“රනිල් – මෛත‍්‍රී ගෙනා කොතලාවල පීඨ පනතේ අකුරක්වත් වෙනස් නොකර මේ ආණ්ඩුව ගෙනත්”

රනිල් – මෛත්‍රී ප්‍රමුඛ පසුගිය යහපාලන ආණ්ඩුව විශ්වවිද්‍යාල සිසුන්ගේ හා ආචාර්යවරුන්ගේ විරෝධය හමුවේ ගෙන ආ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත කිසිදු වෙනසකින් තොරව මේ ආණ්ඩුවද ගෙනත් ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය පවසයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මෙම පනත් කෙටුම්පත මගින් මෙරට නිදහස් අධ්‍යාපනයටත් මෙරට රජ්‍ය සේවයටත්, විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සිදු කරනු ලබන ආචාර්යවරුන්ටත් ඇතුළුව අනාගතයේ උසස් අධ්‍යාපනය ලැබීමට සිටින දරුවන්ට බරපතළ අසාධාරණයක් අගතියක් සිදු වන බව එතුමිය පවසනවා. ජාතික ජන බලවේගය මෙම කරුණු හෙළිදරව් කරනු ලැබුවේ අද (14) දින කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

එම මාධ්‍ය හමුවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නයක යන අයද මීට එක් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය පැවසුවේ,

“කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය පිළිබඳව ජාතික ජන බලවේගයේ ස්ථාවරය පැහැදිලි කරන්න මෙම මාධ්‍ය හමුව අන්තර් ජාලය ඔස්සේ පවත්වනව. 2018 මේ සම්බන්ධයෙන් පනතක් ඉදිරිපත් වන විටත් විශ්වවිද්‍යාල ප‍්‍රජාව ඇතුළු බොහෝ අය විසින් එල්ල වූ විරෝධය නිසා පැවති ආණ්ඩුවට එය හකුලා ගන්න සිදුවුණා. මේ පනතේ තිබෙන භයානක කරුණු අකුරක්වත් වෙනස් නොකර වර්තමාන ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

මෙහි ප‍්‍රධාන ගැටලූ 03ක් අපි දකිනවා. උසස් අධ්‍යාපනය විකෘතිවීම, උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සහ උසස් අධ්‍යාපනය මිලිටරීකරණය වීම ඒ ප‍්‍රධාන ගැටලූ තුනයි.
උසස් අධ්‍යාපනය මේ පනත තුළින් විකෘති වෙන්නේ කොහොමද? මේ වෙනකොට රජය පවත්වාගෙන යන උසස් අධ්‍යාපනයේ පාලනය, තත්ව නියාමනය, වැනි දේ සිදුකරන්නේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන්. නමුත් මේ අලූත් පනත හරහා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට වඩා බලයක් තිබෙන ව්‍යූහයක් මේක තුලින් නිර්මාණය කෙරෙනවා. මේ ව්‍යූහය විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට සමගාමීව ක්‍රියාත්මක වන ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කෙරෙන ව්‍යූහයක්. රාජ්‍ය විශ්වවිද්‍යාලවල පීඨ සභා, සනාථන සභා, පාලක සභාව සහ ඊටත් ඉහළින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම තියෙනවා. සියල්ල පාලනය වෙන්නේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවෙන්. අලූත් පනතෙන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය පාලනය කරන්න මණ්ඩලයක් යෝජනා කරනවා. ඒ මණ්ඩලයට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට එහා ගිය බලතල රාශියක් ලැබෙනවා. මේ මණ්ඩලය ප‍්‍රධාන වශයෙන් ත්‍රිවිධ හමුදාවල නියෝජනයක්, අමාත්‍යාංශයේ් නියෝජනයක් තිබෙන අතර උසස් අධ්‍යාපනය පිළිබඳ විශේෂඥයන් නියෝජනය වෙන්නේ නැහැ.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙන් පිට ඒ යටතේ වෙනත් උසස් අධ්‍යාපනය ආයතන පිහිටුවන්න සහ උපාධි ලබාදීමේ බලතල මේ මණ්ඩලයට හිමිවෙනවා. තත්ව පාලනය, උසස් අධ්‍යාපන නිර්ණායක, ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීම, විභාග පැවැත්වීම, ආදී සියල්ල මේ මණ්ඩලයට පැවරෙනවා. මේ මණ්ඩලයට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සහ මහා භාණ්ඩාගරයෙන් නියෝජිතයන් දෙදෙනෙක් නාමිකව පත්කිරීමේ අවස්ථාව විතරක් තියෙනවා. නමුත් තීරණාත්මක වෙන්නේ ත්‍රිවිධ හමුදා නියෝජියන් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජිතයන්. උසස් අධ්‍යාපනයේ සංස්කෘතිය, ගුණාත්මකභාවය, අධ්‍යාපන දර්ශනය වැනි දේවල් ගැන මේ අයට කිසිම අවබෝධයක් නැහැ. අනික් පැත්තෙන් විෂය ධාරාවන්ගේ ගුණාත්මකභාවය තීරණය කරන විශේෂඥයන් ඉන්න ඕනෑ. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අදාල විෂය ධාරාවන් ගැන ස්ථාවර කමිටු පිහිටුවා තිබෙනවා. එවැනි කමිටු අලූත් පනතින් යෝජනා කර නැහැ. මේ ව්‍යුහය තුළ එවැනි විෂය ධාරාවල ගුණාත්මක වර්ධනයට අවස්ථාවක් නැහැ. හුදෙක් කළමනාකරණ ව්‍යූහයක් විතරයි තියෙන්නේ. උසස් අධ්‍යාපන ආයතන කියන්නේ ව්‍යාපාරයක් නෙවෙයි. වෙනම සංස්කෘතියක් තියෙන අනන්‍යතාවයක්.

එයට පත් කරන මේ කලමනාකරණ ව්‍යූහයම අවුල්සහගතයි. උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය රඳා පවතින මූලධර්ම කිහිපයක් තිබෙනවා. අධ්‍යාපනය ලැබීමේ නිදහස, ශාස්ත්‍රීය ගවේෂණ සඳහා අධ්‍යයන නිදහස, මූලික කරගත් මූලධර්ම පද්ධතියක් තියෙනවා. දැනට පවතින උසස් අධ්‍යාපන පද්ධතිය තුළත් මූලධර්මයට සිදුකෙරන හානිය ගැන විශාල සාකච්ඡාවක් ඇතිවී තිබෙනවා. මේ පනතින් යෝජනා කරන විශ්වවිද්‍යාල ව්‍යුහය තුළ ඒ ගැන කතා කරන්න කිසිම අවස්ථාවක්වත් නැහැ. මෙය ඉතාමත්ම අනතුරුදායක දෙයක්. අපේ රටේ උසස් අධ්‍යාපනය විශ්වවිද්‍යාල කොමසම හරහා කරගන්න බැරිවූ විකෘතියක් මේ ප‍්‍රවේශයෙන් සිදුවෙනවා. මේ රටේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපනය ගැන යම් හෝ දෙයක් ආරක්‍ෂා කරගන්න තිබුණා නම් යෝජිත ව්‍යූහයෙන් ඊට විශාල හානියක් සිදුකෙරෙනවා.

උසස් අධ්‍යාපනය මිලිටරිකරණයට ලක්වීම ත්‍රිවිධ හමාදා නිලධාරීන් පත්කිරිමෙන් සිදුවෙනවා. ආරක්‍ෂක අංශ වෙනුවෙන් උසස් අධ්‍යාපනය ලබාදීමට තිබෙන අයිතිය අපි පිළිගන්නවා. ඒ අධ්‍යයන කටයුතු සඳහා අදාළ අමාත්‍යාංශය විසින් යම් ආකාරයක ආයතන පිහිටුවීම ගැන අපිට ප‍්‍රශ්නයක් නැහැ. මෙතන යෝජනා කරන්නේ ඒ ක්‍ෂෙත‍්‍රයට අදාළ නොවන පොදු ක්ෂේත‍්‍රවලට ඇතුළත් වීමේ විශාල අවකාශයක් මෙයින් හදා දෙනවා. වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව නීතිය, වාස්තු විද්‍යාව වගේ සියලූ විෂයයන් වලට මේ ව්‍යුහය හරහා ප‍්‍රවේශ වී අනෙක් සියලූ විෂයයන්වලටත් බලපාන ආකාරයට යොදා ගැනීමේ හැකියාව මේ පනතින් තිබෙනවා. තමන්ගේ විෂයයට පරිබාහිරව වෙනත් විශාල ක්‍ෂ‍ෙත‍්‍රයකට ඇතුළත් වීමේ මෙවැනි බලයක් මිලිටරි රාමුව හරහා විවෘත කරන්නේ ඇයිද කියන ප‍්‍රශ්නය මතුවෙනවා.

උසස් අධ්‍යාපනය වෙනත් අර්ථයකින් පෞද්ගලීකරණය කිරීමටත් මේ පනත තුළින් පාර කැපෙනවා. සම්ප‍්‍රදායික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පෞද්ගලීකරණයට තිබෙන බාධා මේ අලූත් ව්‍යුහයෙන් අහෝසි කෙරෙනවා. නිදහස් අධ්‍යාපනයට පටහැනිව ස්ථාපනය කරන මේ ව්‍යුහය පිහිටුවා ගැනීමට රජයේ මුදලූත් ලබාදෙනවා. රජය මැදිහත්වීමෙන් අධ්‍යාපනය සෘජුවම පෞද්ගලීකරණය කිරීමට මේ තුළින් හැකිවෙනවා. 2018 විශාල අරගල ප‍්‍රමාණයක් හරහා පරාජය කළ මේ පනත අකුරක්වත් වෙනස් නොකර වර්තමාන ආණ්ඩුව ඉදිරිපත් කිරීමෙන් මේ ආණ්ඩුව ජනතාවාදී නොවන බව සනාථ වෙනවා. මෙවැනි දේවල්වලින් පැහැදිලි වෙන්නේ කාලයක් තිස්සේ උසස් අධ්‍යාපනය නව ලිබරල්වාදය යටතේ අඛණ්ඩව ගෙනයාමට මේ ආණ්ඩුව කි‍්‍රයා කරන බවයි. 1980 ගණන්වල හඳුන්වා දුන් ප‍්‍රතිපත්තිය අනුව අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම අඛණ්ඩව සිදුකරන බව මෙයින් පැහැදිලියි.”

Leave A Reply

Your email address will not be published.

11 − five =