හදවතට ළඟ කවි සහ හදවත පාරවන කවි රස විඳීමි “එහෙම වරදක් කරල නෑ මම “

සුහර්ෂිණී ධර්මරත්න කිවිඳියගේ “එහෙම වරදක් කරල නෑ මම “කවි පොත පලවී වසර දෙකක් ගත වුවද මා හට කවි පොත කියවන්නට ලැබුනේ පසුගිය වසරේ වසංගත කාලය ආරම්භයේදීය. යළිත් දෙවන වර කියවීමට ආසා සිතුණු පසු මා සිත් ගත් කවි මුලින් කියවා ගතිමි. නැවතත් හදවතට ළඟ කවි සහ හදවත පාරවන කවි රස විඳීමි. සුහර්ෂිණී කිවිඳිය මා වඩාත් ඇළුම් කරන කාන්තාවක් බවට පත්වන්නේ ආසන්න දිනකදී එක්තරා රූපවාහිනී නාලිකාවක ඈ කළ කතා බහක් නිසාවෙනි. ඈ සතු විසල් කරුණාබර හදවත ඇගේ කවි සහ ඇතැම් සටහන් වලින් කියවාගතිමි. ඇගේ හදබස බොහෝ ආදරනීය හැඟීම් උපදිනසුළු ගතියෙන් යුතු වේ.
” එහෙම වරදක් කරල නෑ මම ” කවි පොත පුරා ඇගේ සරල කවි බස විහිදී යාම මම ඇලුම් කරන තවත් කාරණාවකි. කවි වල භාෂාව සරල වන තරමටම මිනිසුන් අතරට කවිය යන බැව් මගේ අදහසයි. උගත් සහෘදයින් ඉලක්ක කරමින් කවි ලිවීමෙන් පලක් ඇත්ද? ඔවුන් කවිය කියවාගනිති. නමුත් රසවිඳුමක් ඇත්තේ ළයාන්විත සරල කවි බසක සහ හදවතට දැනෙන තැනෙක නොවෙද? මෙම කවි පොත පුරා ඒ දැනීම් බොහෝ විට හමුවේ. කිවිඳියගේ කවි පොතෙහි මා ඇළුම් කරන කවියක්.

එහෙම වරදක් කරල නෑ මම
ඔයා තරහින් හිටිය දවසක
මූණු පොත අතගාපු හවසක
පැරණි පෙම හමුවී අහම්බෙන්
හිතෙන් වැළපුණ හුදෙකලාවක
සැඳෑ හමුවක මිතුරු හවුලක
පෙණ බුබුළු ලන
අඩ අඳුර මැද
පිරිමි ඇස් කියවපු වෙලාවක
හීනෙන් ඇවිත් ඉඳහිට
බින්දම කෙනෙක් පතිවත
උදේ ඉර එළියෙන්
හොරෙන් ඔය හැඩ
මූණ බල බල
හූල්ලපු තරමට
සුළි කුණාටුත් ගසන් යන්නැති
බෙංගාල බොක්කට
සීතාගෙ පතිවත
බිම්බාගෙ වතගොත
සම්බුලා සත්පත්තිනි
විඳපු- විඳවපු ගෑණයෙක් මම
ඒ හැමෝගෙම අක්මුල්
දුවල සම් මස් නහර ඇතුලට
ඔයා ඔය බුම්මාගෙන හිටියට
එහෙම වරදක් කරල නෑ මම ….

විවාහක කාන්තාවකගේ ඉතා සංවේදී සිදුවීමක් එහි විග්‍රහ වී ඇති බව හඟිමි. තම සැමියා සමග අමනාපව සිටින මොහොතක පැරණි ප්‍රේමය මුහුණු පොත හරහා ඇස ගැටුමත් එම සිදුවීම නිසා සැමියා යම් අමනාපයක් දැක්වීමක් එහි වේ.”හීනෙන් ඇවිත් ඉඳහිට
බින්දම කෙනෙක් පතිවත” ලෙස ප්‍රබල හැඟීමක් අප වෙත දැනවීමට කිවිඳිය උත්සාහ දරනයුරු පෙනේ. කිසි දිනෙක හැබැහින් පතිවත කෙලෙසා ගත් ස්ත්‍රීයක් නොවන බවත් “විඳපු විදවපු ගෑණියක් මං” ලෙස දුක් විඳිම පමණක් නොව ජීවිතය විඳිමින් ගත කල අතීතයක් ඈ සතුව තිබූ බැව් ඇය මතක් කර දෙයි. අවසන “එහෙම වරදක් කරල නෑ මම” ලෙස මුළු කවියේම අදහස එක මිටකට ගෙනහැර පෑමට කිවිඳිය සමත් වෙයි. සැමියා කෙරෙහි දක්වන ආදරයද කවිය තුල ඔබ්බවා ඇති බව පෙනේ.
තවත් සමාජයේ එක් පැතිකඩක් නිරාවරණය වන කෙටි කවියක් ලෙස පහත කවිය ඈ විසින් නිර්මාණය වී ඇත.
අන්ත්‍රාවයි
නිසි පුළුලුකුළ විමසන
ඇස් වලින් වුව කෙලෙසන
නගරය මැදිනි
දුවේ නුඹෙ ගමන…

ගැහැණු දරුවෙකුට සමාජයේ අත්වන තත්ත්වය හඟවන කෙටි කවකි.එහි චිත්තරූප මැවෙන ආකාරය ඔබට වුව හැඟෙනවා විය යුතුය .ඒ අඳුරු ඇත්ත කවිය තුළින් ඈ මොනවට විදහා දක්වන අයුරු පෙනේ.සඳැස් හා නිසඳැස් ආකෘතින් වලින් යුතු කවි රැසකින් “එහෙම වරදක් කරල නෑ මම” කවි පොත සමන්විතය .
විවිධ තේමා ගත් කවි අතර සඳැස් ආකෘතියකින් රචනා කර ඇති “ගම ආ එළඳ”කවිය අපූරු බව කිවකින් යුතු වේ.
ගම ආ එළඳ
වඩා ඉසුරු රුසිරෙන් පිරිපුන් එළඳ
කුඩා දෙදරුවන් හා හිමි සඳ වැළඳ
විඩා නිවන වන රොද පැටි කල ඇවිද
ගඩා ගෙඩි කඩා දුන්නේ මං නොවෙද
සොරා බැලුම් දී මුව සඟවන තාලෙන්
සරා සිතක් මිදුණයි බඹ සර සීලෙන්
පුරා කැකුළු තණමල්විල සබකෝලෙන්
නුරා පැන් බීව බඹරා මම ආලෙන්
ඉසුරු රුසිරු ඔද වැඩි පා තඹරු දෙක
නපුරු තිබොල් කටු ඇනෙනා තමයි දුක
පහුරු ගාන හිත කොනහන මල් මතක
සමග මගැර යමි නුඹ හිටපන් මැණික..
අප්‍රකාශිත ගැමි ප්‍රේමයක් පිළිබඳ කියැවෙන ඉහත කවිය ගැමි වහර සමග සමමිශ්‍රිත බවක් පෙන්වයි.කුඩා කළ තවන් වූ ආදරය, ප්‍රේමය ඒක පාර්ශව ලෙස සිට පසුකලෙක විවාහයෙන් පසු ,ගම ආ දිනෙක ද සඟවාගෙන පසු බසින අහිංසක ප්‍රේමවන්තයෙකුගේ සිතිවිලි ලෙස කවිය රචනා වී ඇත.
මෙසේ රසවත්ව විඳිය හැකි අපූර්ව කවි රැසකින් සමන්විත “එහෙම වරදක් කරල නෑ මම ” කවි පොත රස විඳුමට ඔබට ඇරයුම් කරමි.බොහෝ දෙනෙකු කවි පොත කියවා ඇති බැව් දනිමි.මේ සටහන නොකියවූ ඔබ වෙනුවෙනි.
සුහර්ෂිණී කිවිඳිය , ඔබේ දයාර්ද හදවත හෙටත් කවි වෙනුවෙන් ඉඩ වෙන්කළ හැකි සොඳුරු බිම්කඩකි..
– චමිලා මැණික්ගමගේ

Leave A Reply

Your email address will not be published.

nine − 3 =