ලලිත් අඹන්වල දිවියෙන් සමුගනියි

හිටපු අතිරේක විගණකාධිපති ලලිත් අඹන්වල මහතා අද පෙරවරුවේ  හෘදයාබාධයකින්  අභාවප්‍රාප්ත විය.

2002 වසරේ දී ඇසිඩ් ප්‍රහාරයකට ලක් වූ අඹන්වල මහතා විගණන නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා විගණන සේවයට එක්වූ අතර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කරමින් සිටියදි මෙම ප්‍රහාරයට ලක් විය.

එහිදී මුහුණට හා දෑස්වලට දැඩි හානි සිදුවුවත් වසර කිහිපයක ප්‍රතිකාරවලින් පසුව අඹන්වල මහතා යළි සේවයට එක්වුු අතර විශ්‍රාම යනවිට අතිරේක විගණකාධිපතිවරයා ලෙස සේවය කළේය.

මහනුවර පිහිටි අඹන්වල මහතාගේ නිවසේ දී හෘදයාබාධය ඇතිවී තිබෙන බව විගණකාධිපති දෙපාර්තමේන්තුව කියයි.

මෙම අභාවය සැලවීමෙන් පසු ලොකුලියන කීර්ති විසින් ලියන ලද කවියක් පහත පළවේ.

ඔහුත් යන්න ගිහින්
බඩ රස්සාව පාවා නොදී
මුහුණ ඇස් පුරා
ඇසිඩ් පාරවල් කා
ජනතාව වෙනුවෙන්
විඳවූ මිනිසුන් මේ මව්බිම
වීරයන් සේ නොසළකයි
තියෙන දෙයක් කා
ලැබෙන දෙයක් ලබාගෙන
කට පුප වසා නිහඬව
හිටියා නම් ඉවරයිනේ
එහෙමයි වීරකමට හිමි ඇගයුම
ඉතින් මේ සිරි ලංකාවේ
අප්පට හැමිනෙන තරමේ
මහා වීරයන් වී ඇත්තේ
කාලකණ්නි හොර හැත්තය
කහ චීවරය දරාගෙන
මහපාරෙ ගෙයින් ගෙට
පාවාදෙමින් ආගම ධර්මය
පිණ්ඩපාතයේ වඩින්නේත්
ඒ හොර ඇත්ත රකින්ටයි
මේ සැබෑ මිනිසා
වීරයෙක් ලෙස සළකන දිනක
ඔව් සත්තකින්
අපේ මව්බිම අම්මා
හිනහෙන බව නිසැකයි
ඉගෙන ගනියව් උඹලා
උගන්වපියව් නැතිනම් දරුවන්ට
මෙන්න නියම වීරයන්
⁣ජීවත් විය යුත්තේ මෙහෙම බව
කාලකණ්නි හොරුන් ළඟ
බයාදුව කුරුවී නකුටුව
සෙල්ෆි ගහනා තොපේ දරුවන්ට
කියාදීපියව් මේ වගේ
වීරයෙක් වෙන්නට
ඔබට සුබ රාත්‍රියක්
– ලොකුලියන කීර්ති

 

ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සුනිල් හඳුන්නෙත්ති විසින් තබන ලද සටහනක්

ලලිත් අඹන්වල…
ඔහු, ලංකාවේ බොහෝ වෘත්තීන්ගේ වටිනාකම, ගෞ⁣රවය මුදල් ඉදිරියේ බාල්දුවන සමාජයක, මුදල ඉක්මවූ රාජකාරියක් ඉටුකළ ගෞරවනීය මහත්මයෙකි.
පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදීත් නිරන්තර හමු වූ, නිහතමානී මහජන මුදල් ආරක්ෂා කිරීමට වෙහෙසුණු අයෙකි..
තම ජීවිතය පවා අවදානමට ලක් වුවද, ජාතික විගණන සේවයේ ගෞරවය රැකගැනීම වෙනුවෙන් සටන් කළ එතුමා මේ වනවිට ජීවිතයෙන් සමුගෙන ඇත.
කීර්තිමත් නිලධාරියෙකු වූ හිටපු අතිරේක විගණකතාධිපති ලලිත් අඹන්වෙල මැතිතුමනි,
ඔබට අපගේ ආචාරය…
-සුනිල් හඳුන්නෙත්ති

 

රන්ජන් පරණවිතාන විසින් තබන ලද සටහනක්

මෙවන් දුෂ්ට රටක යළි නොඉපදේවා

මේ ආශික්ලන්තයේ සෑම හන්දියකම බුද්ධ රූපය. පන්සල් පල්ලි හැම තැනකමය. මිනිසුන් නැගිටින්නේද නිදියන්නේද පිරිත් අසමිනි. රට හදන්න එන දේසපාලුවන් තරම් පවිත්‍ර උන් කොහේවත් නැත.
මෙතරම් ව්චිත්‍රවත් පාර්ලිමේන්තුවක් ලොව කොහෙත් නොමැත.
පගාමරුවන් නැති තැනක් නොමැත.
තම රාජකාරිය අවංකවම කර ඒ නිසාම පහර කන උන් ඇත්තේ අතලොස්සකි
ඒ අතර ලලිත් අඹන්වල ඉතිහාස ගත වන විශිෂ්ටයෙකි.
ඔබට සුබ ගමන් මිත්‍රයා..!
මෙවන් දුෂ්ට රටක යළි නොඉපදේවා.
-රන්ජන් පරණවිතාන

Leave A Reply

Your email address will not be published.

1 + 9 =