කොරෝනා රෝගීන් ගෙදර තියාගෙන රැක බලාගන්න පුළුවන් ද ?

කොරෝනා හදිලා කියලා හඳුනාගත්ත හැමෝම ඉස්පිරිතාලෙ අරගෙන යද්දි හැමෝම අහපු දෙයක් තමයි ඉස්පිරිතාලවල පහසුකමුත් අඩු එකේ ඇයි අපිට බැරි එංගලන්තේ වගේ අමාරු නැති ලෙඩ්ඩුංව ගෙදර තියගන්න කියන එක.
කොරෝනා වසංගතය රටට ආව දවසේ ඉඳලා රට ඇතුලේ  වසංගතය පාලනය කරන්න අපි කරපු වැදගත් ම දෙයක් තමයි ඉක්මනින් ලෙඩ්ඩු හඳුනාගෙන ඒ අය ඉස්පිරිතාල වලට යවපු එක.
ලංකාවෙ එක ගෙදරක් ගත්තොත් ඒ ගෙදර පස් දෙනෙක් විතර ඉන්නවා. මේ වගේ ලෙඩෙක් ගෙදර තියාගත්තොත් ගොඩක් වෙලාවට ඉතුරු හතර දෙනාටත් ලෙඩේ බෝ වෙන එක නවත්තන්න බෑ. ගොඩක් වෙලාවට මේ අතරෙ පොඩි ළමයි, වයසක මිනිස්සු වගේම ගර්භනී අම්මලා ඉන්නවා.
ඒත් ලෙඩා ඉස්පිරිතාලේ යැවුවම මේ අය බේරෙනවා. හැදුනත් හැදුනේ තව එක්කෙනෙකුට විතර.
මේ දේ නොකලා නම් මේ වෙනකොට රටේ වාර්තාවෙලා තියෙන ලෙඩ්ඩු ගාන මේ වගේ හතර ගුනයක් වත් වෙනවා. මරණ ගානත් මීට වඩා වැඩියි. මොකද ගෙවල් වල ඉන්න වයසක මිනිස්සු ගොඩකට මේ වෙනකොට ලෙඩේ හැදෙන්න තිබ්බා.
පහු ගිය දවස් කීපයක් ලෙඩ්ඩුන්ව ඉස්පිරිතාලෙ නොයවා ගෙදර තියාගන්න වුනු එකෙන් කොයි තරම් ලෙඩ්ඩු ප්‍රමානයක් අපි වැඩිකරගත්තද කියන එක හොයල බැලුවනම් මේ කාරණාව තේරුම් ගන්න පුළුවන්.
එහෙනම් එංගලන්තෙ වගේ රටවල් මෙහෙම කලේ ඇයි ?
බෝවෙන ලෙඩක් තියෙන ලෙඩෙක් ගෙදර තියන්න තව ගොඩක් පහසුකම් ඕන වෙනවා. ලෙඩාට ඉන්න වෙනම කමරයක් , වෙනම නාන කාමරයක්, වගේම සෞඛ්‍ය පුරුදු ගැන හොඳ දැණුමක්.
ඒ වගේම ලෙඩෙකුට අමාරු වුණාම ඉක්මනින් එතනට ගිහින් ප්‍රතිකාර කරන්න පුළුවන් හොඳ හදිසි ප්‍රතිකාර සේවයක්.
මොකද කොවිඩ් ලෙඩෙකුට අමාරු වෙනවා කියන්නේ බඩ රිදෙන්න ගන්නවා කියන එක නෙවෙයි, හුස්ම ගන්න අමාරු වෙනවා කියන එක. ඒක වෙන වෙලාව අපි හරියටම දන්නෙ නෑ.
අපේ රටේ ගොඩක් නිවාස තියෙනවා නාන කාමර දෙකක් තියා එක වැසිකිළියක් වත් නැති. ගොඩක් වතු නිවාස වල තියෙන්නේ පොදු වැසිකිළි. මුළු පවුලම නිදාගන්නේ බිම පැදුරක් දාල පෝලිමට. හදිස්සියකට ඉස්පිරිතාලෙකට නෙවෙයි ළඟම තියෙන වාහනය ලඟට සෑහෙන දුරක් පයින් යන්න වෙන.
මේ දේවල් දකින්න නම් අයිස් කාමර වලින් එළියට බැහැලා නගරයෙන් ටිකක් එළියට යන්න වෙනවා.
බෝවෙන ලෙඩක් කියන්නේ ඒක වැඩිපුර හැදෙන්නේ දුප්පත් , පහසුකම් අඩු ., අධ්‍යාපනය අඩු , ගෙවල් වල ඉඩ පහසුකම් අඩු මිනිස්සුන්ට. ඒ නිසා ඒ ගැන ගන්න හැම තීරනයක්ම ඒ මිනිස්සු ගැන හිතලා ගන්නවා නම් හොඳයි.
ලොකු අමාරුවක් නැත්නම් ඉස්පිරිතාලේ ඉන්න වෙන දවස් දහය අඩු පහසුකම් යටතේ හරි ගෙවන එකේ වාසි ගොඩක් තියෙනවා. වැදගත්ම දේ ගෙදර අයට ලැබෙන රැකවරණය. දෙවනි එක කොයි වෙලාවේ අමාරු වෙයි ද කියලා දන්නෙ නැති ලෙඩෙක් ට අමාරු වුණාම ඔක්සිජන් ටිකක් හරි ළඟ තියෙන එක.
සරලවම කියනවා නම් මුළ ඉඳන් ම ලෙඩ්ඩු ගෙවල් වල තිබ්බා නම් මේ වෙනකල් ඉස්පිරිතාලෙදි අමාරු වෙලා බේරගත්ත ගොඩක් දෙනා මේ ලෝකෙ නෑ.
ඔබ ඉස්පිරිතාලෙ ගිහින් කිසිම අමාරුවක් නොවී ගෙදර ආපු කෙනෙක් ට ” අපරාදෙ ගෙදරට වෙලා හොඳට ඉන්න තිබ්බා කියලා හිතෙන්න පුළුවන්. ඒ බැරිවෙලාවත් ගෙදර ඉන්නකොට එයාට අමරු වුණා නම් මොකද වෙන්නෙ කියලා එයාට තේරෙන්නෙ නැති නිසා.
පපුව රිදෙනවා කියලා කෝල් එකක් දුන්නම ගේ ඉස්සරහ හෙලිකොප්ටරයක් නවත්තලා ඒකෙන් හදිසි ප්‍රතිකාර ඒකක බැහැලා එන රටවලුයි ලෙඩෙකුට අමාරු වුනාම එහා ඉවුරෙ තියෙන පොඩි ඉස්පිරිතාලෙට ගෙනියන්න මෙහා ඉවුරට වෙලා ගඟේ අවතුර අඩු වෙනකල් බලාගෙන ඉන්න වෙන රටවලුයි කියන්නේ ජාති දෙකක්.
ගෙදර නවත්තලා ඉන්න කොරෝනා හැදුන ඔබේ අම්මට රෑ මැද හුස්මගන්න බැරි වුණාම ඔබ මොකද කරන්න හිතාගෙන ඉන්නේ ?
නිරෝධයනය වෙන එක්කෙනෙක් ගෙදර ඉන්නකොට එයාගෙ දරුවට ඉස්කෝලෙ එන්න නොදුන්න රටක කොවිඩ් ලෙඩෙක් වාහනේඅ දාගෙන ඉස්පිරිතාලෙ ගෙනියන්න කී දෙනෙක් කැමති වෙයි ද ? මේ දේවල් දකින්න නගරයෙන් පිට ඇවිදලා බලන්න ඕන.
මේ වැඩේට ලොකු පහසුකම් ඕනෙ නෑ. ලෙඩ්ඩු ටික ගෙවල් වලින් වෙන් කරලා තියාගන්න වෙනවා. අමතරව ඕන කරන්නේ කෑම සහ වැසිකිලි පහසුකම්. අලුතෙන් ගොඩනැගිලි හදන්න බෑ. දැනට තියෙන ගොඩනැගිලි පාවිච්චි කරන්න වෙනවා. පාසල් , නේවාසිකාගාර මේ වගේ ඕනෙම එකක්.
මොකද අමතර එක ලෙඩෙක් කියන්නේ තව ආශ්‍රිතයො ගොඩක්. ඒ කියනේ තව පි සී ආර් පරීක්ෂණ ගොඩක්. ඒ වියදම ලෙඩෙකුට කන්න බොන්න දෙන වියදමට වඩා ගොඩක් වැඩියි.
අඩුම තරමේ ලෙඩෙක් හොයාගත්තාම ගෙදර පහසුකම් අනුව වත් එයා ගෙදර තියාගන්නවද නැද්ද කියන එක තීරණය කරනවා නම් හොඳයි.
කරන්න ම දෙයක් නැත්නම් හැම ගමේම තියෙන පන්සල් පල්ලි වගේ ආයතන වල හරි ඒ ගමේ ලෙඩ්ඩු ටික තියාගන්න පුළුවන් නම් ඒත් වටිනවා.
ලෙඩෙක් ගෙනියන්න වාහණයකුයි හදිස්සියට ගන්න ඔක්සිජන් ටිකකුයි එක්ක.
– වෛද්‍ය  නුවන් තොටවත්තගේ fb පිටුවෙන් 

Leave A Reply

Your email address will not be published.

eighteen − 15 =