“ආර්ථික දේශපාලන ක්‍ෂේත්‍රවල හරි වැරදි තෝරා ගන්න බලය තිබෙන්නේ ජනතාවටයි”

- අනුර දිසානායක

“මේ ආණ්ඩුවේ නායකයන් උත්සාහ කරන්නේ මැදමුලන දේපොළ ඇටෝනි බලපත්‍රයක් මගින් පවරා දීමට නෙවෙයි. ඔවුන් සූදානම් වන්නේ අපේ රටේ ජාතික සම්පත්, රටේ අනාගතය සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑම් කරන කටයුත්තකටයි. රටේ අනාගතය ඇටෝනි බලපත්‍රයකින් කාට හරි පවරා දීමේ බලයක් ජනතාව ලබා දී නැහැ. ඒ නිසා මෙය සම්මත කර ගන්න තියෙන උත්සාහය නතර කරන්න කියලා අපි බල කරනවා. ඒ වගේම කලාපීය බල අරගලයකට අපේ රට ගොදුරු කර නොදෙන්න මේ පනත පරාජය කළ යුතු බවත් අපි අවධාරණය කරනවා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්ල පැලවත්ත හි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (18) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එම මාධ්‍ය හමුව සඳහා ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික, වෛද්‍ය නලින්ද ජයතිස්සද සහභාගී වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක…

“කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකතුමාට ලබාදීමෙන් පසුව අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ සම්බන්ධයෙන් සහ ඊට බලපාන්නා වූ කරුණු කිහිපයක් පිළිබඳව ජනතාවට කරුණු පැහැදිලි කරන්න මෙම මාධ්‍ය හමුව පවත්වනවා.

අපි මේ කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ප්‍රධාන අර්බුද තුනක් දකිනවා. මුලින්ම දේශපාලන අර්බුදය සලකා බලන්න ඕනෑ. මේ වනවිට ලෝකයේ විවිධ භූ දේශපාලන කලාපවල ආර්ථික සහ දේශපාලනික බලවතුන් අතර ගැටුම් තිබෙනවා. අපේ රට ලෝකයේ අඩු ආදායම්ලාභී පරිධියේ තියෙන රාජ්‍යයක්. මේ නිසා කිසිදු බලවතුන්ගේ කඳවුරකට ලැදියාවක් නොදැක්විය යුතුයි කියන එක අපේ ස්ථාවරයයි. අනිසි ලෙස එක කඳවුරකට ලැදියාවන් දක්වන්නේ නම් අනෙක් පාර්ශ්වයන්ගෙන් විවිධ බලපැම් එල්ල වෙනවා. උදාහරණයක් හැටියට නොරොච්චෝලේ බලාගාරය ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේදී එය හිමි වුණේ ඉන්දීය සමාගමකට. නමුත් පසුගිය රාජපක්‍ෂ පාලනය එය චීන සමාගමකට හිතුවක්කාරී ලෙස දුන්නා. ඒ නිසා ඉන්දියාවෙන් ආව බලපෑම අනුව සාම්පූර් බලාගාරය ඉන්දියාවට දෙන්න වුණා. එක් කඳවුරකට විශේෂ ලැදියාවක් දක්වන්නේ නම් අනෙක් කඳවුර සතුටු කිරීමටත් ඔවුන්ගේ බලපෑම්වලට ලක්වීමටත් සිදුවෙනවා.

තවත් උදාහරණයක් බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට චීනයට ලබාදෙන විට උතුරු දුම්රිය මාර්ගය ඉන්දියාවට ලබාදෙන්න වුණා. මත්තල ගුවන් තොටුපොළ ඉදිකිරීමට එක කඳවුරකට දෙනකොට ඊට ප්‍රතිපක්‍ෂ ලෙස පලාලි ගුවන්තොටුපොළ අනෙක් කඳවුරට දෙන්න සිද්ධ වුණා. මේ පාලකයන් කොමිස් කුට්ටි ගන්න එක් එක් කඳවුර කෙරෙහි වැඩි ලැදියාවන් දක්වනකොට අනෙක් කඳවුරට අපේ රට යටත් කරගන්න අවස්ථාව ලැබුණා. ජේ.ආර් ජයවර්ධන පාලන සමයේ ඇමරිකාවට විශේෂ ලැදියාවක් දක්වන විට ඊට විරුද්ධව ඉන්දියාවෙන් ආ බලපෑමට අපේ රටට යටත් වෙන්න සිදුවුණා. දැන් මේ පෝට් සිටි භූමියේ 43%ක අධික ඉඩම් ප්‍රමාණයක් චීන සමාගම් සතුයි. මේ වෙනුවෙන් වැඩිපුරම චීන ආයෝජන එන බව පැහැදිලියි. මේ පෝට් සිටිය කියන්නෙ අපේ රටේ ආර්ථික දේශපාලනික උපායමාර්ගයක් අනුව හැදෙන එකක් නෙවෙයි කියලා අපි පැහැදිලි කළා. එය චීන ආර්ථික දේශපාලන උපායමාර්ගයේ කොටසක්. මෙය ලබාදීමෙන් අපේ රටේ විදේශ ප්‍රතිපත්තියේ තුලනය බිඳවැටෙනවා.

අනෙක් පැත්තෙන් දෙවන කරුණ හැටියට අපේ රටේ ආර්ථිකය ග්‍රහණය වන ආකාරය දකින්න පුළුවන්. විශේෂයෙන් 1978 සිට අනුගමනය කරමින් තිබෙන ආර්ථික නිදහස්කරණය තුළින් බහුජාතික සමාගම්වලට අපේ සම්පත් සහ ශ්‍රමය ලබාගන්න විශාල ඉඩකඩක් නිර්මාණය කර දුන්නා. දැන් අවුරුදු 43ක් තිස්සේ ගමන්කර තියෙන්නේ ඒ විනාශකාරී ප්‍රතිවිපාක ලබාදෙන මාර්ගයේ. මේ නිසා විශාල වෙළඳ හිඟයක් නිෂ්පාදන බිඳ වැටීමක් සහ රට විශාල ණය උගුලක රට හිරවීමක් සිදුවී තිබෙනවා. නැවත පෝට් සිටි පනත තුළින් සියල්ල නිදහස්කරණයට අලුත් වටයකින් ඉඩ ප්‍රස්ථා හැදෙනවා. මේ ආර්ථික උපායමාර්ගය අපේ එකක් නෙවෙයි. චීනයේ ලෝක ආර්ථික උපායමාර්ගයේ කොටසක් විදිහට ගොඩනගා තිබෙන්නක්.

මේ පනත් කෙටුම්පත අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග විශාල වශයෙන් ගැටෙන බව තුන්වන කාරණය හැටියට අපි දකිනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන තීන්දුවේ ඉතාම පැහැදිලි වෙනවා. ආණ්ඩුව මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ අවස්ථාව අහුරලයි. අප්‍රේල් 08වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාම 10-11 දෙදිද සෙනසුරාදා ඉරිදා නිවාඩු. ඒවගේම 12 අමතර නිවාඩුවක් ලබාදුන්නා. 13 හා 14 අවුරුදු නිවාඩු. අධිකරණය ඉදිරියට යන්න ඉතිරි වී තිබුණේ එක දවසයි. ඒ දවසේදී අපේ නීතිඥ මහත්වරුන් විශාල කැපකිරීමක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පනත් කෙටුම්පතට විරුද්ධව පෙත්සමක් ඉදිරිපත් කළා. ඒවගේම තවත් සංවිධානත් ස්වාධීන පුද්ගලනුත් පෙත්සම් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් කළා. දැන් මේ ලබාදී තිබෙන්නේ ඒ පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවයි.

වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති 74ක් තිබෙනවා. එයින් වගන්ති 25ක්, ඒ කියන්නේ පනතේ මුළු වගන්තිවලින් 1/3ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය ලබාදී තිබනෙවා. ඒ වගන්ති 25න් 16ක් සම්මත කරගන්න නම් 2/3 විශේෂ බහුතර බලයකින් සම්මත කරගත යුතු බව තීන්දු කර තිබෙනවා. ඒවගේම ඉතිරි වගන්ති 09 පාර්ලිමේන්තුවේ 2/3ක් සහ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බව තීන්දුකර තිබෙනවා. මෑතදී ඉදිරිපත් කළ පනතක් සම්බන්ධයෙන් මේ ආකාරයේ තීන්දුවක් ලබාදුන් පළමු අවස්ථාව මෙයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධනයේ කිසිදු වගන්තියක් ගැන ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ නැහැ. නමුත් මේ පනතේ වගන්ති 09කට ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බව තින්දු කර තිබෙනවා.

එයින් කියවෙන්නේ මොකක්ද? ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපට සහ අනෙක් සියලු දෙනාට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට නොහැකි වුණා නම් මේ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි පනතක් සම්මත කර ගන්නවා. එක් දිනක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ හැකියාව වළක්වා මෙය සම්මත කරගන්න ආණ්ඩුව සැලසුම් කළේ ඒ නිසයි. නමුත් මේ වනවිට මේ කොමිෂන් සභා පනත් කෙටුම්පත නීතියක් හැටියට සම්මත කර ගැනීම සැලකිය යුතු තරමකින් පරාජය කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ වැඩි වශයෙන්ම දක්වා තිබෙන්නේ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියට පටහැනි බවයි. එයින් කියවෙන්නේ නීතිය පසිඳලීමේ ක්‍රියාවලියට, නීතියේ රැකවරණයට සර්ව සාධාරණ අවස්ථාවක් ලබාදිය යුතු බවයි. නමුත් එයට පටහැණි නම් එයින් කියවෙන්නේ එක් පාර්ශ්වයකට විශේෂ අවස්ථාවක් නීතියෙන් ලබාදෙන බවයි. කොමිෂන් සභා කෙටුම්පතේ වගන්ති 09ක් එසේ පටහැණි බව දක්වා තිබෙනවා. ඒවගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3(4), 76, 148 යන ව්‍යවස්ථාවන් සමග ගැටෙන බවක් සඳහන් වෙනවා. මේ වගන්තිවලින් කියවෙන්නේ ජතාවගේ මූලික බලය වන පරමාධිපත්‍ය බලය ගැනයි. පරමාධිපත්‍ය බලය උල්ලඝනය වීම් පිළිබඳව මේ තීන්දුවෙන් සඳහන් වෙනවා. එ වගේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය පවරා දීමද අභියෝගයට ලක්කර තිබෙනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව සතුව තිබෙන නීති සම්පාදනය කිරීමේ බලය සහ මූල්‍ය බලය සම්බන්ධයෙන් මේ කෙටුම්පතින් අභියෝගයට ලක්වෙනවා. විශේෂයෙන්ම 48වැනි වගන්තියෙන් පාර්ලිමේන්තුවට ලබාදී තිබෙන මූල්‍ය බලය අත්හරින්න මේ කෙටුම්පතින් අවස්ථාව ලබාගන්න උත්සාහ කළා. එය අත්හරින්න නම් ජනමත විචාරණයකට යා යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වෙනවා.
ආණ්ඩුව උත්සාහ කළේ මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අර්ථ නිරූනයකට ලක්කිරීමේ අවස්ථාවෙන් රිංගලා යන්නයි. ඒ නිර්ලජ්ජිත උත්සාහය දැන් පරාජය කර තිබෙනවා. මෙහිදී සලකා බලන්නේ මූලික වශනේම අදාළ කෙටුම්පත ව්‍යවස්ථාවට එකඟද යන්න පමණයි. ආර්ථික සහ දේශපාලන ක්‍ෂේත්‍රයේ බලපෑම් සලකා බැලෙන්නේ නැහැ. 1982හි ජනමත විචාරණය පැවැත්වූයේ ආණ්ඩුවේ බලය තවත් වසර 06කින් දීර්ඝ කර ගන්න ජනතාවගේ අනුමැතිය ලබා ගන්නයි. එය ජනමත විචාරණයක් පවත්වා ලබාගත් අනුමැතියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කරගත් හතරවැනි සංශෝධනය තුළින් සිදුකළා. නමුත් ඒ ජනමත විචාරණය අපේ රටට මාරාන්තික දේශපාලන විපත්ති ගෙන දුන්නා. එයින් කියවෙන්නේ ව්‍යවස්ථාවට අනුකූල සියල්ල හරි දේ නොවන බවයි. ඒ නිසා ආර්ථික දේශපාලන ක්‍ෂේත්‍රවල හරි වැරදි තෝරා ගන්න බලය තිබෙන්නේ ජනතාවටයි. මේ මොහොතේ ජනතාව මාරාන්තික බියකින් ඉන්න පසුබිමක හෙට අනිද්දා මේ පනත සම්මත කරගන්න ආණ්ඩුව උත්සාහ කරනවා.

මේ ආණ්ඩුවේ නායකයන් උත්සාහ කරන්නේ මැදමුලන දේපොළ ඇටෝනි බලපත්‍රයක් මගින් පවරා දීමට නෙවෙයි. ඔවුන් සූදානම් වන්නේ අපේ රටේ ජාතික සම්පත්, රටේ අනාගතය සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑම් කරන කටයුත්තකටයි. රටේ අනාගතය ඇටෝනි බලපත්‍රයකින් කාට හරි පවරා දීමේ බලයක් ජනතාව ලබා දී නැහැ. ඒ නිසා මෙය සම්මත කර ගන්න තියෙන උත්සාහය නතර කරන්න කියලා අපි බල කරනවා. ඒ වගේම කලාපීය බල අරගලයකට අපේ රට ගොදුරු කර නොදෙන්න මේ පනත පරාජය කළ යුතු බවත් අපි අවධාරණය කරනවා.”

“ජනමත විචාරණයකට අදාළ වගන්ති සංශෝධනය කරන්න ආණ්ඩුව මේ වනවිටත් උත්සාහ කරනවා ඇති. මැතිවරණවලදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකරන්න මේ තරම් හදිසියක් ආණ්ඩුවට නැහැ. පෝට් සිටි පනත සඳහා පමණක් වේගයෙන් මේ ක්‍රියා කරන්නේ චීන රජයේ ප්‍රධානීන් සහ ආණ්ඩුවේ නායකයින් අතර පෞද්ගලික එකඟතාවයක් තියෙන නිසාද කියලා අපිට බලවත් සැකයක් තිබෙනවා. එහෙම නැත්නම් පහුගිය මැතිවරණවලදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරන්නත් මේ වගේ වේගවත් මැදිහත්වීමක් ආණ්ඩුවට තිබිය යුතුයි.”

 

Leave A Reply

Your email address will not be published.

eighteen − four =