ආයුබොවන්ඩ කිංසිලි,

ටැලිවිසෝන් රේඩියෝවලින් අපේ හුර්දය වස්තුවටම ආමන්තරණය කොරපු කිංසිලි ළමයව ලොකු පොරක් කොරලා සෑර්ගෙ මාද්දිය පොරකාසක තානාන්තරේට පත්කොළ විත්තිය අහන්ඩ ලැබුණා. අපේ සුපර් ඉස්ටාර්ගෙ අලුත් වැඩකිඩ බලන්න කඩපිලෙයි, හේන් කුඹුරුවලයි, පැක්ටරි-, ඔපිස්-, ගාමන්ට් වගේ හැම තැනකම කස්ටිය රේඩියෝ- ටැලිවිසොන් වටේ රොක්වෙලා බලං උන්නා ඒ පොවුර්තිය අහපු වෙලේ හිටංම. පහුගිය කාලේ අඳුරු තැන් ඉස්පර්ස කොරමින් තිත්ත ඇත්ත වගේ බොහොම වටිනා කරුණු කාරණා අපට තේරුන් බේරුන් කරලා දුන්නෙත් ඉතිං ඔය දරුවමනෙ.

එහෙව් හපන්කම්වලින් මාද්දිය සඟිස්කුරුතියට මාර ගැම්මක් දීපු කිංසිලි ළමයා අපේ සෑර්ගෙ පරිතිරූපෙද මොකක්ද කියන එක ටොපේ ටොප් එකටම නග්ගල ගනියි කියලයි අපි ඇස්වල කබ කඩ කඩා බලාගෙන උන්නේ.

අටුවා ටීකා ටිප්පනි මක්කටද.. පීල්ලද වැදගත්- කෝච්චියද වැදගත්.. වගේ වාක්කිය රචනාත් එක්ක ඇසි-දිසි මාද්දියේ මී පැනියෙන් අපේ කන් පුරවපු කිංසිලි ළමයාගේ වගේම අර්ත සාස්තර සූප සාස්තර ආදි හැම සූස්තරයකින්ම චක්කරවර්තියෙක් හැටියට පොරසිද්ද සුදේව බෑයාගේ සුසංයෝගයෙන් සෑර්ගේ පරණ මාද්දිය ආකුරිතිය උඩු යටිකුරු වෙනවා සහතිකයි කියලත් අපි ඔට්ටු පිට ඔට්ටු ඇල්ලුවා ආයිබොවන්ඩ.

හා හා පුරා කියලා කිංසිලි ළමයා අපේ සෑර් වෙනුවෙන් පවත්තපු මාද්දිය සංදර්සනේ නරඹන්න අවස්තාවක් උදා වුණේ අපි උඹේ හපන්කං බලන්ඩ පුල පුලා ඉන්නකොට තමා. කිංසිලි කොලු පැටියාගේ මාද්දිය පෙරළියේ කූටප්පාත්තිය බලන්ඩ පෙරුම්පුරාගෙන උන්නු අපිට අහන්න- දකින්න ලැබුණේ නං නිකං සුරුස් ගාලා බැලුන් බෝලෙක හුළං බහිනවා වගෙ සද්දයක් විතරයි. විසි අට අවුරුද්දක් තිස්සේ ගුවන සිසාරා රැව් දුන්න අපෙ මීඩියා කිංගේ වැඩ කිඩවලට මක්ක වුණාද කියල හිතාගන්ඩ බැරුවයි දරුවෝ අපි මේ විස්සෝප වෙලා ඉන්නේ.

අපේ සෑර් අර ලෝක සවුක්කිය සංවිදානෙද මොකේද පොරකට ටැලිපෝන් කොරලා චීන මහප්පලා තෑගි කොරපු ඉන්ජැක්සොන් එක විදින්ඩ අවසර ගත්තය කියනකොට නං අපිට හොඳටම තේරුණා ඒ වෙලාවේ කිංසිලි ළමයා හිටියේ හොඳටම බයවෙලා වගේ බව. අනේ දරුවෝ මෙච්චර කාලයක් අපිත් එක්ක බොහොම තන්තෝසෙන් හිනාවෙලා විනෝද කතා කිය කියා හිටපු අර කටකාර කොලු පැටියාට සිද්දවුණ මේ අපරාදෙ මොකක්ද? මාද්දිය ඔස්තාර්ලය කියල පුම්බගෙන හිටපු කාඩ්බෝඩ් වීරයන්ගේ හුළං බස්සලා රටේ මාද්දිය සඟිස්කුරිතියට අලුත් හැඩයක් දුන්නය කියන අපේ කොලු පැටියාට මේ විපැත්තිය වුණේ පූරුවෙ කරුමයක්වත් පළ දීලද කියලයි එදා උඹ ටැපලි ටැපලී දොඩපු වෙලාවේ හිටංම අපි ඉහේ අත් ගහගෙන කල්පනා කොරන්නෙ.

මක්කවුණත් පැටියෝ ඊළඟ වතාවේ වාක්කිය රචනාව කියවන කොටවත් පහුගිය

වතාවට වඩා හොඳට පාඩන් කොරගෙන වරෙන්. උමට අනුං ලියාදෙන ඒවා කියවන්ඩ ටිකක් අමාරු බව අපි දන්නවා. ඒක හන්දා ඒ වැඩේට උඹට වඩා දස්ස සුදේව බෑයාටම ඔය වැඩෙත් බාර දීලා උඹ ආයෙමත් පරණ පුරුදු රස්සාවටම ආවොත් නරකද? මාද්දිය මුදලාලිලත් එක්ක හුරතල් වෙනවා වගේනෙ මේ දරුවෝ සෑර්ලගෙ මඩ හෝදන එක. කිංසිලි ළමයාට ආදරේ කරන කොල්ලො කෙල්ලො මේ දවස්වල බුකියට දාන පෝසුටු දැක්කම අපේ බඩ පපු දනවා බං. දේවදාර ගස් දරට කැපෙන එක අහස පොළව නුහුලන අපරාදයක් කියලයි උං කියන්නේ. ටයි කෝට් දාගෙන රජ බොජුන් බුක්ති වින්දත් උඹ වැඩ කොරන්නේ දේසපාලන ලොන්ඩරියක බව අමතක කරන්න එපා කිංසිලි ළමයෝ●

විශ්ව මිත්‍ර
Leave A Reply

Your email address will not be published.

twenty − fourteen =