කලු තේ ලෙස මෙරටට ගෙනා රු: කෝටි 970 ක් වටිනා දුම්වැටි අත්අඩංගුවට

ප්‍රතිඅපනයනය කරනා ශ්‍රී ලංකාවේ කලු තේ ලෙස ප්‍රකාශයට පත් කරමින් මෙරටට ගෙනා රුපියල් කෝටි 970 ක් වටිනා දුම්වැටි බහාලුම් 21 ක් රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ කුළු බඩු ලෙස සදහන් කරමින් ප්‍රතිඅපනයනය සදහා කොළඹ වරායේ රදවා තිබු බහාලුම් පරික්ෂා කිරිමේදි මෙම දුම්වැටි තොගය ශ්‍රී ලංකා රේගුවේ අනුගතවීමේ හා පහසුකම් සැලසීමේ අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නිතිකටයුතු) සුදන්ත සිල්වා ඉකුත් 13 දා පැවසීය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙම දුම්වැටි තොගය බහාලුම් 21 ක අසුරා දුම්වැටි කෝටි 20 ක් කොළඹ වරායට ගෙනවිත් ඇත්තේ නෙදර්ලන්තය, ජර්මනිය, එක්සත් රාජධානිය වැනි යුරෝපිය රටවලට අපනයනය කිරීම සදහාය.
මෙම ක්‍රියාවලිය අන්තරාල වෙළෙදාම ලෙපස හදුන්වන අතර, ශ්‍රී ලංකාවේ සුප්‍රකට තේ අපනයනය කරන සමාගමක් නමින් මෙම බහාලුම් ප්‍රතිඅපනයනය සදහා ඉදිරිපත් කර තිබුණි. එමෙන්ම මෙසේ වෙනත් රටවලට මෙම දුම්වැටි ව්‍යාජ අපනයනයන් ලෙස ඇතුළු කිරිම ජාත්‍යන්තර වශයෙන් සංවිධානාත්මක ජාවාරම්කරුවන්ගේ ක්‍රියාවක් ලෙස රේගුව සැකකරන අතර මෙම දුම්වැටි වලින් කොටසක් ශ්‍රී ලංකාවේ වෙළෙද පොලට යොමු කර ඇති බවට ද රේගුව සැක පහළ කරයි.
එමෙන්ම මෙම බහාලුම් 21 ට අයත් නොවන තවත් බහාලුම් 12 ක් මේ ආකාරයට බෙල්ජියම, නෙදර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ බංග්ලාදේශය වෙත මේ වන විට ප්‍රතිඅපනයනය කර ඇති බවද රේගු විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් ජි.වි රවිප්‍රිය මහතාගේ මග පෙන්වීම යටතේ, රේගු අධ්‍යක්ෂ හර්ෂ ජයතිලක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන දප්පුල අරේවත්ත, විජේරත්න බණ්ඩාර යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ රේගු අධිකාරිවරුන් වන සංජය රවීන්ද්‍ර, ලාල් වීරකෝන්, යු.ඩි.එම්.ඕ. දීපානි, නියෝජ්‍ය රේගු අධිකාරි මංජුල ප්‍රසාද්, සහකාර රේගු අධිකාරීවරුන් වන ප්‍රවීන් ඉන්ද්‍රනාම, අමිල සංජිව, සම්මාන සමරසේකර, භාතිය කුමාරසිරි, එස්. මද්දුමගේ සහ අවිදු රාජපක්ෂ යන නිලධාරින් මේ පිළිබදව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.

Leave A Reply

Your email address will not be published.

six + one =