මාරවිල මූලික රෝහලේ වෛද්‍යවරු 8 කට කොවිඩ්

මාරවිල මූලික රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරු 8 දෙනෙකු ඇතුළු රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 31 දෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව තහවුරු වී තිබේ.

දැනට එම රෝහලේ වාට්ටු 04ක් වසාදමා ඇති අතර කඩිනමින් එම වාට්ටු ආරම්භ කිරීමට කටයුතු කරන බවද පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

දැනට මාරවිල මූලික රෝහලේ එම රෝහලේ වාට්ටු 04 ක් සහ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දමා තිබේ.

මාරවිල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙද නිලධාරිනියන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට පසුගිය සතියේ වාර්තා වූ අතර ඒ හේතුවෙන් රෝහලේ කාර්ය මණ්ඩලය පී.සී.ආර්.පරීක්ෂණයන් සිදුකිරීමෙන් ඊයේ (16) සවස වනවිට වෛද්‍යවරුන් 05 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබිණි.

ඉන් පසුව අද(17) පෙරවරුව වනවිට මාරවිල මූලික රෝහලේ වෛද්‍යවරුන් 08 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 31 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත.

මේ වන විට මාරවිල මූලික රෝහලට රැගෙන එන හදිසි රෝගීන් සහ ගැබිණි මව්වරුන් හලාවත මහ රෝහලට මාරු කිරීමට කටයුතු කර ඇත.

Leave A Reply

Your email address will not be published.

four × 5 =