තුරුණු සිත් හි ගතිකත්වය හා යහපත් චින්තනයේ නව දැක්ම මත දෝලනය වන ජීවන ප්‍රබන්ධය

“සඳ පමාවී” ගේය පද සංග්‍රහය වර්ෂ 2017දී ජනගත කරන සුසන්ත දන්දෙණිය කෙටි චිත්‍රපට තිර රචකයකු මෙන් ම අධ්‍යක්ෂවරයකු ද වේ. “පන්දුව” හ “සංක්‍රාමණ” ඔහු විසින් එසේ තිරගත කළ කෙටි චිත්‍රපට වේ. කොවිඩ් 19 වසංගතය ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යන සමයක ඉතා විශාල ජීවිත ප්‍රමාණයක් බිලි ගත් ඉතාලියේ මිලානෝ නගරය කතුවරයාගේ වත්මන් වාසභූමිය වේ. එකී වසංගතයෙන් හුදෙකලා වුව ද එහි අතුරු ඵලයක් ලෙස ඔහු තම ප්‍රථම නවකතා ප්‍රබන්ධය පාඨක ගත කරයි. “පංකි මනාලි” නම් වෙනස් තේමාවක් මෙන් ම වෙනස් වූ සමාජ වපසරියක් තුළ නිර්මිත වූ ප්‍රබන්ධ කෘතියකි. අතීතය හා වර්තමානය අතර දෝලනය වෙමින් පාඨකයා තුළ කුතුහලයක් මෙන් ම කෘතිය වෙත පාඨක මනස ආසක්ත කරගැනීමට හැකි කතන්දරයක් වීම ම මෙහි සාර්ථකත්වයේ මුල් ලකුණ යි. “පංකි මනාලි” පුරාවට ම දිවෙන සරල කථන භාෂාව එය හොඳින් අවධාරණයට පහසු මංපෙත් විවර කරයි.
ඉතාලි දේශයේ මත්ද්‍රව්‍ය වලට අධික ව ඇබ්බැහි වී සිඟමින් මුදල් උපයමින් සමාජයෙන් කොන් වී ජීවත්වන සමාජ කොට්ඨාශයක් “පංකි” ලෙස හැඳින්වේ. තම කුටුම්බයෙන් මෙන් ම මුළු මහත් සමාජ ප්‍රජාවගෙන් ම මොවුහු කොන් වෙති. “පංකි මනාලි” යනු එසේ ජීවත්වන කාන්තාවක් පිළිබඳ තේමා කරගත් වෘත්තාන්තයක් යැයි පාඨකයා සිතුව ද කතුවරයා සූක්ෂම ලෙස එහි අතුරු කතා කිහිපයක් නිරූපණය කර අවසානයට පංකි මනාලියට ප්‍රධාන තැන හිමිකර දෙන්නේ විශ්මයජනක ලෙසිනි. කතාව ආරම්භ කරනුයේ ම පුද්ගලයකු ඝාතනය කිරීමේ සිදුවීමකිනි. ඉතාලියේ සුප්‍රකට ප්‍රබන්ධ නවකතාකරුවකු වන අන්තෝනියෝ රකොනෙල්ලි හා ඔහුගේ බිරිද වන නර්මදාගේ කුටුම්බ ජීවිතයත්, නර්මදාගේ හොඳම යෙහෙළිය වන නෙරන්ජනාගේ ස්වාමි පුරුෂයා වූ පියුමාල්ගේ ඝාතනයත් හරහා “පංකි මනාලි” ගලා යයි. නර්මදා විසින් ඝාතනය කරනු ලබන පියුමාල්ගේ රුධිරය දකින නර්මදාගේ පුත් අන්ද්‍රයාගේ මනස ඔහු වැඩිවියට පත්වන තුරුම මේ ඝාතනයේ සුල මුල සෙවීමට පොළඹවයි.
අන්තෝනියෝ නම් ප්‍රකට ලේඛකයා හරහා සුසන්ත සමාජගත කරන්නේ ඇතැම් ලේඛකයින්ගේ සැබෑ වූ ජීවිතය යි. ලෝකයාට මෙන් ම තම කෘති හරහා සමාජයට මොන යම් ආදර්ශවත් චරිත හා උපදේශනය ප්‍රබන්ධ කළ ද ලේඛකයකුගේ සැබෑ ජීවිතයේ පවත්නා ඛේදවාචකය අන්තෝනියෝගේ චරිතය මඟින් විද්‍යමාන වේ. නර්මදා සිපිරි ගෙදරට නියමවීමට පෙර දිනෙක ඇයගේ කෝපයට හේතුව අන්තෝනියෝගේ නිහඩ බව යි.
“වචනයකින් උත්තර නැති තැන දොර දඩාස් ගා වසාගෙන යන පුරුද්ද ඇති කළේද තමාම නොවේද? එතැන් සිට දොරේ හඬද නෑසෙන තරමට තමන් ධ්‍යානගත වීම එක් අතකින් අසාධාරණ යැයි හිතෙත්දී දුකක් හුරු නැති හිතත් සසල වූවේ සිතුවිලි යම් විපර්යාසයකට ලක්වෙමින් තිබෙන නිසා යැයි ඔහුට සිතුනා”
මෙලෙස තම කුටුම්බ ජීවිතයේ හුදෙකලාවට පෙම් කළ අන්තෝනියෝ ඔහුගේ ම නවකතාවක් තුළ ගැහැණු සිත විනිවි ද දකින්නේ මෙලෙසිනි.
“තමුසෙ දන්නෙ නෑ ඕයි, ගෑණු බොහොම සියුම් දේවල් අපේක්ෂා කරනවා. කොච්චර කැපවීම් කරන් ඉන්න හැදුවත් ගෑණුන්ටත් ආදරේ දැනෙන්න ඕනෙ වෙනවා.” තමාම නවකතාවක ලිවූ දෙබසක් අන්තෝනියෝගේ යටි සිතින් මතුවී සරදමක් කළා.
අන්තෝනියෝගේ හා නර්මදාගේ එක ම පුතු වන අන්ද්‍රයා එංගලන්තයේ වෙසෙන තම සොහොයුරා වූ ඩාවිඩේ වෙත යවන්නේ ඔහුගේ මානසික සුවය වෙනුවෙනි. කෙතරම් දියුණු තාක්ෂණික රටවල්වල පවා මනෝ උපදේශනවල දී ක්‍රියාකාරකම් ලෙස ලබා දෙන්නේ භාවනා ක්‍රම යි. බුදු දහමට අනුව ජීවිතය ගැන සිතන්නට පෙළඹවීමත් විවිධ භාවනානුයෝගී ක්‍රම මඟින් සිත සන්සුන් කරගැනීමත් තුළින් අන්ද්‍රයාගේ මානසික පීඩනය ක්‍රමයෙන් දුරු වේ. කුඩා කල සිට ම මවුපිය සෙනෙහසින් ඈත් වූ ඔහුට ඇන්ජෙලා නම් මනෝ උපදේශකවරියගේ සිත සන්සුන් කරගන්නා ක්‍රියා පිළිවෙත් ඔහුගේ ජීවිතයේ සාර්ථකත්වයට හේතු වේ.
ජෙසිකා සහ අන්ද්‍රයාගේ ආදරය ද කතුවරයා තවත් පසෙකින් නිරූපණය කරයි. පාඨකයා ද මදකට ඒ ප්‍රේමාන්විත ජවනිකා මනසින් විඳින්නේ සුසන්තගේ ගද්‍ය ශෛලියට ය. අන්ද්‍රයාගේ පියා මිය යාමත්, මව සිපිරි ගෙහි තනිවීමත්, තමා කුඩා කල සිට කෙළි සෙල්ලම් කළ නෙරන්ජානාගේ දියණිය තරින්ද්‍රා ආවර්ජනය වීමත්, ඉන් අනතුරුව තම මව බැලීමේ මූලික අරමුණ නිසාත් නැවත ඔහු ඉතාලියට පියමං කරයි. තම මව විසින් කිසිවකු දැකීම ප්‍රතික්ෂේප කර ඇති බැවින් ඇය නිදහස් වුවද මොහුට හමු නොවේ. නමුදු මේ වකවානුව තුළ ඔහු තම ළමා මිතුරිය සොයන්නේ ය. එහි දී ලේඛකයා විසින් ඉතාලියේ වෙසෙන “පංකි” නම් ජන කොට්ඨාශය පිළිබඳ පුළුල් විවරණයක් ගෙනෙන්නේ අන්ද්‍රයා ඒ පසුපස හඹා යෑමට සලස්සවමිනි.
“අපි ඇතුළු වෙන්නෙ පාලම යටින්” “පොලිසියෙන් නැද්ද?” “දවල්ට සැරින් සැරේ කැරකෙනවා. රෑට එන්නෑ. ඒකනෙ අපි රෑට යන්නෙ” “හ්ම්ම් ඉතින් ඉතින් කියන්නකෝ” “ඒ යන පාරෙ ඉදන් ඉන්ජෙක්ෂන් කටු ලේ පිහදාපු කොළ කෑලි පිරිලා. ගස්වල කටු ගහලා කඳේ මල් පිපිලා වගේ” “මොනවද ඉන්ජෙක්ෂන් කටු ඒ මොකද එච්චර?” “මත්ද්‍රව්‍ය ඇගට ඇතුළු කර ගන්නවා සමහරු. ඒක මම කරලම නෑ. ඉතින් ඇතුළේ තමා බඩු විකුණන අය ඉන්නෙ, දන්නවද එකෙක් රෝද පුටුවකත් ඉඳන් විකුණනවා. උන් ආයුධත් තියන් ඉන්නෙ, ඒක වෙනම රාජධානියක්.”
ඉහත සඳහන් වන්නේ ඉතාලියේ වෙසෙන පංකි ජන කොටස හා ඒ ආශ්‍රිත මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පුද්ගලයන් නිරන්තරයෙන් වෙසෙන එක් ප්‍රදේශයක් පිළිබඳව යි. ප්‍රබන්ධය තව තවත් කියවා යෑමේදී මෙකී පුද්ගලයන්ගේ දරුණු බව මෙන් ම විවිධ මත්කුඩු වර්ග නිසා පරිහානියට යන තරුණ ප්‍රජාව කතුවරයා මැනවින් පාඨක මනසෙහි නිරූපණය කරයි.
සුසන්ත එරට පවත්නා මත්කුඩු ලෝලීන් ගැන පමණක් නොව සුන්දර තාරුණ්‍යය එවැනි විනාශකාරී තත්වයන්ට පත්වන්නේ කුමන හේතූන් නිසාදැයි ප්‍රත්‍යක්ෂ කරනුයේ තරින්ද්‍රාගේ චරිතය හරහා ය.
“සුරංග… කාළකන්නියා ඌත් හවුල් ද? ඌ තමා මේ හැමදේටම මුල. ඕකා මහ තිරිසනෙක්. මාවත් අතපත ගාගෙන ආවා දවසක්, දුන්නා මම හොඳ කම්මුල් පාරක්. අර ගෑණි ඒත් හිටියෙ උගෙ පැත්තෙ. මට එදා හොඳටම තඩි බෑවා. මං මුලින්ම ගෙදරින් ගියෙ එදා. එතකොට මට අවුරුදු දාසයයි. මුළු ජීවිතේම කලකිරුණා. අන්තිමට යාළුවො තමයි හොඳටත් නරකටත්.”
“මම දහ අට වෙද්දි බාර් එකක වැඩ. එතකොටත් මම සුදුවා ගහනවා”
තරින්ද්‍රාගේ මවගේ අනියම් පෙම්වතා නිසා ඇයගේ ජීවිතයම නරකාදියට ඇද වැටෙන්නේ නොසිතූ ලෙසිනි. මේ නිසා ම ඔවුනගේ ජීවිත අසාර්ථක වේ. මෙම ප්‍රබන්ධය වටා ගෙතුණු මූලික පවුල් දෙකම විනාශවීමට හේතුව අනියම් ප්‍රේම සබදතාවන් ය. අන්ද්‍රයාගේ පියා නර්මදා වන තම මවට ප්‍රේම නොකිරීමෙන් ඇය පියුමාල් වෙතත්, තරින්ද්‍රාගේ මව සුරංග සමඟ පෙම් කිරීමත්, අවසන ඔවුන් දෙපල ධන තණ්හාවෙන් අන්තෝනියෝ ඝාතනය කිරීමත් යන සියලු ව්‍යසනයන් එකෙන් එක සිදුවන්නේ කුටුම්බයේ පවත්නා අන්තර් සබැදියාව ගිලිහී යාමෙන් බව මනාවට සංනිදර්ශනය වේ.
කෘතියේ අවසානයේ දී පංකි ජීවිතයකට හුරුව සිටි තරින්ද්‍රා කැපී පෙනෙන්නේ අනපේක්ෂිත ලෙසිනි. තම මව අන්තෝනියෝ ඝාතනය කිරීම නිසා සිරගත වීමත් සමඟ ම නර්මදා හා තම පියා අතර සිදු වූ අනියම් සබදතා ගැන සියලු විස්තර දැනගන්නා ඇය ඉතා සූක්ෂම ලෙස ලංකාවට පැමිණ තනිව ජීවත්වන නර්මදා ඝාතනය කරන්නී ය. මෙරට ආරක්ෂක අංශවලට පවා කිසිදු තොරතුරක් සොයාගත නොහැකි පරිදි ඇය නර්මදාගෙන් පළිගන්නේ තම මවගේ හා පියාගේ පවුල් ජීවිතයත් තමාගේ ජීවිතයත් විනාශ කළ නිසාවෙනි. නමුදු ඇයගේ පියාගේ සැබෑ ඝාතකයා අන්ද්‍රයා බව දැනගත් තරින්ද්‍රා ඔහු මරණයට පත් කිරීමට වරක් සැළසුම් කළ ද එය අසාර්ථක විය. ප්‍රබන්ධයේ අවසානයේ ඇය ඔහු සොයා එන බව නැවත දන්වන්නේ පාඨකයාගේ සිතෙහි යම් කුකුසක් ඇති කරමිනි.
සුසන්ත මෙහි නිරූපණය කරන තරුණ අන්ද්‍රයාගේ චරිතය බොහෝ සමාජගත තරුණයන්ට ආදර්ශයකි. අන්ද්‍රයාට දැනුම් තේරුම් ඇතිවන වියේ පටන් ඔහු මානසික ඒකාග්‍රතාවයකින් හා මහත් වූ උපේක්ෂාවෙන් සමාජය ගවේෂණය කරන්නට පෙළඹෙයි. ඔහු කිසිවෙකුට වෛර නොකරයි. කිසිවකට ආශා නොකරයි. ජන්මයෙන් ම මහා ධනස්කන්ධයකට උරුමකම් ලැබූමුත් ඔහු ඒවා බොහොමයක් දන් දෙයි. එලෙසම ඔහු ලෝකයට නව සංකල්පයක් බෙදා දෙයි. තම දරුදැරියන්ගෙන් හා මුනුපුරු මිනිපිරියන්ගෙන් ඈත් ව වැඩිහිටි නිවාසවල ජීවත්වන්නෝ බොහෝ වෙත්. එලෙසම මවුපියන් අහිමි දරු දැරියන් ළමා නිවාසවල හුදෙකලා වෙති. ඔහු ‘අන්තෝනියෝ වැඩිහිටි හා ළමා නිවාසය’ ආරම්භ කරන්නේ මේ නිසාවෙනි. එය මෙරට තුළ ස්ථාපිත කළ හැකිනම් එහි යහපත් අතුරු ඵල බහුතරයක් ලැබිය හැකි ය. සුසන්ත මේ ප්‍රබන්ධය හරහා ගෙනහැර දක්වන්නේ තමන්ගේ සිතෙහි හටගත් නව සමාජ සංකල්පයක් යැයි මට හැඟෙයි.
සුසන්ත දන්දෙණිය ගේය පද රචකයකු නිසා ම ඔහු තම ප්‍රබන්ධය තුළ වරින්වර මනරම් කාව්‍යෝක්ති නිරූපණය කරනු ලබයි.
“අහස් සිත්තරුන් වලාකුළු පාට කරන” “කඳුළු ගඟ සිදී ගොස්” “පුරහඳ වලාකුළු අතරින් සැඟව” “සැදෑ හිරු රත් පැහැයෙන් දියට වැදී: “සඳ ගං දිය මත රන්වන් ඉරි අඳිමින්”
කතුවරයා තම ප්‍රබන්ධය සාර්ථක කරගැනීමට චිරන්තන ගද්‍ය සම්ප්‍රදාය ද මෙහි ලා භාවිත කරයි.
“දියෙන් ගොඩට ගත් රඹ කඳක් වැනි වූ වටොර දිය බේරුණ නිතඹ උකුල කවියක් සේ”
ඉහත උදෘතය කියවීමේ දී මට සිහිපත් වූයේ සද්ධර්මලංකාරයේ එන සාලිරාජ කතා වස්තුවේ අශෝක මාලාවන්ගේ රූ සපුව පිළිබඳ කරන වර්ණනය යි. කතුවරයා කෘතියේ වරින් වර ඉපැරණි ගද්‍ය ශෛලියෙන් මවන චිත්ත රූපී අවස්ථා මනරම් ය. එමෙන් ම බොහෝ තැන්හි ඔහු තම චරිත හා අවස්ථාවන් සම්බන්ධ කිරීමේදී භාවිත කරන උපමා උපමේයයන් අගනේ ය. ඊට නිදසුන් කිහිපයක් පහත පරිදි වේ.
“අත් ඉස්සරහට දාලා නිසා තටු විහිදලා වගේ” “ජීවිතෙත් හරියට අහස වගේ” “වාත්තු කළා වැනි රූ සපුව වීනස් දෙවඟනක යැයි සිතෙන තරම්” “අන්ද්‍රයා කෙලින්ම නිල්වන් ඇස් දිහා බලා සිටියා”
කෘතියේ ආරම්භයේ සිට ම අවසානය දක්වා පාඨක මනස කුතුහලයෙන් රසවත් කිරීමත්, විදේශීය රටක සමාජ තත්වයන් අව්‍යාජ ලෙස නිරූපණය කිරීමත්, උපමා, රූපක හා කාව්‍යාත්මක ගද්‍ය බස්වහරක් භාවිතයත්, ඒ තුළින් චිත්ත රූප රූපණය කිරීමත්, මිනිසාගේ ක්‍රියා නිසා ම වැනසෙන මිනිසුන්ගේ ජීවන කතාන්දරයත්, අයාලේ යන තරුණ පරපුර අතර ම වඩාත් ඵලදායි නව සංකල්ප නිර්මාණය කරන තරුණ පරපුරක ආදර්ශයත්, සමාජ ප්‍රජාවේ දියුණුව උදෙසා ඒවා භාවිතයට යොදා ගන්නා අයුරුත් කතුවරයා ප්‍රබන්ධය පුරා විමර්ශනය කරයි. මේ නිසා ම සුසන්ත දන්දෙනිය කතුවරයාගේ “පංකි මනාලි” නම් ප්‍රථම නවකතා ප්‍රබන්ධය ඔහුගේ ඉදිරි ලේඛන මාවත පහන් කරන ආලෝක ධාරාවක් වනු නොඅනුමාන ය.
– අශෝක කුලතුංග.(fb)

Leave A Reply

Your email address will not be published.

twelve + four =