නිශ්ශංක විජේමාන්නගේ “කඳඅරනී” වැදි යුවතියක ඇසුරින් ලියවුනු අරුමැසි කතා පුවතකි

කාලයකට දූලි නංවමින් දුඹුරු පැහැ ගන්නා මහියංගණය තව කලෙක කොල පැහැ නව දළු පැළඳ මන්ස්කාන්ත දසුනින් යුතු නගරයක් බවට පත්වේ. මහියංගණය නම ඇසූ දුටු පමණින් මතකය නැංවෙන්නේ ආදිවාසීන්ගේ නගරය ලෙසිනි. එය සාමාන්‍ය සිද්දියක් වූයේ වැදි ජනයා නැරඹීමට මහියංගණය ,දඹාන වෙත තවමත් සාමාන්‍ය ජනතාව ඇදී යන නිසාවෙනි. “වැද්දා ” යනු කවරෙක්දැයි සමහර විටෙක ඔබ නිවැරැදිවම නොදන්නවා විය හැකියි.තවත් සමහර විට හොඳින්ම දන්නවා විය හැකියි. ඒ කෙසේ වෙතත් වැදි පරපුරෙන් පැවත එන අය අතර සමහර විට ඔබ ද මා ද විය හැකිය. එය ලැජ්ජාවට කාරණාවක් හෝ උදම් වීමට සාධකයක් ද? පරම්පරා ගත ඉතිහාස කතා , අකුරින් ලියැවී නොමැති හෙයින් විවිධ ජනප්‍රවාද ආශ්‍රිත තොරතුරු වලින් ආදිවාසීන්ගේ ඉතිහාසය අප විසින් ගොඩනගා ඇත්තෙමු.විවිධ රූපවාහිනී නාලිකා වලින් ඉඳහිට වැදි ගීයක් , කෘතිමව කොල අතු එල්ලා නටන නැටුමක් බලා ඇස පිනවා ඇත්තෙමු. කුඩා කළ විකට ඇදුම් තරඟයට වැද්දෙක් ලෙස පෙනී සිට ඇත්තෙමු. ඒ බොහෝ අයගේ වැද්දා කියවීම එය බව හඟිමි. නමුත් ආදිවාසීන්ගේ ඉතිහාසය හෝ තොරතුරු සෙවීම ඉතාම අපහසු කාරණාවක් වන්නේ ජනප්‍රවාද එකිනෙකට වෙනස් සේම එකම කතාව වෙනස් ආකාර කිහිපයකට වුව අසන්නට ලැබෙන නිසාවෙනි.
කෘතහස්ත ලේඛකයකු වන නිශ්ශංක විජේමාන්න මහතා විසින් රචනා කරන ලද ” කඳඅරනී ” නවකතාව අප සිත් තදින් ඇද බැඳ ගනු ලබන්නේ එහි ඇති කතාන්දරය ට වඩා අපේකම යන දෙය පාඨකයාට තදින් දැනීම නිසා විය යුතුය. එහි හමුවන ගහකොල ,පුද්ගල චරිත බොහෝ සමීප අත්දැකීමක් බවට පත්වීම පුදුම සහගතය. එය අතීතය ගිලිහුන වැදි වංශයේ පබළු එකිනෙක අමුණන මී පැණි සුවඳින් පිරුණු ඒ පැණි පැහැ තැවරුණු වැදි යුවතියක ඇසුරින් ලියවුනු අරුමැසි කතා පුවතකි.
කතුවරයා ලිවීම සඳහා ඇසුරු කරගත්තේ තමාගේ උපන් බිම හා හුරුපුරුදු ජීවිතය ගතවන මහියංගණය ප්‍රදේශයයි.චිත්‍ර කලා උපදේශකයකු වන විජේමාන්න මහතා චිත්‍ර ඇසුරින් ම කතාවේ රස තැන් මතුකරමින් සමහර අවස්ථා වල මතකය ස්මරණය කරයි. තම අත්දැකීම් ඇසුරින් චරිත පණපොවා “කඳඅරනී ” රසවත් නිර්මාණයක් ලෙස පාඨකයාට පිළිගන්වයි.
සාම්ප්‍රදායික වැදි සිරිත් රැකගෙන වැද්දෙකු ලෙස ජීවත් වන්නට වර්තමානයේ මිනිසුන් කැමති වන්නේ නොවේ. වර්තමාන ලෝකය සමග සමීපව කටයුතුවල නිරත වන විට වැද්දා යනු වෙළඳනාමයක් බවට පතකරගැනීමට සමහර ආදිවාසීන්ගෙන් පැවත එන වැදි ජනයා පෙළඹී තිබීම දැකිය හැක. සමාජයේ කොන්වීමක් හෝ අපහසුතාවට පත් වීමක් සිදුවන අවස්ථා කඳඅරනී හි දක්නට ලැබීම ම උදාහරණයකි. වැද්දන් වැද්දන් ලෙස නොව සාමාන්‍ය ජීවත ගෙවන සාමාන්‍ය මිනිසුන් විලසට වර්තමාන ජීවන රටා ගොඩ නැගී ඇති බව මෙහි කතා නායිකාව වූ සුගන්ධිකාගේ චරිතය ඇසුරින් මනාව පැහැදිලි වේ.මේ මී පැණි සුවඳ හමන කෙල්ලගේ ජීවන බලාපොරොත්තුව කිසිදා වැදි කෙල්ලෙක නොවී ලෝකය දෙසට යාමයි. ඒ සඳහා අධ්‍යාපනය හරහා පාලමක් සාදාගෙන සිටී. චිත්‍ර අවකාශය හරහා ලෝකයට කතා කිරීමට අදිටන් කර සිටී. නමුත් දෛවය ඇගේ ඉදිරි ජීවිතය වෙනස් මගක ගෙනයන ආකාරය කතාවෙන් දිග හැරේ.
අහිමි වූ ආදරයේ තැවුල් පිරිපත මකන්නට නොව අත් හැරුනු අබිමනේ මං සලකුණු සොයායන්නට නෑ යකුන් නොරිදා නාග ගුරුලෙකු පිට අතීතයට පිය නැගූ සුගන්ධිකා තම වටිනාකම අකීකරු සිතිවිලි නිසාවෙන් මොට කරගත් බව හැඟේ.
“කඳඅරනී ” යනු වැදි වහරින් මී පැණි වේ. මෙහි කතුවරයා ඇසුරු කරගත් වැදි ගී ,කවි, භාෂාව , ඇදහීම් හා පුරුදු බොහෝ තොරතුරු අධ්‍යනයෙන් හා මනා අවබෝධයෙන් යුතුව හසුරවා ඇති බැව් පෙනේ. විජේමාන්න මහතා දඹානේ ගුණවර්ධන මහතාගේ කුඩා කාලය ස්මරණය කරන අවස්ථාව ක ලියූ වැදි කවියක් කඳඅරනී කියවන විට ඇස් තෙත් කළ බැව් සිහිවේ. එය කතාවත් සමග මෙසේය.
” වත්ත වටට වැටිය කොටා
පුතු අල්ලන සද්දේ..
මය පුතා තූතා (චූටි ) මෙහෙ වරෙන් මං උඹට කවියක් කියා දෙන්නං. මේක හොඳට හිතට ගනින්..ඔන්න කැලේ හිටියා බොක්කි(හාවා) අම්මිලැත්තෙකුයි පැටියෙකුයි. මේ දෙන්නා හරි ම එකතුයි. උන් දුවන්නෙ පනින්නෙ කන්නෙ එකට. දවසක් එවුන් දෙන්නා ආවා කියපංකො මා පුතා මිනිස්ගච්චො ඉන්න තැනකට. ඒක වත්තක්. ඉනි බැඳලා. මහ බොක්කි පැටියට කීවා අපි ඒකට නොගිහින් ඉමු කියලා…අප්පා එව්වා කොහෙද. පැටියා ඉතිං උන්ගෙ මෝ කියන එකක් අහන එකක්ද, මේකා ගියා වත්තට එපා කියද්දිං.. මා පුතා පැටියා අහුවුනා මිනිහට…හා අම්මා බලා ඉද්දිං ම පැටියා මැරුවා නෙවෙයිද! මා පුතා හා අම්මගෙ හඳුන්පොත හෝස් ගාල පත්තු උනා. ඉතිං ඇහෙනවා කැත්ත අරං පුතා මස් කරනවා.
කැත්ත සිරිං බිරිං ගගා
පුතා කපන සද්දේ…
ඕං සද්දේ…ඉර පොජ්ජ රෑ මැච්චට මන්දො වෙනවා.ඕං පුතා මසට තනලා මුට්ටියකට දැම්මා.මා පුතා …පුච්චා කඩන චාලාවට .(මැටි බාජනයට) දාලා පුතා පිහිනවා දැං.
හැළිය වටට ගොජ දාගෙන
පුතා ඉදෙන සද්දේ…
මා පුතා උඹ අඬන්නැතුව ඉඳිං..හා අම්මට..මහා බොක්කිට කොච්චර ඇඬුම් එන්ඩ ඇත්ද.හා කරබගනිං…ඕං හා පුතා ඉදෙනවා හා අම්මා අහගෙන ඉන්නවා ..දැන් මුනා කොරන්ඩ.
මයෙ රංකඳ නැතුව කොහොම
ඉන්නේ මං බැද්දේ.
ඔන්න අම්මා කෙනෙක්ට දීපු දුක මා පුතා .හොඳ ට හිතට ගනිං.කියපංකෝ මා එක්කම.
වත්ත වටට වැටිය කොටා පුතු අල්ලන සද්දේ
කැත්ත සිරිං බිරිං ගගා පුතා කපන සද්දේ
හැළිය වටට ගොජ දාගෙන පුතා ඉදෙන ස්ද්දේ
මයෙ රංකඳ නැතිව කොහොම ඉන්නද මං බැද්දේ…”
හදවත පාරන සුළු අත්දැකීම් එසමයේද එතරම්ම දැනෙන සුළු අයුරින් පබඳී ඇති අකාරය දැක්වීමට රචකයා ආදිවාසීන්ගේ සාහිත්‍යය කෙතරම් ඇසුරු කර ඇති දැයි සිතේ.
නිශ්ශංක විජේමාන්න සාහිත්‍යය වේදියාණන්ගේ කෙටිකතා ,නවකතා පමණක් නොව කාව්‍ය රචනාද මෙසේ රස දනවන නව දැනුම් ගෙනෙන රස ගුලාවන් වේ.”කඳඅරනී” හි වැදි සමාජයේ කියැවෙන එක් පැතිකඩක් පමණක් නොව සමස්ථ මිනිසා තුළ ඇති විවිධත්වය ද විදහා දක්වයි. කඳඅරනී කියවා රස විඳුමට ඔබට ඇරයුම් කරමින් නිශ්ශංක විජේමාන්නයන්ට තවත් නිර්මාණය න් පාඨකයාට පිදුමට ශක්තිය ධෛර්යය නොඅඩුව ප්‍රාර්ථනා කරමි.

“කඳඅරනී “විදර්ශන ප්‍රකාශනයකි.
පිටකවරය -දිනිඳු ප්‍රසාද් සිරිවර්ධන

– චමිලා මැණික්ගමගේ

Leave A Reply

Your email address will not be published.

twenty − 14 =