සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ…

සිව්සිය ගණන් දුර දුරාතීතයේ දී මානවයා සහ සොබාදහම අතර පැවැතුණේ හුදෙක් ලේ බැඳීම් පවා අතික්‍රමණය කළ මහ අපූරු සබැඳියාවකි. මන්ද, දෙමාපියන්ගෙන් ජීවය ලද සිය ප්‍රාණය මියෙන තෙක් ඉක්බිති සුරකිනුයේ සොබාදහම ම බැව් ඔවුන් මැනැවින් හඳුනාගෙන සිටිය බැවිනි. ඉදින් මවුපියන්ගෙන් ප්‍රාණය ලද මිනිස් ජීවිතය ඉක්බිති සොබාදම් දෝතට ගෙන අවසන් හුස්ම පොදත් හිස් අවකාශයට මුසුවෙන නිමේෂය තෙක් ම ඇය අපව සුරක්ෂා කරන්නී ය; ජීවය පුදන්නී ය; හුස්ම බෙදන්නී ය; නේකවිධ දුක්ගැහැට උහුලන්නී ය. හමන මඳ පවන සේ, ගලා හැලෙන හිරු, සඳ කිරණ සේ සීමා මායිම්, පවුරු බාධක නොතකමින් විශ්වීය මානව වර්ගයාට ම එකලෙසින් සෙනෙහෙ පුදන්නී ය. මේ බැව් මැනැවින් හඳුනාගෙන සිටී ආදි අපේ මුතුන්මිත්තෝ සිය දිවිය සුරකින සොබාදහම තම දිවිය පරදුවට තියා රැකගත්තෝ ය. එහිලා ඉතිහාස පොත් පත් ඉරු සාක්ෂි දරන්නේය.

රතු ඉන්දියානු නායක සියැටල්ගේ ප්‍රකාශය එහිලා නිහඬව සාක්ෂි සපයන බැව් අරුමයක් නොවේ. ඔහු සොබාදහමේ වූ සියල්ල සලකන ලද්දේ  ඥාතිත්වයෙනි. එමෙන් ම අද්‍යතනයේ දී පවා අපගේ ආදිවාසී නායක, ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පවත්නා පාලන තන්ත්‍රයෙන් දෝත් නඟා අයැද සිටියේ, අන් කිසිත් නොව සිය ජීවය සුරකින පරිසරය රැක දෙන ලෙසයි; වන සංහාරය නවතන ලෙසයි. (මහත්තයෝ අපිට ලු‍ණු කැටයක්වත් එපා මේ පරිසරය රැකදෙන්න.) එමෙන් ම දුරාතීතයේ දී අත්‍යවශ්‍ය ම අවස්ථාවක දී ගසක් කපන්නට සිදු වූ විට පවා එහි හිස් තැන පිරවීමට එවැනි ගස් දහයක් රෝපණය කිරීමට ඔවුහු කටයුතු කළෝ ය.

වැපිරූ දෙයට අස්වැන්න සමස්ත මානව වර්ගයාට ලැබී තිබේ. තල වපුරා මුං බලාපොරොත්තු විය නොහැකි සේ වැපුරූ ලෙස ම අස්වැන්න ද ලැබී තිබේ. ඔක්සිජන් කෑමට නොව ජීවත් වීමට අවැසි ම බැව් ඇස් අද්දර සනාථ වී තිබේ. සොබාදම පොලිතීන්වලින් වැසූ වරදෙහි ප්‍රතිවිපාකය විසින් ම අද සකලවිධ මානව වර්ගයා පොලිතීන්වලින් ආවරණය කොට තිබේ. හුස්ම දුන් වරදට රහසේ ම නොඑනා ගමන් ගිය විසල් වනස්පතීන්ගේ මළගම සේ ම අද්‍යතන මානවයෝ ද අවසන් බුහුමන් කිසිවක් නොමැති මළගම් යමින් සිටිති.

එනමුත්, අවාසනාවට ඇත්ත කතාව නම් අද්‍යතනයේ දී ඇතැමුන් විසල් වනස්පතීන් දහස් ගණනින් අවසන් ගමන් යැවුව ද, එකදු ගසක් වුව රෝපණය කිරීමට කටයුතු නොකිරීමයි. දුරාතීත සමාජ සංස්ථිතියෙහි පැවැති මානව දයා සහානුකම්පිත, ළතෙත් සිතැඟියාවන් නව්‍යතන සමාජයෙන් දුරස්ථ වීම ද ලාංකේය ජාතියේ රික්තකයකි. මොනර නෝට්ටුවලින්, ඩොලර්වලින් පිරවිය නොහැකි රිදුම් පිරි රික්තකයකි.

එහෙත්, අද්‍යතනය සාකල්‍යයෙන් ම උඩු-යටිකුරුව තිබේ. නූතන බොහෝ මානවයන් කටයුතු කරනුයේ, හුදෙක් ස්වකීය සුඛවිහරණය උදෙසා ම පමණි. නූපන් අනාගත පරපුර ඔවුන්ට අමතකව ගොස් ඇත. රටේ හෙට දවස ඔවුන්ට අවැසි නොවේ. එහෙයින්, සිය මැඳුරෙහි මහේශාක්‍ය ලීලාව පෙන්වීමට දිය උල්පත් රැසක් උපදවන මව්වත්කම වන විසල් කුඹුක් තුරු රහසේ ම අවසන් ගමන් යැවීමට තරම් ඔවුහු සැහැසි වී ඇත. එතෙකුදු නොව ආසියාවේ ආශ්චර්යය පෙන්වීමට සිදු කරනු ලබන සංවර්ධන ක්‍රියාවලිය ද බොහෝ විට පරිසර හිතකාමී නොවේ. ඒ සියල්ලට ම වන්දි ගෙවනුයේ, තුන්තිස් පැයේ ම නිහඬව නොනිමි මෙහෙවරක් කරන සොබාදහමයි. හුස්ම බෙදූ වරදට, මිනිසාට ජීවය දුන්න වරදට ඇගේ  ඥාතීන් අද අවසන් ගමන් ගොස් ය. තව පිරිසක් සිංහරාජයේ, විල්පත්තුවේ අවසන් සුසුම් හෙළමින් සිටිති.

සෙවණ දුන් ගසේ පත් සිඳලීම, ලද උතුම් මිනිසත්කමට දෙන නිගාවකි. අවසන වැපිරූ දෙයට අස්වැන්න සමස්ත මානව වර්ගයාට ලැබී තිබේ. තල වපුරා මුං බලාපොරොත්තු විය නොහැකි සේ වැපුරූ ලෙස ම අස්වැන්න ද ලැබී තිබේ. ඔක්සිජන් කෑමට නොව ජීවත් වීමට අවැසි ම බැව් ඇස් අද්දර සනාථ වී තිබේ. සොබාදම පොලිතීන්වලින් වැසූ වරදෙහි ප්‍රතිවිපාකය විසින් ම අද සකලවිධ මානව වර්ගයා පොලිතීන්වලින් ආවරණය කොට තිබේ. හුස්ම දුන් වරදට රහසේ ම නොඑනා ගමන් ගිය විසල් වනස්පතීන්ගේ මළගම සේ ම අද්‍යතන මානවයෝ ද අවසන් බුහුමන් කිසිවක් නොමැති මළගම් යමින් සිටිති.

ඉදින් සයිබර් අවකාශයේ නිම්හිම් පෘථුල කළ ද, ගෝලීයකරණය, නාගරිකකරණය, තාක්ෂණික විසල් ප්‍රාතිහාර්යයන් යනාදිය අබියස ලෝකය ම තනි යායක් වුව ද, අත්‍යන්තයෙන් ම සොබාදම අභියස අපි අදටත් ළදරුවන් වෙමු. කවුරුන් කෙලෙස කුමක් සිතුව ද  දුර ඈත සඳ තරණය කළ ද, සොබාදමෙන් ජීවය ලද අපට කිසිදා කිසිවිටෙක සොබාදම අභිබවා යා නොහැකි ය. එලෙස සිතීම පවා හිතලු‍වකි. මැක්සිම් ගෝර්කිගේ ප්‍රකාශයෙන් ද එය ප්‍රතීත ය. සැබැවින් ම මෙදියත නිමවන්නේ ම මවු කිරෙන් සහ හිරු එළියෙනි. ඉදින් මවගෙන් ලද දිවියට ඉක්බිති පණ පොවන්නේ ම, හුස්ම බෙදන්නේ ම දෙවැනි මවු වන සොබාදම් මෑණියයි. එහෙයින්, ‘සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නොමැති’ බැව් අරුමයක් හෝ සත් පාට ගෑ ෆැන්ටසියක් නොවේ, ඇස්මානයේ ම සිත්තම් වන සැබෑ ම යථාර්ථයකි.

අයේෂා කුමාරි කළුබෝවිල
කැලණිය විශ්වවිද්‍යාලය

 

 

 

 

Leave A Reply

Your email address will not be published.

8 + fourteen =