මහා ව්‍යසනය දැන් අත ළඟය

එන්නත ලබා ගැනීම සඳහා සිය ගණනින් පෝලිම් ගැසෙන අපේ රටේ ජනතාව දැන් නම් ඉන්දියානු බියකරු දර්ශන දැකීමෙන් පසුව බියෙන් වේලි ඇති බවක් පෙනේ. මෙය ඇත්තටම සැබෑ බියකි. අපි ඒ බියකරු සිහිනයට ලං වෙමින් සිටින බව පෙනේ.
එන්නත පිට රටින් ලබා ගැනීමේ දුෂ්කර තාවයන් නැවත මතු විය හැකිය. ඇස්ට්‍රා සෙනෙකා දෙවන් මාත්‍රාවට අවශ්‍ය එන්නත් පිටරටින් ලබා ගැනීම අතිශයින්ම දුෂ්කර බව පෙනේ. කිසිම රටක් තමන්ගේ එන්නත් පිට රටකට මේ අවස්ථාවේ දීමට සුදානම් නැති බව පෙනේ. එසේ කරන ඕනෑම රටකට අභ්‍යන්තර දේශපාලන විවේචනයන් මතු විය හැකිය. එමෙන්ම රුසියානු ස්පුට්නික් V නිෂ්පාදනය හිතු තරම් සාර්ථකව වේගයෙන් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පුහුණු තාක්ෂණික පිරිස් ලබා ගැනීමේ දුෂ්කරතාවයක් රුසියාවට ඇතිබව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. සිනොපාම් එන්නතද සිමිත වයස් කණ්ඩායමකට පමණක් සිමා වී ඇත.ෆයිසර් එන්නත ඇනවුම් කර ඇති බව ආණ්ඩුව කිව්වත් තවමත් එය පෙනෙන තෙක් මානයක වත් නැත. එන්නත ලබාගන්නා බවට ඇමතිවරු දිනපතා පයක් ගානේ දෙන පොරොන්දු අසා දැන් දෙකන් දකම්මැලි වී ඇත.
එමනිසා අපේ රටේ ජනතාව ට එන්නත ලබා ගැනීමේ ගැටලුව විසඳිම සහ කළමනාකරණය කිරීම සඳහා මේ ආණ්ඩුවට කොතරම් දුරට හැකියාව සහ සම්පත් ඇතිදැයි යන ප්‍රශනය ගැන සිතා බැලිය යුතුය.ආණ්ඩුව තම තත්වය පැහැදිලි ලෙස තක්සේරු කල යුතුය.රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන්ඔවුන්ගේ ගෙදර තබා සාත්තු කිරීම ඛේධ ජනක ලෙස අසාර්ථක වීමට පුළුවන්.සන්නද්ධ කැරලි තුනක් පසු කරමින් ජිවත්වූ මමත් මගේ පරම්පරාවේ බොහෝ දෙනෙකුගේද ඉරණම බොහෝ විට මේ වසංගතය මගින් විසදනු ඇත.මෙයට සාර්ථකව මුහුණ දීමට ආණ්ඩුව මෙවර අසමත් විය.අප අයත්වන්නේ වඩාත්ම අනතුරු දායක වයස් කාන්ඩයටය.
ආණ්ඩුව සැමවිටම ගත් තීරණයන් ජනතාව ආරක්ෂා කිරීමට වඩා ව්‍යාපාරික අවශ්‍යතා පෙර දැරි කරගත් මායාකාරී තීරණයන්ගෙන් ප්‍රමාද කරනු ලැබිය.මෙය අපේ රටේ ජනතාවට සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවන තත්වයකි.මේ සෑම මරනයකටම ආණ්ඩුව වගකිව යුතුය.ඉතාමත් සාර්ථකව වසංගතය පාලනය කල රටවල් ලෝකයේ ඇති බව මේ ආණ්ඩුවට යම්කිසි කෙනෙක් මතක් කර දිය යුතුව ඇත.
-දයාපාල තිරාණගම (fb)

Leave A Reply

Your email address will not be published.

two × 2 =