ලොකු කතාවක කෙටි වාර්තාවක් – “හෙටක් ගේන්නැතුව හිරු නැවතියන්”

ප්‍රදේශය කුලියාපිටිය. පවුලේ අප්පච්චී ඔහුය. ඔහුට positiveය. positive කියන වචනය දැන් පොඩි දරුවත් දනී. Positive යනු කොරෝනා හැදිලාය. ආසාදනය වෙලාය.ආසාදනය වෙලාය කියනවාට වඩා පොසිටිව් කියන විට කාරණය හොඳටම පැහැදිලිය.
අප්පච්චීට දැන් positive ය. Positive වෙනුවෙන් අහළ පහළක වෙද සාලාවක් නැතිය. අප්පච්චී අනුරාධපුර රෝහලට ගෙනියනවාය. එහිදී අප්පච්චී මිය යනවාය.
බලධාරීන් යයි කියන අය කියනවා , පෙට්ටියටයි පාංශුකූලයටයි පනස් දාහක් (50,000) ගේන්ඩ කියලා.
පාංශුකූලය බුද්ධාගමේ. ඒකෙ පූජකයොයි කියන අය මළමිනීවල ආත්මයන් සුඛිත කිරීමට මුදල් අය කරනවාද?
දහදුක් විඳගෙන මුදල් හොයාගෙන රැගෙන ගියා. මිනීපෙට්ටිකාරයට සල්ලි දෙනවා . එයා කවුද දන්නෙ නෑ. මීටර් 200ක් විතර තියා ඉටිරෙද්දෙන් වහල තියන මිනියෙ මූණ අරිනවා. බලන්න කියනවා. මොකුත් පේන්නෙ නෑ.
එච්චරයි. පුච්චනවලු. ඔන්න කොවිඩ් . රටකුත් නෑ. ආගමකුත් නෑ. ජාතියකුත් නෑ. මොකුත් නෑ. අපි අපේ මැරුණ උන් ගැන පපුව පැලෙන වේදනාවෙන් ‍යුතුව හඬා වැටෙමින් ඉන්නවා.
ජීවත්වීමට කරගෙන ආ ව්‍යාපාර කැඩිලා. යන එන මං නෑ. දරු පැටවුන් අනාථයි. අධ්‍යාපනය ඇති හැකි විදියට. සමාජ රැකවරණයක් නෑ.
අපි කොහෙද ඉන්නෙ.? රට මොකද්ද? ආණ්ඩුව මොකක්ද? ආණ්ඩුවක් තියනවනං ඇයි අපි අසරණවුණේ?
හෙට දවසේ අපේ ඉරණම කුමක් වෙයිද? භීතිය ආත්මය වසාගෙන.හෙටක් ගේන්නැතුව හිරු නැවතියන්…අන්ත අසරණ මම වෙන මොනවා කියන්නද?
-බණ්ඩාර වැවගෙදර

අන්තර්ජාල ඡායාරුපයක්

Leave A Reply

Your email address will not be published.

two × one =