කලාකරුවාගේ වගකීම කුමක්ද?

විකෘතියෙන් වියුක්තව ප්‍රකෘතිය මිනිස් මනස තුළ සෞන්දර්යාත්මක ප්‍රතිරූපයක් ලෙස පිළිබිඹු වීම කලාව යනුවෙන් අදහස් කෙරේ. මෙම ප්‍රකෘතිය සෞන්දර්යාත්මක ලෙස ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව ඇත්තේ මිනිසාට පමණි. එය කරනු ලබන්නේ කලාකරුවා ය.

කලාවේ වර්තමානය පිළීබඳව සංවාදයේ යෙදීමට පෙර එහි අතීතය පිළිබඳව මදක් සිතාබැලීම වටී. මක් නිසා ද යත්, කලාවේ වර්තමානය හා අනාගතය හඳුනා ගැනීමේ දී අතීතයෙන් අත්මිදී යා නොහැකි බැවිනි. අතීතයේ පැවැතියේ, සාමුහිකත්වය පදනම් කර ගත් නිෂ්පාදන හා පාරිභෝගික  ක්‍රියාවලියකින් යුත් ප්‍රාථමික සාමුහික සමාජයකි. ඔවුහු තම සරල අවශ්‍යතාවන් සපුරා ගැනීමේ දී තරගයක නිරත වූහ. එම අරගලවල දී ඔවුන් ලද පරාජයන් හමුවේ නැවත ජයග්‍රහණ අත්පත් කර ගන්නා ලද්දේ සාමුහිකත්වය තුළිනි. මේ අනුව කලාව තේරුම් ගත යුතු වන්නේ සාමුහිකත්වය තුළ සොබාදහම සමඟ කළ අරගලයේ දී ඔවුන් ලැබු පරාජයන් ජයග්‍රහණ බවට පරිවර්තනය කිරීමට ඔවුන් තුළ ඇති වූ අධිෂ්ඨානශීලී මනෝභාවයයි. එම මනෝභාවය එම යුගයේ කලාව නිර්මාණයේ දී විශාල කාර්යයක් ඉටු කළේ ය.

ධනේශ්වර සමාජය තුළ කලා කෘති නිපදවන්නේ එම ධනේශ්වර ක්‍රමය තව දුරටත් සමාජය තුළ මුල් බැස ගන්නා අයුරිනි. එනම්, මෙම පංතිමය අවශ්‍යතාවන් සම්පූර්ණ  කිරීමේ වුවමනා වෙනුවෙනි. වර්තමානයේ  ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ ද එබඳු කලාවකි. ජනතාවාදී කලකරුවන් යැයි කියා ගන්නා බොහෝ පිරිස් තම නිර්මාණ යොදාගෙන තිබෙන්නේ හුදු විනෝදාස්වාදය සඳහා සහ මිථ්‍යාවන් සමාජය තුළ වැපිරීමටත්, ව්‍යාප්ත කිරීමටත් ය.

නිදසුනක් ලෙස ගත් කල ගෝත්‍රික සමාජය තුළ නිර්මාණය වූ ගීත, නැටුම් සමූහයකගේ එකතුවක් විය. වර්තමානයේ ද ශේෂ වී සිටින ඇතැම් නොදියුණු ගෝත්‍රවල එවැනි ගීත හා නැටුම් දකින්නට තිබේ. ඒවා ඉදිරිපත් කරන්නේ කණ්ඩායමක් හෝ සමූහයක් වශයෙනි. මෙම සමාජ ක්‍රමය තුළ වෙනම ස්ථරයක් පෙනී නොසිටි අතර, එම ජන කොටසගේ මූලික ගැටලු‍ නිරාකරණයේ දී පවා ඔවුහු කලාව උපයෝගී  කර ගත්හ.

එහෙත්, ධනේශ්වර සමාජය කුළ මෙවැන්නක් දැකිය නොහැකි ය. ධනේශ්වර සමාජය තුළ කලා කෘති නිපදවන්නේ එම ධනේශ්වර ක්‍රමය තව දුරටත් සමාජය තුළ මුල් බැස ගන්නා අයුරිනි. එනම්, මෙම පංතිමය අවශ්‍යතාවන් සම්පූර්ණ  කිරීමේ වුවමනා වෙනුවෙනි. වර්තමානයේ  ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ ද එබඳු කලාවකි. ජනතාවාදී කලකරුවන් යැයි කියා ගන්නා බොහෝ පිරිස් තම නිර්මාණ යොදාගෙන තිබෙන්නේ හුදු විනෝදාස්වාදය සඳහා සහ මිථ්‍යාවන් සමාජය තුළ වැපිරීමටත්, ව්‍යාප්ත කිරීමටත් ය. කලාකරුවන් යැයි පුරසාරම් දොඩමින් පාරම්බාන ඇතැම්හු ධනේශ්වර දේශපාලකයන්ගේ වුවමනාවන් සහ ඔවුන්ගේ සිත් සතන් සන්තර්පණය උදෙසා තම නිර්මාණ කිසිදු හිරිකිතයකින් තොරව ලබා දෙමින් බඩ වඩා ගැනීමේ අවස්ථාවාදී ක්‍රියාවලියක නිරතව සිටිති.

ධනේශ්වර සමාජ ක්‍රමය තුළ කලා කෘති නිපදවන්නේ වාණිජත්වය පදනම් කර ගත් වෙළෙඳපොළ බලවේගය සඳහා ය. වැඩවසම් සමාජය තුළ රදළයා සඳහා කලා කෘති නිර්මාණය කළ නිර්මාණකරුවා එය කළේ තම පංති වුවමනාව පසෙක ලා වැඩවසම් ක්‍රමය තුළ ම පීඩාවට පත් වෙමිනි. ඔහු නිදහස් පුද්ගලයකු නොවූයේ ය. වර්තමානයේ දක්නට ලැබෙන්නේ ද එවැන්නකි.

මේ අනුව බලද්දී ධනේශ්වර සමාජයේ කලාකරුවා ද තම වගකීමෙන් බැහැරව යමින් තම පංති වුවමනාව පසෙක ලා ධනේශ්වර සමාජයේ පැවැත්ම උදෙසා තම ප්‍රතිභාව වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කරගෙන සිටී. මොවුන් විසින් තම නිර්මාණ කරනු ලබන්නේ ධනපතියාගේ අභිප්‍රායයන්ට සරිලන පරිද්දෙනි. ඔවුන්ගේ අවශ්‍යතාවට ගැළපෙන පරිද්දෙනි. වර්තමාන කලාකරුවා ද සවිඥානිකව හෝ අවිඥානිකව හෝ ධනපතියාගේ චින්තන වපසරියට හසුව සිටී. ඉන් මිදීමට නොහැකි වන පරිද්දෙන්ම වර්තමාන කලාකරුවා ඊට නතුව සිටින බව වර්තමානයේ කලඑළි බසින ඔවුන්ගේ නිර්මාණ පරිශීලනය කිරීමේ දී පෙනී යයි.

ඔහු විසින් සංතෘප්ත කරනු ලැබිය යුතු වෙළෙඳපොළේ ස්වභාවය තීරණය කරනු ලබන්නේ ඔහුගේ නිර්මාණවලට මුදල් යොදවන ව්‍යාපාරිකයා ය. එසේත් නොවේ නම්, දේශපාලකයා ය. වර්තමාන කලාවත්, බොහෝ කලා නිර්මාණත්, කලකරුවාත් වෙළෙඳපොළ බලවේගයට නතු වෙමින් සිය පංති වුවමනාව පසෙක ලා වැඩ කරන පීඩිත පංතිය  අමතක කර දමා ධනපතියාට සේවය කරමින් සිටී.

එහෙත් තම පංති වුවමනාව අවබෝධ කර ගත් අර්නස්ට් හෙමිංවේ, මැක්සිම් ගෝර්කි, චිංගීස් අයිත්මාතොව්, වියට්නාමයේ හෝචිමිං, සාත්‍යජිත් රායි වැනි කලාකරුවෝ, ලේඛකයෝ තම පංති වුවමනාව වෙනුවෙන් සිය නිර්මාණයන් සමාජගත කළහ. පීඩිත පංතියේ මිනිසුන්ගේ හදගැස්ම ස්පර්ශ කළ ඔවුහු තම නිර්මාණ ද, ප්‍රතිභාව ද ධනපතියා හමුවේ විකිණීමට තරම් ආත්මවංචනිකයන් නොවූහ. අද අපේ රටේ සිටින බොහෝ කලාකරුවන් මෙන් ඊනියා ගෝලීයකරණය හමුවේ අන්ධයන් බවට පත් නොවූහ.

මෙසේ කලාකරුවන් යැයි කෑමොර දෙමින්, චින්තනයක් නොමැති මානුෂිකවාදී නොවූ අජීවී කලාකරුවන් වන මොවුහු සමාජ යථාර්ථය විසින් දිනෙක නිෂේධ කරනු ඇත. අනාගතය කලා චින්තකයන්ගේ ය; සැබෑ කලාකරුවන්ගේ ය. ශිෂ්ටත්වයෙන් තොර ධනේශ්වරය විසින් දූෂණය කර තිබෙන සමාජය සැබෑ කලා නිර්මාණ තුළින් පවතින අඳුර පලවාහැර ආලෝකය කරා ගෙන යනු ඇත. ජනතාවාදී කලාකරුවාගේ වගකීම වන්නේ එයයි.

ජූලම්පිටියේ අමිල ජයවර්ධන
Leave A Reply

Your email address will not be published.

seven + 20 =