ඊශ්‍රායල් – පලස්තීන ප්‍රශ්නය අපි කාගෙ පැත්තෙ ද ?

මනුෂ්‍යත්වය පැත්තෙ,
රාජ්‍ය දෙකේ විසඳුම පැත්තෙ,
අර්බුදයට කල්පවත්නා විසඳුම පැත්තෙ.
ලෝකයේ ඇති උණුසුම් දේශපාලන ප්‍රශ්න කිහිපය අතර ඊශ්‍රායල් – පලස්තීන ගැටුම එකක්. සීතල යුද සමයේ සිට ( 1945-1990) මේ දක්වා ‍තුන්වන ලෝක යුද්ධයක් ඇතිවිය හැකි මර්මස්ථාන කිහිපයක් ලෝකෙ තිබුණා. එයින් එකක් තමයි ඊශ්‍රායල – පලස්තීන භූමිය. ඒක තාමත් තියෙනවා. මේ ගැටුම අවුරුදු 74 ක් විතර පරණයි. මේක විසඳන්න නම් ජාත්‍යන්තර ප්‍රජාවගේ අවංක, සාධාරන සහ දෘඩ මැදිහත් වීමක් අවශ්‍යයි.

ඊශ්‍රායල – පලස්තීන ප්‍රශ්නය ගැන විවිධ අදහස් සහ සංවාද මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය වල පළ වෙනවා. ඒවා ගෙන් සමහර ඒවා තමන් කැමති පාර්ශවයට ( යුදෙව් හෝ පලස්තීන ) පක්ෂපාත වෙන ලෙස ලියන ලද ඒවා . එයින් මේ ප්‍රශ්නය ගැන සැබෑ ස්වභාවය නිරූපනය වෙන්නේ නෑ. අනිත් අතට මධ්‍යස්ථ යයි කියන අදහස් වල වුණත් කල් පවත්නා සාමයක් ගොඩ නගා ගත හැකි අදහස් ඇත්තේ නෑ.

ආගමික ඉතිහාසය ගත්තම යුදෙව් ආගම බිහිවෙන්නේ ක්‍රි.පූ. 6 වන සියවසේ දී . ඊට වසර දහසකට පමණ පස්සේ ක්‍රි.ව. 7 වන සියවසේ දී තමයි ඉස්ලාම් ආගම බිහිවෙන්නෙ. ඒ අනුව මෙම කලාපයේ මුලින්ම පදිංචි වී ඇත්තේ යුදෙව්වන්. ඊශ්‍රායලයෙ වාසය කළ යුදෙව් ජනයා රෝම ආක්‍රමණ ( ක්‍රි.පූ. 63 දි ) වගේම තුර්කි ඔටෝමාන් ආක්‍රමණ ( ක්‍රි.ව. 1517 ) නිසාත් සංහාරයට ලක්වෙනවා. ඒ වගේම ඊට පෙර ඊජිප්තු, ඇසිරියන්වරු, බැබිලෝනියන්වරුන්ගේ ආදී ලෙස නොයෙකුත් ආක්‍රමණ වලට ලක්වෙනවා. මේ සෑම ආක්‍රමණයකින්ම පස්සෙ වෙන්නෙ දහස් ගණන් යුදෙව්වන් යුරෝපයට පලා යන එකයි. එහෙම ගියත් යුරෝපයේ රටවලදි විවිධ ආකාරයේ යුදෙව්වන්ට එරෙහි ව සිදුවන වර්ගවාදී කෙනෙහිලිකම් ( Anti- Semitism) නතරවෙන්නේ නෑ. දෙවන ලෝක යුද සමයේ හිට්ලර්ගේ යුදෙව් විරෝධී ප්‍රතිපත්තිය ( 1939 -1945) නිසා යුරෝපයේ යුදෙව්වන් මිලියන හයක් මරා දැමෙනවා. තවත් විශාල පිරිසක් ලෝකයේ වෙනත් රටවලට පලා යනවා.

දෙවන ලෝක යුද්ධය නිමවුණාට පස්සෙ ලෝකෙ බලවත් ජාතීන් ඉන්න හිටින්න තැනක් නැති යුදෙව්වන්, ඔවුන්ගේ ඓතිහාසික නිජබිම් සංකල්පයත් සැලකිල්ලට ‍අරන් පලස්තීනයේ පදිංචි කරවනවා. ඒ අතර ඔවුන්ගේ මැද පෙරදිග භූ දේශපාලනික අරමුණු තිබුණු බවත් සත්‍යයක්. ලෝකය පුරා විසිරුණු යුදෙව් ජනයා තමන්ට ඇති එකම රටට සංක්‍රමණය වෙනවා. ඒ වෙනකොට පාරම්පරිකවම පලස්තීනයේ යම් යුදෙව්වො ප්‍රමාණයක් පදිංචි වෙලා හිටියා. ඊටත් වඩා පලස්තීන ජනයා ද මේ භූමියේ ජීවත් වුණා. 1878 වන වන විට 87% ක් මුස්ලිම් වරුන් මේ ප්‍රදේශයේ සිටි බව කියවෙනවා. 10% ක් ක්‍රිස්තියානින් වුණා. ඉතිරි 3% යුදෙව්වන්. ඒ වගේම 1938 වන විට යුදෙව් ප්‍රතිශතය 30% ක් දක්වා ඉහල යන්නෙ යුරෝපයේ සිට සිදුවන සංක්‍රමණ නිසා. ඇතැම් තැන්වල ධනවත් යුදෙව්වන් පලස්තීනුවන්ගෙන් ඉඩම් මිලදී ගත් බවත්, ඇතැම් තැනක බ්‍රිතාන්‍ය මැදිහත් වෙලා ඉඩම් ලබා දුන් බවත් තවත තැනක යුදෙව්වන් පලස්තීනුවන් ගේ ඉඩම් අත්පත් කරගත් බවටත් චෝදනා තියෙනවා.
1947 එක්සත් ජාතීන්ගේ සංවිධානය පලස්තීනය දෙකට බෙදා ඊශ්‍රායල රාජ්‍ය නිර්මාණය කරනවා. මේ මුල් අවස්ථාවේ දී ඊශ්‍රායලය වගේම පලස්තීනයේත් භූමි ප්‍රමාණය සෑහෙන දුරට සමානයි. නමුත් 1948 දී ඊශ්‍රායලය ආක්‍රමණයට ලක්වෙනවා. මෙහිදී ඊජිප්තුව, ජෝර්දානය, ඉරාකය ඊශ්‍රායලයට ‍එරෙහිව යුද වදිනවා. නැවතත් 1967 ඊජිප්තුව, ජෝර්දානය සහ සිරියාව යන රටවල රාජ්‍ය වල ආක්‍රමණයට මුහුණ දෙන්නට ඊශ්‍රායලටය සිදු වෙනවා. එය තමයි සුප්‍රසිද්ධ සය දින යුද්ධය. එහි දී ගාසා තීරය, ගෝලාන් කඳුකරය වගේම බටහිර තීරයෙත් පාලනය නතුවෙන්නේ ඊශ්‍රායලයට. එම ප්‍රදේශ තමයි අල්ලා ගත් ප්‍රදේශ (Occupied Land) විදිහට නිතරම සඳහන් වෙන්නේ. ඊළඟට ඊශ්‍රායලයට 1973 දී යොම් කිපූර් යුද්ධයට මුහුණ දෙන්නට සිදුවෙනවා. මෙහිදි ඊශ්‍රායලය සමග සටනට එන්නෙ ඊජිප්තුව, සිරියාව සහ ඉරාකය. මේ යුද්ද තුනම ඊශ්‍රායලය ජයග්‍රහණය කරනවා. ඒ වගේම ඊශ්‍රායලය ‍ජෝර්දානයෙන්, ඊජිප්තුවෙන් සහ සිරියාවෙන් අල්ලා ගන්නා භූමි භාග සියල්ලක්ම අල්ලා ගන්නේ ඉහත යුද්ද වලින් පස්සේ. ඒ වගේම පසුකාලිනව විවිධ සාම ගිවිසුම් ඔස්සේ ඒ රටවලට අල්ලාගත් කොටස් බාර දෙනවා. මේ සියලුම යුද්ධ වලදී ඊශ්‍රායලය පැත්තට සහයෝගය ලැබෙන්නෙ ඇමරිකාවෙන්. අරාබි රටවලට සහයෝගය ලැබෙන්නේ රුසියාවෙන්. රුසියාවේ මේ අරාබියට පක්ෂපාත ස්ථාවරය නිසා තමයි තුන්වන ලෝකයෙ රටවලත්, ලෝකයේ දියුණු රටවලත් වාමාංශිකයින් අතර යුදෙව් විරෝධී මතවාදයක් ගොඩ නැගෙන්නෙ. ඒ එක්කම මේ යුද්ද වලින් පස්සෙ ඊශ්‍රායලය මේ තුළින් දේශපාලනික වාසි සහගත තත්වයක් ද නිර්මාණය කරගන්නවා. 1979 දී ඊජිප්තු ජනාධිපති අන්වර් සදාත් සහ ඊශ්‍රායල් අගමැති මෙනෙචම් බෙගින් අතර ගිවිසුමක් අත්සන් තැබෙනවා. ඊට අනුව යොම් කිපුර් යුද්දයෙන් අල්ලා ගත් ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපය නැවත ඊජිප්තුවට ලබා දෙනවා. ඒ වගේම අද වන රාජ්‍යතාන්ත්‍රික මට්ටමමින් ජෝර්දානය සහ ඊජිප්තුව ඊශ්‍රායලය සමග ඉදිරිවාදී නොවන ලෙස කටයුතු කරගෙන යනවා.

යුදෙව් රාජ්‍ය බිහිවුණු දවසේ ඉඳන් මැද පෙරදිග ඉතාමත් සංකීර්ණ භූ දේශපාලනික තත්වයක් තමයි නිර්මාණය වෙන්නෙ. ඒ එක්කම ඊශ්‍රායලය තමන් අල්ලගත්ත ( Occupied Territory) එම ප්‍රදේශවල ජනාවාසකරණය පටන් ගන්නවා. මෙය ජාත්‍යන්තර නීතියට පටහැනියි. මෙන්න මෙතනදි ඊශ්‍රායලය කියන දෙයක් තමයි පලස්තීනය කියන්නෙ රාජ්‍යයක් නොවෙන බව. එතකොට ප්‍රශ්නය 1948 තරම් ඈතට අරන් ගිහින් කතා කරන්න වෙනවා. එදා ඊශ්‍රායලය පිහිටුවද්දි මහ බලවතුන් නෛතිකව පලස්තීන රාජ්‍යයක් කියලා එකකුත් පිහිටෙව්වා නම් ඔය ප්‍රශ්නය එන්නෙ නෑ. මුල ඉඳන්ම ජාත්‍යන්තරයම පිළිගත්ත රාජ්‍යයන් දෙකක් ඊශ්‍රායලය සහ පලස්තීනය කියලා තියෙනවා. දැන් තියෙන්නේ ඊශ්‍රායලය කියලා රටක් විතරයි. එක්සත් ජාතීන් පිළිගත්තත් පලස්තීනය තවමත් රාජ්‍යයක් විදිහට ලෝකයේ බහුතරයක් රටවල් තාම පිළි අරන් නෑ.
අරාබි ලෝකයේ ඒකාධිපතියන් වුණු ඉරාකයේ සදාම් හුසේන්, ලිබියාවේ මුවමර් ගඩාෆි, ඉරානයේ අයතුල්ලා කුමේනි සිරියාවේ බෂීර් අල් අසාද් වගේ පාලකයින් කටයුතු කළේ ඊශ්‍රායලය මිහිමතින් අතුගා දැමීමේ අදහසින්. අරාබි කලාපයේ ඇති මේ දැඩි ඉදිරිවාදී කම නිසා නිසා තමයි අදත් ඉරානයේ න්‍යශ්ඨික අවියක් නිපදවීමට ගන්නා උත්සහයට ඊශ්‍රායලය විරුද්ද වෙන්නෙ. එය වැලැක්වීමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ගයන් ගන්නෙ. වරක් සදාම් හුසේන් න්‍යෂ්ඨික අවියක් හදන්න ගත්ත උත්සහය ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර වලින් වලක්වනු ලැබුවා. වසර දහස් ගණනක් තිස්සේ අනාරක්ෂිත බවේ ගිලිලා ඉන්න ජාතියක් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් හැකි උපරිම ආරක්ෂාව සපයගන්න උත්සහ කිරීම පුදුමයක් නෙවෙයි. එක න්‍යෂ්ඨික බෝම්බයක් මුළු ඊශ්‍රායලය ම එක වර විනාශ කරන්නට ප්‍රමාණවත්.

ඊශ්‍රායල් – පලස්තීන ගැටළුව දිග හැරෙන හැම මොහොතකම සෑම පාර්ශවයක්ම සිය ආගමික ග්‍රන්ථ වල ( යුදෙව් ආගමික මූලාශ්‍ර, බයිබලය, කුරාණය ) කියවෙන දේවල් උපුටා දැක්වීම දැක ගන්නට පුළුවන්. නමුත් ඒවායේ කවරක් සඳහන් වුණත් නැතත් අපි දැන් තිබෙන යථාර්තයට මුහුණ දෙන්නට අවශ්‍යයි. යුදෙව් ජනයා වගේම පලස්තීන ජනයාත් මෙහි ජීවත් විය යුතු අතර කිසිවෙකු මේ භූමියෙන් පිට මං කරන්නට බැහැ. තමන් ඉතිහාසයේ මේ බිම් කඩේ ජීවත් ව හිටියා කියලා යුදෙව්වන්ට පලස්තීන ජාතිකයින්ව පිට මං කරන්න බෑ. ඒ වගේම 1948 ඊශ්‍රාලය පිහිටුවන කොට තමන් බහුතරය එහි සිටියා කියලා පලස්තීනුවන්ට යුදෙව්වන් පිටමං කරන්නත් බෑ. මේ ප්‍රශ්නයට කල්පවත්නා විසඳුම තමයි රාජ්‍ය දෙකේ විසඳුම ( Two State Solution) 1979 සිට සාමය ඇති කිරීම පිළිබඳ විවිධ උත්සසහයන් ගත්තත් ඒ සියල්ල ව්‍යර්ථ වී තිබෙනවා. 1993 දී එවකට ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ පලස්තීන විමුක්ති සංවිධානයේ යසර් අර්ෆත් සහ එවකට ඊශ්‍රායල අගමැති යිට්ෂාක් රබින් අතර නෝර්වේ ඔස්ලෝ නුවර දී හමුවීමක් පැවැත්වුණා. අනතුරුව ධවල මන්දිරයේ දී ඔස්ලෝ ගිවිසුමට අත්සන් තැබුණා. මෙම ගිවිසුමෙන් පලස්තීනයට ද රාජ්‍ය තත්වයක් ඇති කරගැනීමේ ක්‍රමානුකූල මාවතක් වැටී තිබුණා. නමුත් එයින් පසු එම ගිවිසුම ඉදිරියට ගියේ නෑ.
එවන් විසඳුමක් සපයා ගැනීමට හොඳ මැදිහත් කරුවන් අවශ්‍යයි. ඊට පෙර ඊශ්‍රායලය සහ පලස්තීනය සම්මුතිවාදී ගිවිසුම් වලට එකඟ විය යුතුයි. ඊශ්‍රායලය ට පලස්තීනයෙන් ඇති ප්‍රබල ඉල්ලීමක් තමයි සය දින යුද්දයේ දී අල්ලාගත් තමන්ගේ භූමිය නිදහස් කරලා ඊශ්‍රායලය තමන් හිටපු තැනටම යන්න කියන එක. ඒ ඉල්ලීම සාදාරණයි. ඊට ඊශ්‍රාලයේ එකඟ වීමක් ඔස්ලෝ සම්මුතියේ තියෙනවා. පලදායක සාම වෑයමකට යන්න නම් ඊශ්‍රායලටය ඒ ඉල්ලීම ඉටු කරන්න වෙනවා. ඊට පස්සෙ නැගෙනහිර ජේරුසුලම පලස්තීනුවන්ට ලබා දෙන එක. ඊට පස්සෙ සැබෑ සාම ක්‍රියාදාමයකට අවශ්‍ය සාම ක්‍රියාවලිය ආරම්භ කරන්න පුළුවන්.

අරාබි මුස්ලිම් රාජ්‍යයන් 22 ක් උතුරු අප්‍රිකාවේ සහ බටහිර ආසියාවේ තියෙනවා. සමහර ඒවා යුරෝපයට අයත්. මෙම රටවල් 22 භූමි ප්‍රමාණය ගත්තහම එහි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 13,132,327 ක්. ඒ හැම රටකම බහුතරය සුන්නි හෝ ෂියා මුස්ලිම්වරුන් වන අතර ඇත්තේ ඉස්ලාම් ආගමික වැඩවසම් පාලන. ඊළඟට අපි ඊශ්‍රායලය කියන රාජ්‍ය ගත්තොත් එහි භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 22,145 km. ඒ කියන්නේ ඊශ්‍රායලය වගේ 593 වාරයක් විශාල භූමි ප්‍රමාණයක් අරාබි ලෝකයට තියෙනවා.

නූතන ඊශ්‍රායල් – පලස්තීන භූ සිතියම ගත්තහම ඒකෙ තියෙන් එක්තරා විකෘති පෙනුමක්. පලස්තීනයට අයත් කොටස ගාසා තීරය සහ බටහිර තීරය විදිහට දෙකට කැඩිලා. ඒ වගේම තුන් වතාවක් සිදුවුනු අරාබි රටවල ආක්‍රමණ අවසානයේ සුදු වුණේ ඊශ්‍රායලය විසින් ක්‍රමාණුකූලව ගාසා තීරය සහ බටහිර ඉවුරේ භූමි අත්පත් කරගැනීම. තවත් ගැටලුවක් වන්නේ මුළු ජේරුසුලමම තමන්ට මුලුමනින්ම අයත් යයි ඊශ්‍රායලය විසින් කියා සිටීමයි. ඒත් පලස්තීනය කියන්නේ නැගෙනහිර ජේරුසුලම තමන්ට අයති බවයි. එමෙන්ම එය තමන්ගේ අනාගත රාජ්‍යයේ අගනුවර බවත් ඔවුන් කියනවා.

ගැටුම් සමථකරණය ( Conflict Resolution) නම් කාරණයේදී මුලින්ම එන සිද්ධාන්තයක් තමයි තුන්වැන්නෙකුගේ මැදිහත් වීම. ශක්තිමත් මැදිහත් කරුවෙක් හෝ මැදිහත්කරුවන් ඊශ්‍රායල – පලස්තීන ප්‍රශ්නය විසඳීමට අවශ්‍යයි. එමෙන්ම දැන් තියෙන භූ සිතියම අනුව රටවල් දෙකක් නිර්මාණය කිරීම සංකීර්ණ කරුණක්. ඊශ්‍රායල සිතියමේ උතුරින් හරි දකුණින් වෙනමම කොටසක් පලස්තීන රාජ්‍යයට වෙන් කළ දිය යුතු වෙනවා. තිබෙන භූමිය ප්‍රමාණවත් නැතිනම්, අවශ්‍ය නම් උතුරෙන් ඇති සිරියාවටත් ,නැගෙනහිරින් ඇති ජෝර්දානයට එහෙම ත් නැතිනම් දකුණෙන් ඇති ඊජිප්තුවට පරිත්‍යාග ශීලී වෙන්නට වෙනවා. පිළිවෙලින් ඊශ්‍රායලය වගේ නව ගුණයක් සිරියාව විශාලයි. ජෝර්දානය පස් ගුණයක් ඊශ්‍රායලයට වඩා විශාලයි. ඊජිප්තුව 49 ගුණයක් ඊශ්‍රායලයට වඩා විශාලයි. ඉතිං මේ රටවල් සියල්ලම අතීතයේ පලස්තීන වැසියන් ගැන කම්පාවෙන් ඔවුන්ට සහයෝගයෙන් ඊශ්‍රායලය ආක්‍රමණය කළ අය. ඒ අයට සැබෑ අවශ්‍යතාවක් තියෙනවා තමන්ගේ භූමි ප්‍රදේශයෙනුත් කොටසක් අවශ්‍ය නම් පරිත්‍යාග කරලා නව ඊශ්‍රායලයක් සහ පලස්තීන රාජ්‍යක් නිර්මාණය කිරීමේ ඓතිහාසික කර්තව්‍යයකට සාදාරණව දායක වෙන්න පුළුවන්. වැඩිවෙන ජනගහනයට අනුව ඊශ්‍රායලයට වගේම පලස්තීනයටත් භූමියෙ ඉඩ කඩ අවශ්‍යයි.

මේ ගෝලීය යුගය යනු දේශපාලනික ප්‍රශ්න අවි ගැටුම් වලින් විසඳගන්නා යුගයක් නොවේ. ප්‍රශ්න විසඳාගැනීමට සාකච්ඡාව – සම්මුතිය වැනි දියුණු දේශපාලන ශික්ෂණයන් නූතන ශිෂ්ඨාචාරයේ ඇත්තේය.
අවසන් වශයෙන් ගත්තහම යුදෙව්වන් ගත්තත්, පලස්තීනුවන් ගත්තත් මේ දෙකොටසම මනුෂ්‍යයෝ. ඔවුන් දෙගොල්ලන්ටම තියෙන්නේ තම පැවැත්ම සහතික කර ගැනීමේ අරගලයක්. මේ මොහොතෙ තියෙන භූ දේශපාලනික යථාර්තය අනුව මේ ජාතින් දෙකොටසම මේ කලාපයේ අයිතියක් තියෙනවා. ඒක ඓතිහාසික වගේම මානුෂවාදී එකක්. ඉතිං ප්‍රශ්නයට තියෙන කල්පවත්නා විසඳුම තමයි නැවත සීමා නිර්ණය කරමින් හෝ පැරණි සිතියම අනුව හෝ ඊශ්‍රායලය සහ පලස්තීනය කියන රාජ්‍යයන් දෙකක් නිර්මාණය කරන එක. සංකීර්ණ වුණත්, දුෂ්කර වුණත් ඒක තමයි අවසන් විසඳුම.

මේ සටහන මානුෂ්‍යවාදී ස්ථාවරයෙන් ලියපු එකක්. කිසිදු පාර්ශවයකට පක්ෂපාත ලෙස ලියූ එකක් නෙමෙයි. භූමියේ යථාර්තයට අනුව ලියපු සටහනක්. බොහෝ දෙනාට මේ ගැන විවිධ අදහස් තියෙන්න පුළුවන්. එහෙත් අවසන් විසඳුම සාධාරනව බෙදා හදා ගැනීමයි.
ඡායාරූප: ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ සතුටින් ඉන්න ළමුන්. අනාගතයේ ඊශ්‍රායලය සහ පලස්තීනය කියන ස්වාධීන රාජ්‍ය දෙකක් නිර්මාණය වුණාම යුද ගැටුම් වලින් තොර සාමකාමී දේශයක ළමුන් බොහොම සතුටින් ආරක්ෂිතව ජීවත් වේවි. ( මේ ප්‍රශ්නය විසඳීම කෙරෙහි සුබවාදී ආකල්පයක් දරණ නිසා තමයි සුබවාදී පින්තූරයක් දැම්මෙ)
-අතුල දිසානායක (fb)

Leave A Reply

Your email address will not be published.

2 × three =