සැකකරුවන් ඝාතනය: අධිකරණය වගකීම ඉටුකරයිද?

පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම්වලදී අදාළ මරණ පරීක්ෂණය සිදු කරන මහේස්ත්‍රාත්වරයාට බරපතළ වගකීමක් පැවරුණද, කිසිදු අවස්ථාවක එය ඉටු නොවන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.ජී. පුංචිහේවා අවධාරණය කරයි.
එම පරීක්ෂණයේදී පොලිසිය පවසන කරුණු ඒ ආකාරයෙන්ම සටහන් කරගැනීම වෙනුවට, සාක්ෂිකරුවන් කැඳවීම, කැඳවූ ආකාරය, ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් කැඳවූයේද යන්න වැනි ප්‍රශ්නවලට අනිවාර්යෙන්ම පිළිතුරු ලබාගත යුතු බව ද පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, මහේස්ත්‍රාත්වරුන් එම වගකීම මගහැරීම බරපතළ කරුණක් බව ද සඳහන් කරයි.
සාමාන්‍යයෙන් පොලිසිය මෙවැනි අවස්ථාවකදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් කැඳවීමක් පවා සිදු නොකරන බවත්, සාක්ෂිකරුවන්ට බැණවැදීමේ අවස්ථා සුලබ බවත් අවධාරණය කරන තොරතුරු කොමිසමේ සාමාජිකයකු ද වන ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, එමගින් ජනතාවට ඇත්ත දැනගැනීමට ඇති අයිතිය ඇහිරීමක් සිදු වන බව පෙන්වා දෙයි.
1994 කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම්වලින් ආරක්ෂා වීමේ පනත හෙවත් වධහිංසා පනතට අනුව අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවකුගේම වගකීම අදාළ පොලිස් ස්ථානය භාර ස්ථානාධිපතිවරයා විසින් දැරිය යුතුය. එහෙත් කිසිදු අධිකරණයකින් මෙවැනි ඝාතන සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාගේ එම වගකීම ප්‍රශ්න කිරීමක් සිදු නොවන අතර, පොලිසියේ සටහන් සියල්ල ඒ ආකාරයෙන්ම පිළිගනු ලබයි. විශේෂයෙන්ම මෙවැනි ඝාතනවලදී සුලභව ප්‍රකාශ කෙරෙන්නේ ආයුධ පෙන්වීමට ගෙන ගිය අවස්ථාවේ, සොයාගත් ආයුධයකින් පහරදීමට උත්සාහ දැරීමේදී ආත්මාරක්ෂාව පතා වෙඩි තැබීම, පළායෑමට උත්සාහ කිරීමේදී වෙඩි තැබීම වැනි කරුණු ය.
සැකකරුවකු අත්අඩංගුවට ගැනීමෙන් පසු විමර්ශන සඳහා රැගෙන යන්නේ නම්, ඔහුට මාංචු දැමීම අනිවාර්ය බවත්, එසේ මාංචු දමා ඇති සැකකරුවන් ආයුධවලින් පහරදීමට උත්සාහ කිරීම, ගංගාවලට පැන පළායෑමට උත්සාහ කිරීම වැනි දේවල් සිදු කරන්නේ කෙසේද යන්න සාමාන්‍ය ජනතාවට පවා ඇති වන ප්‍රශ්නයක් වුවද, එය මහේස්ත්‍රාත්වරුන් විසින් ප්‍රශ්න නොකිරීම බරපතළ ලෙස අවධානයට යොමු විය යුතු කරුණක් බව ද ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පෙන්වා දෙයි.
මේ පොලිස් ඝාතන අතරට තවත් ඝාතන දෙකක් එක්විය. ඒ පසුගිය 11දා රාත්‍රියේ දිනෙත් මෙලන් මබුලා නොහොත් ‘ඌරු ජුවා’ නම් සැකකරු ඝාතනය කිරීම සහ 12දා රාත්‍රියේ තාරක පෙරේරා විජේසේකර හෙවත් ‘කොස්ගොඩ තාරක’ නම් සැකකරු ඝාතනය කිරීම ය. මේ ඝාතන දෙකටම අදාළ ව පොලිසිය පාර්ශ්වයෙන් පැරණි කතාව ම පවසා තිබිණි.
‘…. එම නිවසේ පිටුපස සූක්ෂ්ම ලෙස සැඟවූ අත්බෝම්බ කිහිපයක් සොයා ගන්නවාත් සමග ඌරු ජුවා ඉන් එක් බෝම්බයක් කඩා, පොලිස් නිලධාරීන්ට ගැසීමට සැරසුණු බවත්, පසුව පොලිසිය ජීවිත ආරක්ෂාව පිණිස සැකකරුට වෙඩි තැබූ බවත් පොලිසිය පවසයි.’
‘බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය භාරයේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කොස්ගොඩ තාරක මීරිගමදී පොලිසියට ප්‍රහාරයක් එල්ල කිරීමට යෑමේදී සිදු වූ වෙඩි තැබීමකින් මරුට.’
මේ සිදුවීම් දෙක මාධ්‍ය මගින් වාර්තා කර තිබුණේ එසේ ය. මාකඳුරේ මධුෂ් නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා සම්බන්ධයෙන් ද පොලිසිය මෙසේ කීවේය. ඝාතනයට ලක්වූ ඉඳුනිල් වජිර කුමාර හෙවත් ඉන්ද්‍රා නමැති සැකකරු අතක් කැඩී සිටි අයෙක් බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි. පොලිසිය උපුටා දක්වමින් මාධ්‍ය මේ සිද්ධිය වාර්තා කර තිබුණේ අදාළ සැකකරු විසින් සැඟවූ ආයුධ පෙන්වීමට රැගෙන ගොස්, නැවත එමින් සිටියදී පොලිස් ජීප් රථය පැදවූ කොස්තාපල්වරයාගේ ගෙල මාංචු කුට්ටමින් සිර කිරීමට උත්සාහ කළ බවයි. ජීප් රථයේ සිටි නිලධාරීන් සැකකරුගෙන් රියදුරු බේරාගැනීමට උත්සාහ කළද, එය ව්‍යර්ථ වූ බවත්, ඒ අවස්ථාවේ පොලිස් නිලධාරියකු විසින් සැකකරුට වෙඩි තබා ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඝාතනයට ලක්වූයේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවත්, ඔහු අපරාධ රැසක් සිදුකර ඇති බවත් මේ සියලු‍ ඝාතන සම්බන්ධයෙන් පැවසීමේදී පොලිසිය මුලින්ම පවසයි. මාධ්‍ය මගින් ද එය උළුප්පා දක්වයි. ඕනෑම ආකාරයක අපරාධ සම්බන්ධයෙන් වන සැකකරුවකු පොලිසියෙන් අත්අඩංගුවට ගත් පසු ඔහු සිටින්නේ රාජ්‍ය භාරයේ ය. ඔහුට එරෙහිව විධිමත් නඩු විභාගයකින් පසු, දඬුවම් නියම කිරීම අධිකරණයේ කාර්යභාරයකි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය නෙරංජි විජේවර්ධන පවසන්නේ පොලිස් අත්අඩංගුවට ගනු ලබන ඕනෑම පුද්ගලයෙකුට පහරදීමේ හෝ අයිතියක් පොලිස් නිලධාරීන්ට නොමැති බවයි. විධිමත් අධිකරණයකින් අදාළ සැකකරු වැරදිකරු බව තහවුරු කරන තුරු ඔහු නිවැරදිකරුවකු වන බවත්, පොලිසිය දක්ෂ විය යුත්තේ පහර දී තොරතුරු ලබාගැනීමට නොව විමර්ශන කර වැරදිකරුවන් හඳුනාගැනීමට බවත් ආචාර්යවරිය අවධාරණය කරයි.
යම් අපරාධයක් සිදු වූ ස්ථානය සහ වින්දිතයන් මෙන් ම සැකකරුවන් ආරක්ෂා කිරීමට දියුණු රටවල පොලිස් නිලධාරීන් ප්‍රමුඛත්වය ලබා දෙන බව සඳහන් කරන ආචාර්යවරිය, ශ්‍රී ලංකාව තුළ විමර්ශනවලට අදාළ බොහෝ කරුණු ක්ෂණිකව මාධ්‍ය ඔස්සේ පළවන බැවින් සාක්ෂි ලබාදීමට ජනතාව මැලිකමක් දැක්වීම බරපතළ කරුණක් බව ද පෙන්වා දෙයි.
සැකකරුවන් ඝාතනය කිරීම කොතරම් බරපතළ අපරාධයක් ද යන්න පැහැදිලි වන්නේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ ක්‍රියාවලිය තුළ මීට ලබාදී ඇති විශේෂ අවස්ථා පිළිබඳව අවධානය යොමුකිරීමේදී ය. ජ්‍යෙෂ්ඨ නීතිඥ යූ.ආර්. ද සිල්වා පවසන්නේ යම් සිදුවීමකට අදාළව පුද්ගලයෙකු අත්ඩංගුවට ගෙන ඔහුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමෙන් පසුව වුවද, අදාළ පුද්ගලයාට අභියාචනා අයිතිවාසිකම් දෙකක් ඇති බවයි. පහළ අධිකරණයකින් ලබාදෙන තීන්දුවක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ අවස්ථාව සැකකරුවන්ට ලබා දී තිබේ. ඊට හේතුව යුක්තිය පසිඳලීම එතරම්ම විනිවිදභාවයකින් සිදුවිය යුතු වීම යැයි ද ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සඳහන් කරයි.
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය සම්බන්ධයෙන් ය. ඒ අනුව යම් සැකකරුවකු පිළිගත් අධිකරණයක් හමුවේ වරදකරුවකු බව තහවුරු වන තෙක් ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකේ. ව්‍යවස්ථා විශාරදයෙකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම අවධාරණය කරන්නේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු සම්බන්ධයෙන් නඩු විභාගයකින් තොරව තීන්දු ගන්නේ නම් එය අතිශය බරපතළ තත්ත්වයක් බවයි. සැකකරුවකු සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමේ බලය ඇත්තේ විනිසුරුවරයකුට පමණක් බවත්, මෙවැනි අත්තනෝමතික ඝාතන මගින් පොලිසිය නීතියේ ආධිපත්‍යය බරපතළ ලෙස උල්ලංඝනය කරන බවත් ආචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙසේ සැකකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විධිවිධාන රැසක් සලසා ඇති තත්ත්වයක් තුළ, මාධ්‍ය මගින් පොලිසිය පාර්ශ්වයෙන් පමණක් පවසන කරුණු මත සැකකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු පළකිරීම බරපතළ තත්ත්වයකි. පිළිගත් අධිකරණයකින් වැරදිකරුවන් කිරීමට පෙර, පොලිසියේ තොරතුරු මත මාධ්‍ය මගින් ඔවුන් අපරාධකරුවන් ලෙස නම්කරනු ලබයි. අදාළ සැකකරුවන් අපරාධ කළ බවට සාක්ෂි දහස් ගණනක් තිබුණද, ඔවුන්ට අදාළ තීන්දුව ගැනීම අධිකරණයේ කටයුත්තක් පමණක්ම බවත්, ඒ තීන්දුව ලැබෙන තුරු ඔවුන් අපරාධකරුවන් බව ඒත්තු යන පරිදි මාධ්‍ය මගින් තොරතුරු වාර්තා කිරීම අනුමත කළ නොහැකි බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.ජී. පුංචිහේවා පවසයි. කෙසේ වෙතත් මාධ්‍ය මගින් විධිමත් ලෙස විමර්ශනය කොට, සියලු‍ පාර්ශ්වවල සාක්ෂි සහිතව තොරතුරු වාර්තා කිරීමත්, පොලිසිය පාර්ශ්වයෙන් පමණක් පවසන තොරතුරු මත කරුණු වාර්තා කිරීමත් දෙකක් බව තේරුම් ගත යුතු යැයි ද නීතිඥවරයා අවධාරණය කරයි.
පසුගිය 10 වැනිදා අඟු‍ණකොළපැලැස්ස බන්ධනාගාරයෙන් නිදහස් වූ මබුලාගේ දිනෙත් මබුලා හෙවත් ‘ඌරු ජුවා’, 11 දා පොලිසියෙන් යළිත් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ සඟවා ඇති ආයුධ සොයාගැනීමට බව නවගමුව පොලිසියෙන් තමන්ට පැවසූ බව නීතිවේදියෙකු සහ ඔහුගේ පවුලේ ඥාතීන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පවසන්නේ එම ප්‍රකාශය බියජනක බවයි. ඊට හේතුව සඟවා තැබූ ආයුධ පෙන්වීමට රැගෙන යෑම යන්නෙන් වෙනත් අර්ථයක් ප්‍රකාශ කරන නිසා බව ද ඔහු සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් පසුගිය 11දා රාත්‍රී 10.30ට නීතිඥ සේනක පෙරේරා සිය ෆෙස්බුක් පිටුවේ මෙසේ ලියා තිබේ.
“බූස්ස බන්ධනාගාරයෙන් ඊයේ ඇප මත නිදහස් වූ දිනෙත් මෙලාන් (ඌරු ජුවා) යන සැකකරු නැවත අත්අඩංගුවට ගෙන මේ වන විට නවගමුව පොලිසියේ රඳවා තබාගෙන සිටී. ඔහුගේ නීතිඥයා පොලිසිය විමසී⁣මේදී විමර්ශන සඳහා ගෙනයාමට තිබෙන බවත්, ආයුධ සොයා ගැනීමට තිබෙන බවත් දැනුම් දී තිබේ. ආයුධ සොයන්න රැ⁣ගෙන ගිය බොහෝ සැකකරුවන් අවසන් ගමන් ගිය හැටි අපට අමතක නැත. නීතිය ක්‍රියාත්මක කරන වගකිව යුතු ආයතනය කැලෑ නීතිය අනුව කටයුතු කළහොත් අප පුදුම වන්නේ නැත.”
එදින රාත්‍රියේ අදාළ සැකකරු ඝාතනය කර තිබිණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ 12දා උදෑසන මාධ්‍යයට පවසා තිබුණේ මෙම සැකකරු නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති බවත්, පසුව නවගමුව, වඳුරාමුල්ල ප්‍රදේශයට විමර්ශන කටයුත්තක් සඳහා රැගෙන ගොස් ඇති අතර, එහිදී ඇතිවූ සිදුවීමකදී පොලිසිය විසින් බලය පාවිච්චි කිරීමෙන් පසු රෝහල්ගත කළ ද ඒ වනවිට මරණයට පත්ව සිටි බවත් ය.

කොස්ගොඩ තාරක නමින් හැඳින්වෙන ධර්මකීර්තිලාගේ තාරක විජේසේකර පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට රැගෙන ගොස් ඇති නිසා ඔහුගේ ජීවිතය රැකදෙන ලෙස සැකකරුගේ මව වන අගම්පොඩි ජානකී ද සොයිසා විසින් නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි මගින් බලධාරීන්ගෙන් ඉල්ලා තිබිණි. ඒ පසුගිය 12දා ය. මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට, විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට මෙසේ ඉල්ලීම් කර තිබේ.
“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ රඳවා සිටි සැකකරු මේ වන විට පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට බාරදුන් බවට මාහට දැනගන්නට ලැබිණි. මෙකී සැකකරුගේ ජීවිතයට නොයෙකුත් තර්ජන එල්ල වී ඇති බව අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටත්, ගරු අධිකරණයටත් සැලකර සිටින ලද කරුණකි. සැකකරුගේ පූර්ණ භාරකාරිත්වය මේ වන විට හිමි වී ඇත්තේ ඔබතුමන්ගේ දෙපාර්තමේන්තුවේ අදාළ ඒකකය වෙත ය.”
නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි විසින් අදාළ සැකකරු සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත යවන ලද ලිපියේ එසේ සඳහන් වේ. එදින ම රාත්‍රියේ සැකකරු ඝාතනය කර තිබිණි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මගින් ද කරුණු සඳහන් කර තිබිණි. තම භාරයේ සිටින පුද්ගලයන් ආරක්ෂා කිරීම පොලීසියේ සහ රජයට පැවරුණු යුතුකමක් බව නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් පොලිස්පතිවරයාට ලිඛිතව අවධාරණය කළ බවත්, ශේෂ්ඨාධිකරණය විසින් බොහෝ තීන්දුවලදී තමන් භාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රජය වෙත වගකීමක් පැවරී ඇති බව නැවත නැවතත් අවධාරණය කර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
මෙවැනි මරණ, නීතියේ ආධිපත්‍යයට පටහැනි වන අතර, එය ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට කැළලක් වනු ඇතැයිද මිනීමැරීම ඇතුළු බරපතළ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබාසිටින පුද්ගලයන්ට එරෙහිව නිසි අධිකරණයක් ඉදිරියේ නඩු පවරා වරදකරු කිරීමෙන් අනතුරුව පමණක් එකී අපරාධවලට දඬුවම් ලබාදිය යුතු බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දී තිබේ. මෙම මරණවලට අධිකරණමය නොවන (Extra-judicial killings) ඝාතනවල සියලු‍ ලක්ෂණ ඇති බවත්, සිය භාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා සිටින බවත් එම සංගමය පොලිස්පතිවරයා වෙත අවධාරණය කර තිබිණි.
පොලිසිය විෂය භාර මහජන ආරක්ෂක රාජ්‍ය ඇමැති සරත් වීරසේකර විසින් සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කළ යුතු බවට කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මීට පෙර කළ විමසීමකදී ඔහු පැහැදිලිව පැවසුවේ ‘යම් පුද්ගලයෙකු අධිකරණයකින් වරදකරුවකු කරන තුරු ඔහු නිර්දෝෂී බවයි.‘
සැලසුම් කරන ලද ඝාතනවලට සෑම අවස්ථාවකදීම එරෙහි විය යුතුය. එසේම සැකකරුවන් ඝාතනය කිරීම මගින් ඔවුන් ලවා අපරාධ කරවූ පුද්ගලයන් බේරාගැනීමේ මෙහෙයුම්වලට ද එරෙහි විය යුතුය. එවැනි අවශ්‍යතාවක් නැත්නම් මෙසේ සැකකරුවන් ඝාතනය වන්නේ ඇයි? එකදිගට එකම විදිහට ඒ වැඩේ සිදුවන්නේ ඇයි? වහරේ මෙවැනි කියමනක් තිබේ. අමාරුම අවස්ථාවලදී කරන්නේ තමන්ට හොඳටම පුරුදු වැඩ ය.
– ශාලික විමලසේන

Leave A Reply

Your email address will not be published.

13 + six =