“කවර අභියෝගයක් ආවත් ජීවිත පරිත්‍යාග කොට ලබාගත් විජයග්‍රහණය අපි පාවා දෙන්නේ නැහැ”

- අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

මානුෂීය මෙහෙයුමේ දී තුවාල ලත් රණවිරුවන් රජයෙන් ලබාගත් දේපල ණයවල පොලී ඉවත් කිරීමට තීරණය කර ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (18) පාර්ලිමේන්තුවේදී මානුෂීය මෙහෙයුමේ ජයග්‍රහණ සැමරුම් දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් ක‍ළේය.

“ඔබට නිදහස ලබා දෙන්න රටට සාමය උදා කරන්න රණවිරුවන් ජීවිත පූජා කළා. ඒ නිසා කිසිදු මොහොතක කවර අභියෝගයක් ආවත් දහස් ගණනක් ජීවිත පරිත්‍යාග කොට ලබාගත් විජයග්‍රහණය අපි පාවා දෙන්නේ නැහැ. අපිට වටින්නේ මේ රටයි.” යනුවෙන්ද අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද සුවිශේෂ දවසක්! අපි තිස් වසරක ත්‍රස්තවාදය මේ පොළොවෙන් අතුගාලා දාලා අදට වසර 12 ක් සම්පූර්ණ වෙනවා .

2009 මැයි 18 වැනිදා මට හොඳට මතකයි මේ මුළු රටේම ජනතාව ජාතික ධජය අරන් පාරට බැහැලා තමුන්ගේ සතුට එදා ප්‍රකාශ කළ හැටි. ඒ ජයග්‍රහණය රටේ කොටසක් විතරක් ලබාගත් ජයග්‍රහණයක් නොවේ එදා ත්‍රස්තවාදීන් මිනිස් පලිහක් විදිහට යොදාගත්ත ලක්ෂ හතරකට වැඩි පිරිසක් අපි නිදහස් කර ගත්තා .අවුරුද්දට වතාවක් දෙකක් ජීවත්වන ගේ දොර, හරක බාන අත ඇරලා බඩු මුට්ටු පොදි බැඳගෙන ජීවිතේ විතරක් අතින් අරගෙන පාරට වැටිලා උතුරු නැගෙනහිර අපේ ජනතාව සරණාගතයන් ලෙස තැනින් තැනට ගිය යුගය අපි නිමා කරල දුන්නා.

වඩක්කු කිලක්කු මක්කල් අහ දිග ලාග,නාම් මුඩිත්තු වයිත්තෝම් ( උතුරු නැගෙනහිර ජනතාව අවතැන් වූ වෙලා සරණාගත ජීවිතය ක් ගත කරමින් සිටියා, අපි ඒ යුගය අවසන් කළා) .

අවුරුදු විස්සක් විතර අනාථ නිවාස වල ජීවත් වුන නැගෙනහිර ජනතාවට යළි තමන්ගේ ගෙදරට ගිහින් ගෞරවය ඇතිව ජීවත් වෙන්න අවස්ථාව අපි හදා දුන්නා.

කොයි මොහොතක හෝ කැති ගහලා වෙඩි තියල දරුවෝ උස්සලා පොළොවෙ ගහලා මරලා දායි කියලා හිත හිතයි හැංගිලා ජීවත් වුණු ගම්මාන උතුරු නැගෙනහිර ප්‍රදේශවල තිබුණා. මර බයේ මිනිස්සු ජීවත්වන ගම්මාන වලට කිව්වේ මායිම් ගම්මාන කියලයි .

සමහර ප්‍රදේශවල පයගහන්න බැරි තරමට බිම් බෝම්බ වළලා තිබුන මාර්ග බාධක අධි ආරක්ෂක කලාප හැමතැනම තිබුණා ඒ සියල්ල මේ රටෙන් තුරන් කරලා මරණ බිය නැති නිදහස් දේශයක් බිහි කළ උදාර දවස අදයි.

තමන්ගේ දුවා දරුවන් යුද්දෙට ඇදගෙන යන්නේ නැතිව රටක් හැදූ නිසා මේ ජයග්‍රහණය උතුරේ ජනතාව ටත් නැගෙනහිර ජනතාවට අයිති ශ්‍රී මහා බෝධිය ළඟ දළදා මාලිගාවේ කාත්තන්කුඩි පල්ලිය වගේම මඩු
දේවස්ථානයේ බෝම්බ පුපුරන්නේ නැති නිසා මේ ජයග්‍රහණය සියලු ආගමිකයන්ට අයිති යි.තමන්ගේ දරුවා වෙනුවෙන් ඉස්කෝලේ ගේට්ටු මුර කරන යුගය නිමා කළ නිසා සියලු ජනතාවටත් මේ ජයග්‍රහණය අයිති යි.

ඔබට නිදහස ලබා දෙන්න රටට සාමය උදා කරන්න රණවිරුවන් ජීවිත පූජා කළා. ඒ නිසා කිසිදු මොහොතක කවර අභියෝගයක් ආවත් දහස් ගණනක් ජීවිත පරිත්‍යාග කොට ලබාගත් විජයග්‍රහණය අපි පාවා දෙන්නේ නැහැ. අපිට වටින්නේ මේ රටයි.

Leave A Reply

Your email address will not be published.

4 × 1 =