බයිබල් යුගයෙනුත් ඔබ්බට යන ශ්‍රී ලංකා- ඊශ්‍රායල් සබඳතා

මීට දශක එක හමාරකට විතර කළින් දවසක කලු පාට උස තොප්පියක් දාගත්ත කලු කබායක් ඇඳ ගත්ත විදේශිකයෙක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා අංශයට ආවා. උන්නැහේට උවමනා වෙලා තිබුණේ තමන්ගේ වීසා තව මාසෙකින් දීර්ඝ කර ගන්න. සංචාරක වීසා වලින් ඇවිත් මාසෙකට වඩා ඉන්නවානම් දෙපාර්තමේන්තුවට ඇවිත් එහෙම කරගන්න ඕන. ඒත් විදේශිකයාගේ වීසා කාලය දීර්ඝ කිරීම නිලධාරීන් ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඒ කියන කාලෙ වෙන කොට සෝම හාමුදුරුවෝ එහෙම අපවත් වෙලා වැඩි දවසක් ගිහින් තිබුණෙ නෑ.කොටින්ම කිව්වොත් ඒක හෙළ උරුම යුගය. විදේශිකයාත් නිකම් රුසියන් ඕතඩොක්ස් පූජකයෙක් වගේ. උනනැහේගෙ වීසා ප්‍රතික්ෂේප වෙන්න ඒකත් හේතුවක් වුණා. ඒ නිසා කලු කබා කාරයා වීසා අංශයේ එහෙට මෙහෙට සක්මන් කරමින් සිටියා.
මේ කාලයේ වීසා පාලක වෙලා හිටියේ දැනට විශ්‍රාම ගොස් ඇති බොහෝ ඇසූ පිරූ තැන් ඇති පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. එතුමා සැදැහැවත් බෞද්ධයෙක් වුණාට භගවත් ගීතාව, කුරානය විතරක් නෙවෙයි හීබෲ බයිබලයෙත් කෙළ පැමිණියෙක්. කලු කබා කාරයා වීසා අංශයේ සක්මන් කරනවා දැක්ක එතුමා කා.කා.ස මහත්තැන් කෙනෙකුට කතා කළා.
“කවුද බලපන් අර එහෙට මෙහෙට ඇවිදින කව්බෝයි කාරයා. මිනිහව මෙහෙට එක්ක වරෙන් බලන්න”
වීසා පාලකතුමා කලු කබා කාරයා එක්ක කතා කළාම තමන්ගේ වීසා ප්‍රතික්ෂේප කරපු බවත් නිලධාරීන් ඊට හේතු නොදැක්වූ බවත් ඔහු කිව්වා. කලු කබා කාරයා ඊශ්‍රායල් ජාතික රබීබ් වරයෙක් (පූජක) බවත් වීසා පාලකතුමාට තේරුම් ගියා. වීසා ලබා නොදීම ගැන නිලධාරීන්ගෙන් ඇහුවාම ඒ අය කිව්වේ මේ ඊශ්‍රායල් කාරයා ආගම ප්‍රචාරය කරන්න ආපු බවට සැක සිතන බව.
“යකෝ යුදෙව් ආගම කියන්නේ conversions කරන ආගමක් නෙවෙයි. religious conversions ( ආගමික ප්‍රචාරණය) කරන ආගම් දෙකයි ලෝකෙ තියෙන්නේ එකක් ඉස්ලාම් අනික ක්‍රිස්තියානි.”
එහෙම කියපු පාලකතුමා කලු කබා කාරයාගේ වීසා දීර්ඝ කරලා දුන්නා.

කොහොම හරි එදා වීසා දීර්ඝ කර ගත්ත රබ්බි වරයා තමයි අද කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ තිබෙන ඊශ්‍රායල චබාත් හවුස් මධ්‍යස්ථානය ආරම්භ කළේ. චබාත් හවුස් කියන්නේ දේශීයව ජීවත් වන යුදෙව්වන්ට විතරක් නෙවෙයි සංචාරකයන්ට සේවා සපයන ඒ වගේම විවිධ සංස්කෘතික උත්සව සංවිධානය කරන ආයතනයක්. ඒක අපේ රටේ විතරක් නෙවෙයි. යුදෙව්වන් ජීවත් වන බොහෝ රටවල් වල තිබෙනවා. රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධකම් එක්ක කලු කබා කාරයා පසුව බොහෝ වැඩ කටයුතු අපේ රට වෙනුවෙන් කළා. සාමාන්‍යයෙන් ඊශ්‍රායල කාරයෝ කියන්නෙ කෙළින් වැඩ කරන ජාතියක්. යටි කූට්ටු වැඩ නැහැ.උදව්වක් කළොත් අමතක කරන්නෙත් නෑ. හැබැයි මොසාඩ් සංවිධානය මීට ටිකක් වෙනස් බවත් නොකියා බැහැ. අද වෙන කොට අපේ ලාංකිකයන් බොහෝ දෙනෙක් ඊශ්‍රායලයේ රැකියා සඳහා යනවා. අනෙකුත් අරාබි රටවල් වලට සාපේක්ෂව ඔවුන්ට ලැබෙන වැටුම කිහිප ගුණයකින් වැඩියි. ඔවුන්ට ලොකුවට කරදරයකුත් නැහැ. පලස්තීන පටලැවිල්ල නිසා හමාස් සංවිධානයෙන් ඉඳහිට ලැබෙන රොකට් උණ්ඩ නැත්නම් නිවිසැනසිල්ලේ රැකියාව කරගෙන ඉන්න අපේ අයට පුළුවන්

මේ ලිපියේ ඉතුරු ටික කියවන්න කළින් කියන්න ඕන දෙයක් තිබෙනවා. කිසිසේත්ම පලස්තීනයේ දැන් තිබෙන ගැටුම් වලින් සිවිල් වැසියන් මියයෑම මේ කිසි කාරණයකින් සාධාරණීකරනය කරන්න බැහැ. අපේ රටේ දේශපාලන හෝ ආගමික කණ්නාඩි වලින් බලලා මතු පිටින අතගාන්න පුළුවන් මට්ටමක ඉතිහාසයක් නෙවෙයි ශ්‍රී ලංකාවත් ඊශ්‍රායලයත් අතර තිබෙන්නේ. පුරාණ ලංකාව හා ඊශ්‍රායලය අතර තිබූ සමීප වෙළඳ සම්බන්ධතා පිළිබඳව බොහෝ ශ්‍රී ලාංකිකයන් දන්නෙ නැහැ. මූලාශ්‍ර හෝ අනවශ්‍ය වැල් වටාරම් අතහරිමින් ලිපියේ ඉතිරි කොටස ලියන්න උත්සාහ ගන්නවා.
දොළොස්වන සියවස වන විට ලංකාද්වීපයේ යුදෙව්වන් 3,000 ක් පමණ ජීවත් වූ බව විශ්වාස කෙරෙනවා. අපේ වරායයන් වසර දහස් ගණනක් තිස්සේ ලෝක වාණිජ කටයුතු වලට උපාය මාර්ගික නැවතුම්පළක් වූ බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. භූගෝලීය පිහිටීම නිසා අපේ රටේ දුර්ලභ ස්වාභාවික සම්පත් වලට ලෝකයේ දියුණු ජාතීන්ගේ අවධානය යොමු වුණා. ස්වභාවයෙන්ම බුද්ධිමත් හා වෙළඳාමට හපන් ජාතියක් වූ යුදෙව්වන් අරාබීන්ට කළින්ම අපේ රටට පැමිණ තිබෙනවා. නමුත් එකම වෙනස ඔවුන් අපේ රටේ සමාජය තුළටම අනුගත වෙලා සාමයෙන් ජීවත් වුණ එක. හැම විටම විකල්ප අදහස් දැරීම යුදෙව්වන්ගේ ගති ස්වභාවයක් වුණත් ඔවුන් කිසි විටෙක තමන් ජීවත් වන රට වල ජනතාව පරයා නැගී සිටින්නට උත්සාහ කළේ නැහැ. මෑත කාලයක් වන තුරුම නිල් පාට ඉරක් ඇති සුදු රෙද්දකින් ඔලුව වසා ගත් යුදෙව්වන් මහනුවර සහ ගාල්ලේ දකින්නට සිටි බව පැරැණ්නන් කියනවා. කොළඹ 03 ස්ටුවට් පෙදෙසේ යුදෙව් දේවස්ථානයක්ද පැවති බවට වාර්තා තිබෙනවා.
ලංකාවත් එක්ක ඊශ්‍රායලයේ තිබුණු බැඳීම බයිබල් යුගය දක්වා දිවයනවා. ක්‍රිස්තු පූර්ව 970 සිට 971 දක්වා අවුරුදු 40ක් ඊශ්‍රායලය පාලනය කරපු සොලමන් නම් රජෙකු ගැන යුදෙව්වන්ගේ හීබෲ බයිබලයේ සඳහන් වෙනවා. හීබෲ බයිබලය ක්‍රිස්තියානි ආගමේ පැරණි ගිවිසුම හෙවත් පරණ තෙස්තමේන්තුව ලෙස හඳුන්වනවා.මේ පැරණි ගිවිසුම තනි පුද්ගලයෙක් ලියපු ලියවිල්ලක් නෙවෙයි. පැරණි ගිවිසුමේ මුල් පරිච්ඡේද 5ක්ම ලියා ඇත්තේ මෝසෙස්.
මෝසස් තමයි දැනට ඊජිත්තුවේ වහල්ලු විදියට හිටපු ඔහුගේ මිනිස්සු රතු මුහුද හරහා පොරොන්දු දේශය හෙවත් ඊශ්‍රායලය වෙත කැඳවාගෙන ආවේ. මෝසෙස් එදා වහල් බවින් මුදවා ගත් ජන කොටසට යුදෙව්වන් කියනවාට වඩා ඊශ්‍රායලිතයන් කියන එක සුදුසුයි. ආගමික ලියවිල්ලකට වඩා පැරණි ගිවිසුම කියන්නේ මෝසෙස් නම් ජනනායකයා විසින් ඔහුගේ ජනතාව පාලනය කිරීමට හා ඔවුන්ගේ ජනජීවිතය හැඩ ගැස්සවීමට හදපු ගිවිසුමක්. බලවත් නායකයෙකු පිටු පස නොපෙනෙන බලවේගයක් ඇති බව ඒ යුගයේත් මිනිස්සු විස්වාස කළා. හරියට ලංකාවේ දියසේන කුමාරයා පහල වෙනවා වගේ. ඇත්තටම හීබෲ බයිබලය කියන්නේ මෝසෙස්ගේ දේශපාලන ලියැවිලිලක්. හරියට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගේ. ඒක ඊශ්‍රායල සමාජය පාලනය කිරීමට හදපු මූලික නීතියක්. මෝසස්ගෙන් පස්සේ ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ යෝෂුවා ආදීන් මේ ලියවිල්ල ඉතිහාස කතාවක් වගේ ඉදිරියට ලියාගෙන ආවා.

සොලමන් කියන්නේ දාවිත් රජුගේ පුත්‍රයා. ඔහු තමයි ඊශ්‍රායල් ජාතියේ ප්‍රබලම දුරදක්නා පාලකයා විදියට බයිබලය පෙන්වා දෙන්නේ. ඒ වගේම ඉස්ලාම් ආගමට අනුවත් දෙවියන් විසින් තෝරාගත් අනාගතවක්තෘවරුන් 25 දෙනාගෙන් එක් අයෙක් තමයි සොලමන්. ඉස්ලාම් ආගමේ ඔහුව හඳුන්වන්නේ සුලෙයිමාන් යනුවෙන්. ඊශ්‍රායලයත් පලස්තීනයත් දැන් මෙහෙම මරා ගන්නවානම් ඊශ්‍රායලයේ රජ කෙනෙක් ඉස්ලාම් ආගමට ගෑවෙන්නේ කොහොමද කියන එක බොහෝ අයට ගැටළුවක් වෙන්න පුළුවන්. ඒත් යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් කියන ආගම් තුනම ඒබ්‍රහම්ගේ ආගම් ලෙස තමයි හැඳින්වෙන්නේ. දේව කතා වල අයිසින් ඉවත් කළාම ඒබ්‍රහම් කියන්නේ ඉඩම් හිමි ධනවතෙක්. ඔහුගේ පුතුන් දෙදෙනක්ගෙන් තමයි මේ යුදෙව් හා පලස්තීන ජනවර්ග දෙකත් බෙදී යන්නේ. දරුවන් දෙදනා මව් වරුන් දෙදෙනෙකුගේ නිසා දේපල බෙදා ගැනීමේදී ඇතිවූ විරසකය මෙසේ ජන කොටස් දෙකක් ලෙස වෙන්ව යෑමට හේතු වී තිබෙනවා
මේ ආගම් තුනම පොදුවේ පැරණි ගිවිසුම අනුගමනය කරනවා.ඒත් යුදෙව්වන් අනුගමනය කරන්නේ පැරණි ගිවිසුම හෙවත් හීබෲ බයිබලය පමණයි. ඔවුන් ජේසුස් වහන්සේගේ පැමිණීම පිළිගන්නේ නැහැ. ඔවුන් අදහන්නේ ඒබ්‍රහම් හා මෝසස්. ඒත් ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගමිකයන් පැරණි හා නව ගිවිසුම් දෙකම පිළිගන්නවා.
ඉතින් ආපසු කතාවට ගියොත් දෙවියන් විසින් සොලමන් ඉල්ලූ සියල්ල මවා දුන් බව බයිබලයේ සඳහන් වෙනවා. ඔහු ඊශ්‍රායලයේ දේශසීමා තව තවත් පුළුල් කළා. ඔහුගේ අන්තඃපුරයේ උප බිසවුන් 300 ක් සිටි බව සඳහන්.
මේ සියළු සැප සම්පත් සොලමන් රජුට ලැබෙන්නේ දෙවියන්ගේ කැමැත්ත අනුව නිසා පූජකයන්ගේ නියෝග පිළිපදින්නට ඔහුට සිදුවුණා. ආගමික පුදපූජා වලට කුරුඳු තෙල් මිල දී ගන්නා ලෙස පූජකයන් විසින් රජුට නියෝග කළා. පරණ ගිවිසුමට අනුව දෙවියන් උදෙසා මේ කුරුඳු තෙල් පූජාව කළ යුතු බව දෙවියන් වහන්සේ විසින් මෝසෙස්ට දන්වා තිබෙනවා.ඒ විතරක් නෙවෙයි. නව ගිවිසුමේ පවා ශුද්ධ වූ සුවඳ ද්‍රව්‍ය සඳහා අත්‍යවශ්‍ය අංගයක් ලෙසකුරුඳු තෙල් දක්වා තිබෙනවා.

“මම සුවඳවත් ලාටු, කෝමාරිකා සහ කුරුඳු මගේ ඇඳට ඉසියෙමි.” (හිතෝපදේශ 7:17)
සොලමොන් රජුකුරුඳු තෙල් සොයාගෙන එන ලෙස අණ දී තමන්ගේ නාවුක බලඇණිය නැගෙනහිරින් ඇති දූපතකට යවා ඇති බව කියවෙනවා. බයිබලයේ සඳහන් වන විදියට මේ දූපතේ නම ටර්ෂිෂ් (Tarshish). මේ දූපත කුමක්දැයි නිශ්චිතව දක්වා නැතත් දේවධර්මවාදීන්ට අනුව එය ස්පාඤ්ඤය ලෙස තමයි අර්ථ දක්වා තිබුණේ. පසු කාලයක මේ ගැන ඉතිහාසඥයන් අතර වාද විවාද ඇතිවුණා. ටර්ෂිෂ් දුපත ගැන විවිධ මත පළවුණා. ඉන් පසුව මෙය අප්‍රිකානු මහද්වීපයේ උතුරෙන් ඇති ටියුනීසියාවේ අගනුවර වන ටියුනිස් විය යුතු බව කියවුණා. නමුත් ස්පාඤ්ඤයවත්, ටියුනීසියාවත් කිසි ලෙසකින් දූපත් නොවෙයි. ඉන් පසුව මෙය මධ්‍යධරණී මුහුදේ ඊශ්‍රායලයට නැගෙනහිරින් පිහිටාඇති සිසිලි හෝ සයිප්‍රස් දූපත් විය හැකි බව කියවුණා.නමුත් සොලමන් රජුට අවශ්‍ය කුරුඳු තෙල් පමණක් නොවයි ටර්ෂිෂ් වරායෙන් ලබාගත්තේ. මොනරුන්, වානරයන්, සඳුන්, ගම්මිරිස්, රන්, ඇත්දළ, මුතු මැණික් ද ලබා ගත්තේ මෙම වරායෙන් බව හීබෲ බයිබලයේ සඳහන්.
ඒ කාරණා නිසාම ටර්ෂිෂ් නම් වරාය පුරාණ ලංකාවේ බටහිර වෙරළේ පිහිටි වරායක් බව නූතන ඉතිහාසඥයන් අතර ප්‍රබල මතයක් ගොඩනැඟී තිබෙනවා. බොහෝ විට මෙය ගාලු වරාය විය හැකි බවයි පැවසෙන්නේ. සමහර විට එය කුදිරමලේ වෙන්නත් පුළුවන්. ටර්ෂිෂ් දූපත වෙත යන ගමන අවුරුදු තුනක් ගතවෙන භයානක ගමනක් බව බයිබලයේ සඳහන්. ටර්ෂිෂ් දූපතේ ගංගා හා වනාන්තර තිබුණු බවත් ගීතිකාවේ සඳහන් වෙනවා. ඒ අනුව කිසිසේත්ම මෙය ඊශ්‍රායලයට නැගෙනහිරින් ඇති සිසිලිය හෝ සයිප්‍රසය නොවන බව පැහැදිලියි. ඒ කියන කාලයේ කොහොමත් සූවස් ඇල කපලා තිබුණේ නැහැ.ඒ නිසා ලංකාවට නැව් ආවේ මධ්‍යධරණි මුහුද හරහා ගොස් අප්‍රිකා මහාද්වීපය වටේ ගමන් කරමින්. ඇත්දළ, මොනරුන් හා වානරයන් ලෙහෙසියෙන් සොයා ගන්න පුළුවන් වෙනත් දූපතක් ගැන ඉතිහාසයේ අසන්නට ලැබෙන්නේ නැහැ. ඒ සියල්ලටම වඩා කුරුඳු තෙල් විශේෂයි. අදටත් ලංකාවේ කුරුඳු තමයි ලෝකයේ හොඳම කුරුඳු විදියට සැළකෙන්නේ.

ඊට අමතරව මුස්ලිම් භූගෝල විද්‍යාඥයෙකු වූ අබ්දුල්ලා එල්-ඉඩ්‍රිස් වාර්තා කළේ ක්‍රි.පූ.858–891 කාලයේ ලංකාද්වීපය පාලනය කළ 4 වන කාශ්‍යප රජුගේ විනිසුරුවන් 16 දෙනෙකුගෙන් යුත් උසාවියේ හතර දෙනෙකුම යුදෙව්වන් බව. ලංකාවේ නතර වූ සොලමන් රජුගේ නාවිකයන්ගේ පරම්පරා වලින් පැවත එන යුදෙව් ජනගහනයක් සිටි බවට ඒ අනුව සාක්ෂි තිබෙනවා. මේ ලිපිය දිගු වෙන නිසා ටර්ෂිෂ් වරායේ කතාන්දරයට අපේ ද්‍රවිඩ ජනතාවත් එකතු කර මෙතැනින් නතර කරන්නම්.
මොනරුන් දඩයම් කිරීමට පැරණි ද්‍රවිඩයන් උපන් හපන් කම් දැක්වූ බව කියනවා. ද්‍රවිඩයන් මෙහෙම මොනරු ඇල්ලුවේ බයිට් එකට කන්න නෙවෙයි. පිටරට පටවන්න. ඒ කාලේ සතුන් පිටරට යවන්න දැන් වගේ ක්වොරන්ටයින් කරන්න ඕන නැහැ. මොනර වෙළඳාමෙන් ජීවත් වූ මීනිස්සු මොනරාට පූජනීයත්වයෙන් සැළකුවා. දෙවියන්ගෙ වාහනය විදියට ගත්තා. සම්භාව්‍ය ද්‍රවිඩ භාෂාවේ මොනරාට කියන්නේ තොක්කායි කියලා. හීබෲ භාෂාවෙන් මොනරාට කියන්නේ තොක්කායිම්.
දැන් සොලමන් රජුගේ කාලයෙන් ඉවත් වෙලා ලංකාවේ ඩී.ඇස්. සේනානයක අගමැතිතුමාගේ කාලයට ආවොත් 1948 දී තමයි අපි දෙගොල්ලෝම නිදහස ලබා ගත්තේ. ඊශ්‍රායලය බිහිවීම ගැන කළින් ලිපියේ දීර්ඝව කරුණු ලියා තිබෙන බැවින් අද ඒ් ගැන ලියන්නෙ නැහැ.
සහස්‍රක කිහිපයට පස්සේ දෙවන වරටත් අලුතින් ඉපදුනු ඊශ්‍රායලයට අරාබි ලෝකයෙන් දැවැන්ත රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිවිරෝධතා ඇතිවුණා. ඒ් වගේම ඊශ්‍රායලය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීම ඉන්දියාව ඇතුළු පශ්චාත් යටත් විජිත රටවල් විසිනුත් ප්‍රතික්ෂේප කළ බව කියන්න උවමානයි. පලස්තීන ප්‍රශ්ණය නිසා අරාබි ලෝකයෙන් පිටත තිබුණු පාකිස්තානය වගේ මුස්ලිම් රටවලුත් ඊශ්‍රායලය පිළිගත්තේ නැහැ. ඒ් වගේම සමාජවාදී කඳවුරේ රටවල් වගේම ආසියා අප්‍රිකා රටවල් බොහොමයකුත් හිටියේ අරාබිය පැත්තේ.
නමුත් ඩී. එස්. සේනානායක මහත්තයා ඊශ්‍රායලය රාජ්‍යතාන්ත්‍රිකව පිළිගත්තා. ඔවුන් සමඟ සහයෝගයෙන් වැඩ කරන්න පටන් ගත්තා. ශ්‍රී ලංකා නාවුක හමුදාව පළමු යුධ නෞකාව මිලට ගත්තේත් ඊශ්‍රායලයෙන්. ඒක ගජබාහු 1 කියලා නම් කළා. මුල් කාලයේම උතුරේ වියළි ප්‍රදේශවල නල ළිං ඉදිකරන්න ඊශ්‍රායල තාක්ෂණික උපදේශකයින්ගේ තාක්ෂණික සහාය ලබා දුන්නා. නමුත් 1956 දී බලයට පත් වූ එස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක මහත්තයාගේ කාලයේ ඊශ්‍රායල-ශ්‍රී ලාංකික සහජීවනය ඇති කිරීමේ මේ අංකුර උත්සාහය ආපසු හැරවුණා. ඒ්කටත් හේතු තිබෙනවා. ඒතුමා බලයට පත්වුණේ පංච මහා බලවේගයේ තල්ලුවත් එක්ක. ඒ් කාලයෙ තමයි ඊජිප්තුවේ ජනාධිපති ගමාල් අබ්දූල් නසාර් සූවස් ඇළ ජනසතු කරන්න තීරණය කළේ. සූවස් ඇළ ඊජිප්තුවේ ස්වෛරීභාවය සඳහා අත්‍යාවශ්‍ය අංගයක් වුණා. ඒ් යුගයේ නසාර් තමයි අරාබි ලෝකයේ නිල නොවන නායකත්වය ඉසිලුවේ. බණ්ඩාරනායක මහත්තයා නසාර්ගෙ පැත්ත ගත්තා.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියටත් මේ රාජ්‍යතාන්ත්‍රික උණුසුමට මුහුණ දෙන්නට වුණා. එතුමිය කාලයක් නොබැඳි ජාතීන්ගේ සංගමයේ නායකත්වය ඉසුලුවා. නොබැඳි ජාතීන්ගේ කණ්ඩායම තුළ හිටපු ප්‍රබල සාමාජිකයන් ලෙස ඊජිප්තුව, ලිබියාව වැනි අරාබි රටවල් සිටියා. මැතිණියගේ විදේශ ප්‍රතිපත්තිය සකස් වුණේ නොබැඳි ප්‍රතිපත්තිය තුළ. ඒ් කාලය වන විට පලස්තීනුවන්ගේ නිදහස උදෙසා යසර් අර්ෆත්ගේ පලස්තීන විමුක්ති සංවිධානය (PLO) ආරම්භ වී තිබුණා. නොබැඳි ජාතීන් සිටියේ පලස්තීන විමුක්ති සංවිධානය පිළිගන්නා ප්‍රතිපත්තියක. ඒ කටයුතු වල දිගුවක් විදියට ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග හෙළා දැකීමට නොබැඳි ජාතීන්ගේ නායිකාව ලෙස මැතිණියට සිදුවුණා. නමුත් ඊශ්‍රායලය PLO සැළකුවේ ත්‍රස්තවාදී සංවිධානයක් විදියට. ඒ් කාලය පිළිබඳව අපට අත්දැකීම් නැති වුණත් පලස්තීන විමුක්ති සංවිධානය දෙපිටකාට්ටු වැඩ කරපු බවනම් හිතන්න පුළුවන්. ඒක පැත්කතින් මැතිණියගේ ජාත්‍යන්තර දේශපාලන කැරිස්මාව ප්‍රයෝජනයට ගනිමින් ඇය හරහා සෙසු ලෝකයා නම්මාගන්න ඔවුන් උත්සාහ කළා. අනිත් පැත්තෙන් ඔවුන් දෙමළ බෙදුම්වාදී සංවිධාන සමඟ සම්බන්ධතා පවත්වා ගෙන ගියා. හරියමට කියනවානම් දමිළ බෙදුම්වාදී නායකයන් මුලින් පුහුණව ලබා ගත්තේ තමිල්නාඩුවෙන් නෙවෙයි. මුල් යුගයේ බෙදුම්වාදී කණ්ඩායම් වල නායකයා වූ උමා මහේෂ්වරන් පවා පුහුණුව ලැබුවේ පලස්තීනයේ.

PLO නියෝජිතයන් කොළඹ පැමිණීම ගැන ඊශ්‍රායලය කළබල වුණා. ඊශ්‍රායල රාජ්‍යයේ පැවැත්ම විනාශ කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටින අරාබි ත්‍රස්තවාදී සංවිධානය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ වීම හෙළා දකිමින් කොළඹ ඊශ්‍රායල තානාපති යිට්ෂක් නවොන් නිවේදනයක් නිකුත් කළා. ඒත් ඒක්කම වැඩේ පත්තු වුණා. ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ එකඟතා උල්ලංඝනය කරන බවට පවසමින් මැතිණියගේ ආණ්ඩුව ඊශ්‍රායලය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හිටවූවා. කොළඹ ඊශ්‍රායල තානාපති කාර්යාලය වසා දැම්මා. එහි නිලධාරීන් බඩුමුට්ටු අකුලාගෙන යන්න ගියා. ඒ් වන විට ලොව පළමු අගමැතිනිය ලෙස ඉමහත් ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කරගෙන සිටි බණ්ඩාරනායක මැතිණියගේ ක්‍රියාමාර්ගය සංකේතාත්මක වශයෙන් PLO සංවිධානයට නොසිතූ ඉල්ලමක් වුණා. අරාබි රටවල නායකයන් මැතිණියගේ තීරණය බොහෝ සෙයින් අගය කළා.

1977 දී ජේ.ආර්.ජයවර්ධන මහත්තයා බලයට පත්වුණාම ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා නැවත අළුත් වුණා. ජේ.ආර්. ගේ ආණ්ඩුවේ ආරක්ෂක ඇමති වුණේ ලලිත් ඇතුලත්මුදලි මහත්තයා. එතුමා දේශපාලනය ඒන්න කළින් ජෙරුසෙලමේ හීබෲ විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළා. ජනාධිපතිවරයාගේ එකම පුත්‍රයා වූ රවි ජයවර්ධනත් දැඩි ඊශ්‍රායල හිතවාදියෙක්. LTTE ය ඒක්ක සටන් කරන්න ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් තාක්ෂණික සහාය ලබා ගත යුතු බවට අදහස ගෙන ආවේ ඒ දෙන්නා තමයි. ඒකටත් හේතුවක් තිබුණා. LTTE සටනට ජේ.ආර්. බටහිර රටවලින් ආයුධ මිලට ගැනීමට උත්සාහ කළාට ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා. ඒ නිසා උන්නැහේ ඊශ්‍රායලය පැත්තට හැරුණා. අපි දන්න STF හෙවත් විශේෂ කාර්ය බලකාය හැදුනෙත් ඊශ්‍රායලයේ ආධාර ඇතිව.

1984 දී දෙවන වතාවටත් කොළඹ ඊශ්‍රායල තානාපති කාර්යාලයක් ආරම්භ වුණා. කොහොම හරි ඊටත් කළින් සිටම ජේ.ආර්.ගේ සමහර තීරණ වලට මොසාඩ් සංවිධානයේ උපදෙස් බලපෑ බව පේනවා. මොසාඩ් අභ්‍යන්තර තීරණ ගැන ලියවුණු By Way of Deception නම් පොතක් තිබෙනවා. බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස කඩිනම් මහවැලි ව්‍යාපාරය ගෙන ආපු එක ඇත්ත. ඒත් ඒ හරහා සිංහල ගොවීන් වියළි කලාපයේ පදිංචි කිරීම වේගවත් කරන ලෙස ජේ.ආර්.ට උපායමාර්ගික උපදෙස් දුන්නේ කැට්සා නම් මොසාඩ් ඒජන්තයෙක් බව ඒ පොතේ සඳහන් වෙනවා. මහවැලි ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250 ක ආධාරයක් ගැනීමට හැකි වන පරිදි ඒ පිළිබඳ විශ්ලේෂන වාර්තාව සකස් කිරීමටත් මොසාඩ් නියෝජිතයන් දෙදෙනෙකු සහභාගී කරවූ බව ඒහි දැක්වෙනවා. මහවැලි ව්‍යාපෘතියේ විශාලම කොන්ත්‍රාත්තුවක් ප්‍රධාන ඊශ්‍රායල සමාගමක් වන සොලෙල් බොනාට ලබා දීමට ‌ජේ.ආර්.ගේ ආණ්ඩුව කටයුතු කළා. ප්‍රවීණ ඊශ්‍රායල ගෘහ නිර්මාණ ශිල්පී උල්රික් ප්ලෙස්නර් මහවැලි ජනාවාස සඳහා නව නගර හයක් සැලසුම් කළේ මේ අනුව තමයි.
නමුත් ලංකාණ්ඩුව හා ඊශ්‍රායලය අතර නැවතත් ගොඩනැගෙමින් තිබුණු ඇයි හොඳැයිය මෙරට මුස්ලිම් නායකයන්ට හිසරදයක් වුණා. පලස්තීන විමුක්ති සංවිධානය පිළිබඳව ඔවුන්ගේ තිබූ අනුකම්පාව මෙරට ප්‍රධාන පෙළේ දේශපාලඥයන්ගේ හිස් තුල ට කාවැද්දීමට ඔවුන්ද උත්සාහ කළා.

ජේ.ආර්.ගේ අනුප්‍රාප්තිකයා වූ ආර්.ප්‍රේමදාස මහත්තයා ආයෙමත් ඊශ්‍රායලයත් එක්ක කොක්ක එල්ලා ගත්තා. සයන්වාදය කියන්නේ කුමක්ද යන්න කළින් ලිපියක පැහැදිලි කළා. රටක් අහිමි යුදෙව්වන්ට තමන්ගේම රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා ඇතිවූ සංකල්පයට තමයි සයන්වාදය කියන්නේ. ඒ වෙන කොට සයන්වාදය කියන්නේ ජාතිවාදී ව්‍යාපාරයක් විදියට තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සැළකුවේ. එහෙම යෝජනාවක් මහා මණ්ඩලයේ සම්මත වෙලා තිබුණා. මේ යෝජනාව ඉවත් කරන්න තවත් ප්‍රතියෝජනාවක් ඊශ්‍රායල හිතවාදී බටහිර රටවල් මහා මණ්ඩලයට ගෙන ආවා. බටහිර රටවල් පුදුම කරවමින් ප්‍රේමදාස උන්නැහේ මීට විරුද්ධව ඡන්දය දුන්නා. මෙරට මුස්ලිම් දේශපාලඥයන් නැවතත් ජයගත්තා. ප්‍රේමදාස මහත්තයා ඊශ්‍රායලයට අවසන් නිවේදනය නිකුත් කළා. ඔහු කොළඹ ඊශ්‍රායල තානාපති නිලධාරීන්ට වහාම රටින් පිට වන ලෙස නියෝග කළා.1992 දී කොළඹ ඊශ්‍රායල තානාපති කාර්යාලය දෙවන වරටත් වසා දැමුණා. නිලධාරීන් බඩුමුට්ටු අකුලාගෙන යන්නට ගියා.

By Way of Deception පොතේ තව තැනක තිබෙනවා මොසාඩ් සංවිධානය පසුව ශ්‍රී ලංකා හමුදාවට පුහුණුව දෙන ගමන්ම LTTE සංවිධානයටත් පුහුණුව ලබා දුන් බව. ඒ වගේම ප්‍රේමදාස මහත්තයාට විරුද්ධව ගෙනාපු දෝෂාභියෝගය මොසාඩ් කුමන්ත්‍රණයක් ලෙසත් අපේ වැඩිහිටියෝ කියනවා ඇහෙනවා. ඒකට හේතුව ඊශ්‍රායලයත් එක්ක දැඩි සම්බන්ධයක් තිබුණු ලලිත් ඇතුලත්මුදලි මහත්තයා දෝෂාභියෝග යෝජනාවේ ප්‍රමුඛත්වය ගැනීම.
ඉන් පසුව චන්ද්‍රිකා මැතිණියගේ යුගයේ නැවතත් ඊශ්‍රායල්- ශ්‍රී ලංකා සම්බන්ධතා අලුත් වුණා. ඒකට ප්‍රබල හේතුවක් වුණේ විදේශ ඇමති ලක්ෂ්මන් කදිර්ගාමර් මහත්තයා. 2000 මැයි මාසය වෙන විට LTTE සංවිධානය සමඟ යුද්ධය දරුණුවට සිදුවෙමින් තිබුණා.එක අවස්ථාවක හමුදාව යාපනය අර්ධද්වීපයට කොටු වුණා. යාපනය බේරා ගැනීමට උදව් ඉලලන්න ජනාධිපතිනිය කදිර්ගාමර් මහත්තයාව නවදිල්ලියට පිටත් කලා. ඉන්දියාව ඒ උදව්ව කරන් න ඉදිරිපත් වුණේ නැහැ. ඒ වෙනුවට අවශ්‍යනම් අපේ හමුදාව නිරුපද්‍රිතව යාපනයෙන් ඉවත් කර ගැනීමට උදව් කළ හැකි බව. එහෙම වුණානම් ඊලාම් රාජ්‍ය්‍ය හැදෙන්නේ එදා තමයි. නමුත් කෘතහස්ත රාජ්‍යතාන්ත්‍රිකයකු වූ කදිරගාමර් මහත්තයා නවදිල්ලියට ගියේ Plan B සැලැස්මක් ඔලුවෙ තියාගෙන. ඔහු නවදිල්ලියේ සිටින ඊශ්‍රායල් තානාපතිවරයා මුණගැසුණා. පැය 48ක් තුළ විදේශ ඇමති වරයාට තමන්ගේ ඊශ්‍රායල සබඳතා අලුත් කර ගන්න හැකිවුණා. කොළඹට ආපු ගමන් කදිරගාමර් මහත්තයා කළේ ටෙල් අවිව් වල ලංකාවෙ තානාපති කාර්යාලයක් ආරම්භ කරපු එක. ඒ අතරෙ ඊශ්‍රායල් ආණ්ඩුව තායිලන්තයේ බැංකොක් නුවර හිටපු ඊශ්‍රායල් තානාපති ඩේවිඩ් මැක්නායිට කිව්වා ලංකාවෙත් තානාපති විදියට වැඩ කරන්න කියලා. එතුමාගෙ තවත් විශේෂත්වයක් තිබෙනවා. ප්‍රේමදාස මහත්තයා ඊශ්‍රායලය සමඟ තානාපති සබඳකම් අත්හැරලා තානාපති නිලධාරීන්ට වහාම රටින් පිට වෙන්න කිව්වා. එදා කොළඹ ඊශ්‍රායල තානාපති නිලධාරීන් දෙන්නක් හිටියා. එයින් එක්කෙනෙක් තමයි ඩේවිඩ් මැක්නායි.
ලංකාව ගැන හොඳින් දන්න මැක්නායි මහත්තයා එදාම වැඩේ පටන් ගත්තා. බැංකොක් වල හිටපු ලංකාවේ

තානාපති නිලධාරීන් මුණ ගැසිලා අවශ්‍ය අවි ආයුධ සපයන්න කටයුතු කළා. ඊශ්‍රායල තාක්ෂණවේදීන් මෙරටට ඊශ්‍රායලය නිපදවූ ‘කෆීර්’ යානා සහ රුසියාවේ මිග්-27 යානා මෙන්ම ඊශ්‍රායලය ලබාදුන් ඩෝරා නම් වේග ප්‍රහාරක යාත්‍රා නඩත්තු කිරීමට අවශ්‍ය තාක්ෂණවේදීන් වහාම කොළඹට එව්වා.ඊශ්‍රායල ආයුධ නැව් පිටින් එවන්න ගත්තා.

හැබැයි 2000 ඉඳන් මේ දක්වා එක දිගට රාජ්‍යතාන්ත්‍රික කටයුතු කරගෙන ආවත් කොළඹ ඊශ්‍රායල තානාපති කාර්යාලය ආයෙත් පටන් ගන්න ඊශ්‍රායලය එතරම් උනන්දුවක් නැහැ. අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය විටින් විට වෙනස් වෙන නිසා ආපසු අකුල ගෙන යන්න උනොත් කියල ඒ ඇත්තන්ට සැකයක් ඇති.
මේකට තම එකතු වෙන්න අවශ්‍ය කරුණු බොහෝ තිබෙනවා. යම් සීමා කිරීම් තිබෙන නිසා ප්‍රවේසමෙන් ලියපු ලියවිල්ලක් මේක.දැන් මේ කතාව ඇහුවම බොහෝ අය යමක් දැන ගනීවි. තවත් සමහරු ෆයර් වේවි. ඒ නිසා තමයි මුලින්ම කිව්වේ අපේ රටේ වර්තමාන දේශපාලනයට මේ කරුණු ගාවගන්නේ නැතිව ඉතිහාසය විතරක් කියවමු කියලා.

2021 මැයි 17
-ශානක ලියනගම (ලෝකය එකම යායක්)
https://www.facebook.com/groups/260756375150496
මෙම ලිපියේ යම් කරුණු කිහිපයක් indiandefencereview වෙබ් අඩවියට පුන්සරා අමරසිංහ මහත්මිය ලියන ලද ලිපියකින්ද Sunday Observer පුවත්පතට දිල්ෂාන් ජෝසප් මහතා ලියන ලද ලිපියකින් ද උපුටා ගන්නා ලදි.

Leave A Reply

Your email address will not be published.

5 × two =