“නිරෝධායන නීති කඩන්නන් අත්අඩංගුවට ගැනීම නීත්‍යනුකූලව කරන්න”

 - මානව හිමිකම් කොමිසම පොලිස්පතිට ලියයි !

හදිසි කාලවකවානුවක් වුවද, කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග නීත්‍යනුකූලව සිදුවිය යුතු බව හා සියලුදෙනාටම සමාන ආකාරයට සිදුවිය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පොලිස්පතිවරයාට පෙන්වා දී තිබේ.

පසුගිය දින කිහිපය තුළ ‘ජනතාව තම වගකීම පැහැර හරින බවටත් පනවා ඇති නිරෝධායන නීති උල්ලංඝනය කරන බවටත්’ දක්වමින් ඔවුන් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ බස් රථවලින් ප්‍රවාහනය කරන ආකාරය මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එම කොමිසම මේ බව ප්‍රකාශ කර ඇත.

කොවිඩ්-19 වසංගතයට අදාළව නිරෝධායන නියෝග කඩකරන්නන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමුකරමින් එම කොමිසම මේ බව සඳහන් කර තිබේ. එම කොමිසමේ සභාපති ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ අත්සනින් එම ලිපිය යොමුකර ඇත.

අත්අඩංගුවට ගැනීමට අදාළ නීතියේ දක්වා ඇති ප්‍රතිපාදනයන්ට අනුකූලව, එනම් අපරාධ නඩු විධාන සංග්‍රහය, පොලිස් දෙපාර්තමේන්තු නියෝග හා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදී ඇති තීන්දු පිළිබඳව අවධානය යොමු කර මේ අත්අඩංගුවට ගැනීම් සිදුකළ යුතු බව එම කොමිසම මෙමගින් අවධාරණය කර තිබේ. කොවිඩ් වසංගත තත්ත්වය යටතේ නිරෝධායන නීති උල්ලංඝනය කරනු ලබන සියලුම පිරිස් කිසිදු වෙනස්කමකට භාජනය නොකර, සියලුදෙනාටම සමාන වන ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද, අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන යන පිරිස් නිරෝධායන නියෝග හා ඊට අදාළ මාර්ගෝපදේශ අනුව ප්‍රවාහනය කළ යුතු බව ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙමගින් වැඩිදුරටත් අවධාරණය කර සිටී.

ඒ අනුව හදිසි අවස්ථාවකදී වුවද, නීතියෙන් බැහැරව සිදුකරනු ලබන තාවකාලික ක්‍රියාකලාපයන් තුළින් සිදුවන ඍණාත්මක බලපෑම් මුළු මහත් සමාජයටම භුක්ති විඳීමට සිදුවන බැවින් නීතියේ දක්වා ඇති ක්‍රමවේදයන් අනුගමනය කිරීමට පොලිස් නිලධාරීන් දැනුම්වත් කරන්නැයි කොමිසමේ සභාපතිවරයා විසින් අදාළ ලිපියෙන් ඉල්ලා තිබේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනාටම එම තත්ත්වය පාලනය කිරීමට විශාල වගකීමක් ඇති බව ද මානව හිමිකම් කොමිසම පෙන්වා දෙයි. 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ බලතල ප්‍රකාරව මෙම දැනුම්දීම සිදුකර ඇත.

ෂෙහාන් ගුණසේකරගේ ඡායාරුපයක්

Leave A Reply

Your email address will not be published.

eight + one =