශයට යැවූ ප්‍රථම ඇමරිකානු අභ්‍යවකාශගාමියා වන ඇලන් ෂෙපර්ඩ් පොළොව වටා කක්ෂගත වන්නෙ නැහැ.

ඇනී ග්ලෙන් ඇමරිකාවේ ඔහායෝ ජනපදයේ අගනුවර වන, කොලොම්බස් වල උපත ලබන අතර ජෝන් ග්ලෙන් උපත ලබන්නෙ, 1921 ජූලි 18 වෙනි දින ඔහායෝ ජනපදයේ කේම්බ්‍රිජ් නම් නගරයෙ. ජෝන් ග්ලෙන් අයත් වන්නෙ, NASA ආයතනය මගින් ඇමරිකානු අභ්‍යවකාශගාමීන් ලෙස තෝරා ගත්, Mercury Seven නමින් හැඳින්වූ සත්දෙනා අතරටයි. ජෝන් ග්ලෙන් 1964 දී NASA ආයතනයෙන් අස්වෙන්නෙ, ඇමරිකානු සෙනෙට් සභිකයකු වීම සඳහායි.

ඔහු 1974 සිට 1999 ජනවාරි දක්වා වසර 24 ක් සෙනෙට් සභිකයකු ලෙස සේවය කරනව. ඔහු එම තනතුර දරන අතරදිම, 1998 ඔක්තෝබර් 29 වෙනි දින ඩිස්කවරි අභ්‍යවකාශ ෂටලයෙන් තවත් සය දෙනෙකු සමග දෙවන වරටත් අභ්‍යවකාශයට පිවිසෙන්නෙ, තවමත් කිසිවෙකු බිඳ නොහෙලන ලද වාර්තාවක් තබමින්. ඒ තම වයස අවුරුදු 77 දී, අභ්‍යවකාශයට ගිය වයස්ගතම මිනිසා ලෙසයි. ඇනී ට වඩා අවුරුද්දකුත් මාස 5 ක් වයසින් අඩු ඇගේ ආදරණීය ස්වාමියා වූ ජෝන් ග්ලෙන් , 2016 වසරෙ දෙසැම්බර් මස 8 වෙනි දින මිය යන්නෙ, තම 95 වෙනි වියේදි. ජෝන් සහ ඇනී දෙදෙනට දාව ජෝන් ඩේවිඩ් සහ කැරොලින් ඈන් යන දූ පුතුන් දෙදෙන බිහිවෙනව. ඇයට ජෝන් ග්ලෙන් මුණ ගැසෙන්නෙ, ඇගේ තරුණ වියේ දිමයි. ඕගන් වාදනය හා සංගීතය ඉගෙනගත් ඇය 1943 වසරෙ අප්‍රේල් මස 6 වෙනි දින ජෝන් සමග විවාහ වන තුරුම විවිධ දේවස්ථානවල ඕගන් වාදනය කරන්නියක ලෙස කටයුතු කරනව.

විවාහ වන විට ඇගේ වයස අවුරුදු 23 ක් පමණයි. ඇනී ග්ලෙන් දන්ත වෛද්‍යවරයෙකු වූ ඇගේ පියා මෙන්ම ළමා කාලයේ පටන්ම කථා කිරීමේදී ගොත ගැසීමේ ආබාධයෙන් පීඩා විඳි කාන්තාවක්. ඇගේ වයස 53 දී ජෝන් ග්ලෙන් විසින් ඇය සති තුනක ප්‍රතිකාර වැඩ සටහනකට සහභාගි කරවීමෙන් ඇගේ ආබාධය බොහෝ දුරට අඩු කරවීමට හැකි වෙනව. සන්නිවේදන අපහසුතා වලින් පෙළෙන අය වෙනුවෙන් ඇය ඉටු කළ ප්‍රශංසනීය මෙහෙවර වෙනුවෙන් 1983 දී, ඇමරිකානු කථන හා ශ්‍රවණ සංවිධානය විසින් ප්‍රථම වරට ජාතික මට්ටමේ ත්‍යාගයකින් ඇය පුදනු ලබනව.

අවසානයේ ඇගේ 100 වෙනි උපන් දිනයෙන් තුන් මසකට පසු COVID 19 වයිරසය ඇගේ සියවස් සපිරුණු මහළු සිරුර ආක්‍රමණය කරනව. මිනසෝටා ජනපදයේ අගනුවර වන Saint Paul හි පිහිටි සාත්තු නිවාසයකදී COVID 19 විසින් ඇති කරන ලද සංකූලතා හේතුවෙන් ඇනී ග්ලෙන් 2020 වසරෙ මැයි මස 19 වෙනි අඟහරුවාදා දිනයේ ජීවිතයෙන් සමු ගන්නව. ඔහායෝ ජනපදයේ ආණ්ඩුකාර මයික් ඩිවයින් මෙසේ පවසනව : ” සියළු ඔහායෝවනට අද ඉතා ශෝක ජනක දිනයක් . ඇනී ග්ලෙන් කෙනෙක් නොසිටියා නම් ජෝන් ග්ලෙන් කෙනෙක් නොවන්නට ඉඩ තිබුණ. ඔවුන්ට තිබුණේ සිත් පුබුදුවන ආදර අන්දරයක්. අපේ රටේ සෑම හොඳ දෙයක්ම ඇය නියෝජනය කළා .
– ප්‍රේමශාන්ත කුමාරසිරි (fb)

Leave A Reply

Your email address will not be published.

4 × 5 =