ජනතාවට මාරාන්තික විහිළු…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය 12දා සිට 31දා දක්වා ‘අන්තර් පළාත් ගමනාගමනය සීමා කිරීම හා අවසර ලත් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය’ යන තේමාවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබූ අතර, එය සෑම මාධ්‍යයකින්ම ප්‍රචාරය කෙරිණි. ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවන් 07ක් නම් කර තිබූ අතර, සෑම දිනකම රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා කිසිදු සංචරණයකට අවසර නොදෙන බව දක්වා තිබිණි. එසේම අත්‍යවශ්‍ය නොවන කරුණු සඳහා ජාතික හැඳුනුම් පතේ අවසන් අංකය (ඔත්තේ, ඉරට්ටේ) අනුව බැහැර යා හැකි ක්‍රමයක් ද ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මැයි 13 වැනිදා රාත්‍රී 11.00 සිට මැයි 17 වැනි සඳුදා අලුයම 4.00 දක්වා දිවයිනටම බලපැවැත්වෙන අයුරින් සංචරණ සීමා පැනවෙන බවයි. එහිදී සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනයේ කරුණුද පොලිස් මාධ්‍ය ප්‍රකාශයේදී සඳහන් කෙරිණි.

ඉහත තීරණ දෙකම එකවිට ප්‍රකාශයට පත්වෙද්දී එය අසන්නන් තුළ විශාල පටළැවිල්ලක් ඇති කරනු ලැබීය. බොහෝ දෙනා තේරුම් ගත්තේ 14, 15, 16 දිනවලද හැඳුනුම් පතේ ක්‍රමයට බැහැර යා හැකි බවය. එම දින තුනේ සංචරණ සීමා මොනවාදැයි කිසිවකුට පැහැදිලි වූයේ නැත. මෙසේ ඇතිවූ ව්‍යාකූලතාව නිරවුල් කිරීමට තවත් මාධ්‍ය හමු කිහිපයක්ම පැවැත්වීමට පොලීසියටත් අදාළ බලධාරීන්ටත් සිදුවිය. එය සමාජ මාධ්‍ය ජාලා තුළ මහත් උපහාසයට ලක්වනු දැකිය හැකි විය. මෙතරම් සරල ක්‍රියාමාර්ගයක්වත් පැහැදිලිව ඉදිරිපත් කිරීමට නොහැකි තරම් ආණ්ඩුවක් දුර්වල වී තිබීම බරපතළ තත්ත්වයකි. මෙමඟින් ආණ්ඩුව තුළ තිබිය යුතු ඒකමිතිය බිඳවැටීමේ ප්‍රමාණය පෙන්නුම් කෙරේ.

කොවිඩ් වසංගතය මර්දනය අවුලෙන් අවුලට පත් කරගත් එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් මෙන්ම ලංකාවේත් සිදු නොවූයේ එයමය. අප රට දූපතක් ලෙස භූගෝලීයව ස්වාභාවික ආරක්ෂාවක්  තිබියදීත්, විශාල සම්පතක් වූ නිදහස් සෞඛ්‍ය සේවා යාන්ත්‍රණයක් තිබියදීත් අප මෙතරම් බරපතළ ලෙස වසංගතයට ගොදුරු වූයේ පැහැදිලි ලෙසම අනුගමනය කළ ක්‍රියාවලියේ වැරැදි, දුර්වල, අරාජික ස්වභාවය නිසාවෙනි. සෞඛ්‍ය ප්‍රශ්නය ගැන කිසිදු අවබෝධයක් නැති මිලිටරි අංශ මත සියල්ල තීරණය වීම නිසාය.

ජනාධිපතිවරයාට සියලු බලය කේන්ද්‍ර වී ඇති වත්මන් ආණ්ඩුව විටෙක එක්තරා ආකාරයක ඒකාධිපතිත්වයක් නිරූපණය කරයි. ඒ වෙනුවෙන් වු මිලිටරිකරණ ක්‍රියාදාමයක් ආණ්ඩුවේ යාන්ත්‍රණයට ආදේශ කරමින් තිබේ. එසේ වුවත්, එකවිට එක තීරණයක් නිවැරැදිව ගැනීමට නොහැකි තරම් මේ යාන්ත්‍රණය දුබලය. මිලිටරිකරණයෙන් රටක් පාලනය කළ නොහැකි බවට මීට වඩා උදාහරණ අවශ්‍ය නැත.

බරපතළ වසංගත තත්ත්වයකට ලෝකයත්, අප රටත් මුහුණපා සිටින මෙවන් මොහොතක අවශ්‍ය වැදගත්ම කරුණක් වන්නේ සියලු පාර්ශ්වයන්ගේ සාමුහික අවබෝධය හා ක්‍රියාකාරිත්වයයි. විශේෂයෙන් මෙවන් වාතාවරණයකට මුහුණ දීමේදී සෞඛ්‍ය අංශ, වසංගත රෝග විශේෂඥයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මුල්කොටගත් සාමුහික යාන්ත්‍රණයක් අවශ්‍යය. දේශපාලන අධිකාරිය තීන්දු තීරණ ගත යුත්තේ ඒ මතය. කොවිඩ් වසංගතය මර්දනය අවුලෙන් අවුලට පත් කරගත් එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් මෙන්ම ලංකාවේත් සිදු නොවූයේ එයමය. අප රට දූපතක් ලෙස භූගෝලීයව ස්වාභාවික ආරක්ෂාවක්  තිබියදීත්, විශාල සම්පතක් වූ නිදහස් සෞඛ්‍ය සේවා යාන්ත්‍රණයක් තිබියදීත් අප මෙතරම් බරපතළ ලෙස වසංගතයට ගොදුරු වූයේ පැහැදිලි ලෙසම අනුගමනය කළ ක්‍රියාවලියේ වැරැදි, දුර්වල, අරාජික ස්වභාවය නිසාවෙනි. සෞඛ්‍ය ප්‍රශ්නය ගැන කිසිදු අවබෝධයක් නැති මිලිටරි අංශ මත සියල්ල තීරණය වීම නිසාය. පසුගිය 12දා ගත් තීරණ ගන්නට තිබුණේ ඊට මාසයකටත් පෙර බව සෞඛ්‍ය අංශ දිගින්දිගටම පෙන්වා දී තිබිණි.

පිළියන්දල ප්‍රදේශයේ තත්ත්වය බරපතළ වීම නිසා සෞඛ්‍ය අංශ එය වසා දැමීමට නිර්දේශ කළ විට ගාමිණී ලොකුගේ ඇමතිවරයා සිය බලය යොදා එය විවෘත කළේය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී උදය ගම්මන්පිල ඇමතිවරයා පළමු හා දෙවන මාත්‍රාවන් සඳහා එක් අයකු වර්ග දෙකක එන්නත්  ලබාගැනීම ගැටලුවක් නොවන බව සඳහන් කළේය. ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයට සූම් තාක්ෂණය ඔස්සේ කතා කර චීන එන්නත සඳහා අනුමැතිය ලබා ගත් බව ජනාධිපතිගේ නව මාධ්‍ය ප්‍රකාශක පැවසුවේය. විශේෂඥ කමිටුවකින් ප්‍රතික්ෂේප කළ ධම්මික පැණිය තවමත් වලංගු බව සිසිර ජයකොඩි ඇමතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කළේය. ආණ්ඩුව කොතරම් බංකොළොත් දැයි වටහා ගැනීමට මෙවැනි සිදුවීම් අතිවිශාල ප්‍රමාණයක් ගෙනහැර දැක්විය හැකිය. මේවා විටෙක ඉල ඇදෙන විහිළුය. එහෙත් ප්‍රශ්නය වන්නේ ඒවා ජනතාවට මාරාන්තික විහිළු වීම නිසාය●

Leave A Reply

Your email address will not be published.

nineteen + seven =