ගිලෙන ඩොලර් නැවෙන් ජීවිත බෝට්ටුවට ගොඩවීමට ඇරයුම්කරන ‘නෝමෑඩ්ලෑන්ඩ්’

දිගු කල්විසුවොත් ජරයෙන් විසිරේ
නැතහොත්, වැදයයි මරුමුව කුහරේ
දීර්ඝ කාලයක් ජීවත් වුවහොත්, වයස්ගත වීමේ පීඩාවට මුහුණදීමට සිදුවන්නේ ය. එසේ නොවන්නට නම්, ළදරු අවධියේ මරුමුවට නතු වීමට වන්නේ ය.

ජීවිතයේ සැඳෑසමයේ දී ඔබ කුමක් කළයුතු ද?

රාත්‍රිය උදාවට තව ඇත්තේ, අංකනය කර පෙන්විය හැකි කාල විරාමයකි. ඔබ තවත් ඔබට අඥාත යන්ත්‍රයක දැතිරෝදයක්ව භ්‍රමණය වීමට සූදානම් ද? ඔබ තවමත් ධනේශ්වර රැකියා උගුලේ සිර වී සිටින්නේ ද?

ස්ථිතික ජනාවාසය යුහුසුළුව අභිනිෂ්ක්‍රමණය කර නිරුවත් භූ දර්ශනය මත ජීවිතය රසවිඳීමට ‘නෝමෑඩ්ලෑන්ඩ්’ ඔබට ආරාධනා කර සිටියි.

ප්‍රංශ සම්භවයක් උරුම ‘නෝමෑඩ්’ වචනයේ අර්ථය තැනින් තැනට සංක්‍රමණය වෙමින් ජීවත් වීමයි. මේ සඳහා අතීතයේ භාවිත වූ ‘කැරවෑන්’ රථය (Caravan) අද වනවිට මුළුතැන්ගෙය, නිඳනකාමර, නාන කාමර සහිත ‘විනෝද සංචාරක වාහන’ (Recreational Vehicle) දක්වා හැඩගැසී තිබේ.

93 වැනි ඇකඩමි සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය ලෙස තේරී පත්වුණු ‘නෝමෑඩ්ලෑන්ඩ්’ (Nomadland) (It is a lifestyle of freedom, beauty and connection to earth) චිත්‍රපටය එහි අධ්‍යක්ෂිකා ක්ලෝ ට්ශාඕ (Chloe Zhao) හට හොඳම අධ්‍යක්ෂණය සඳහා වන සම්මානය ද, ෆ්‍රාන්සස් මැක්ඩෝමන්ඩ් (Frances McDormand) හට හොඳම නිළියට හිමි සම්මානය ද හිමිකරදුන්නේ ය.

සැටවිය ඉක්මවා සිටින ෆර්න් (Fern) ඇයගේ ස්වාමිපුරුෂයා ද සමඟ රැකියාව කළේ ඇමෙරිකාවේ නෙවාඩා හිජිප්සම් පතලක ය. පතල වැසේ. ඇයගේ සැමියා ද මියයයි. ඔවුන් ජීවත් වූ කර්මාන්තපුරය ද වැසේ. මේ සියල්ල සිදු වන්නේ දර්ශන තලයෙන් පිටත දී ය (off screen).

ෆර්න් තම දේපළ විකුණා විනෝද සංචාරක රථයක් (R.V.) මිලට ගෙන සංචාරය සඳහා මහමඟට අවතීර්ණ වන්නී ය. එක් සෘතුවක දී පමණක් කළහැකි රැකියාවල නිරත වෙමින් ඇය සිය ජීවන වියදම උපයා ගන්නී ය.

නෝමෑඩ්වරුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට වෙර දරන බොබ් (Bob) නමැත්තාගේ කඳවුරෙන් ඇය මහමඟ ජීවිතයට අවශ්‍ය නිපුණතා ද දියුණුකර ගන්නී ය. ෆර්න් හා මිතුරු වනස්වොන්කී (Swankee) පිළිකා රෝගය නිසා ජීවිතයේ ඉදිරියට ඇති මාස කිහිපයට රෝහලක බිත්ති ඇතුළත ගෙවා දමනවාට වඩා සොබාදහමේ ගෙවා දැමීමට නෝමෑඩ් ජීවිතය වැළඳ ගන්නී ය. සරල අවශ්‍යතා සඳහා එකිනෙකාට උපකාර කර ගනිමින් ද, සොබාදහම විඳිමින් ද, නෝමෑඩ් කල්ලියේ නැටුම්, ගැයුම්, එක් වීම්, වෙන් වීම් ආදියට මැදිව ද ෆර්න් කාලය ගෙවයි. ෆර්න් හා මිතුරුවන ඩේවිඩ් නම් තවත් නෝමෑඩ්කරුවකු ඇයට ආරාධනා කරන්නේ, ඔහු හා ස්ථිරව ජීවත් වීමට පැමිණෙන ලෙස ය. ෆර්න් ඔහුගේ ඇරයුම නොපිළිගෙන නැවතත් මහමඟට අවතීර්ණ වන්නී ය.

නෝමෑඩ් සංකල්පය බිහිව ඇත්තේ, ‘හිත ගිය තැන මාලිගාව’ (Home is where the heart is) යන තේමාවෙන් ය.

වරක් ෆර්න් හමුවන දරුවෙක් ඇගෙන් අසන්නේ, “ඔබ ගෙයක් නැති කෙනෙක් ද?” (^Are you homeless ?) යනුවෙනි. එහි දී ඇය පවසන්නේ, “මට ගෙයක් තියෙනවා. මම නිවසක් නැති කෙනෙක්” (I have a home. I am houseless) යනුවෙන් ය.

නෝමෑඩ් ලෑන්ඩ් සිනමාවේ නෝමෑඩ් ජීවිතයට හුරු වූ බහුතරය වියපත් චරිත හරහා පෙන්නුම් කිරීමෙන් සංකල්පයේ පෘථිවීය ස්වභාවයට හිස් තැනක් එකතු කරයි. තවද, එක් අවස්ථාවක ෆර්න්ගේ ආර්.වී. රථයේ මිල අධික අලුත්වැඩියාවක් සඳහා ඇය සිය සොහොයුරියගේ සාම්ප්‍රදායික කුටුම්භයෙන් මූල්‍යාධාර ලබාගැනීම ද නෝමෑඩ් සංකල්පයේ ස්වායත්ත බවට හානියකි.

කෙසේ නමුත්, දුෂ්ට පාලකයන්ගේ දුෂ්ට රාජ්‍යයෙන් (Tyranny) නිරුවත් පෘථිවි කබොලට අභිනිෂ්ක්‍රමණය කිරීමේ නෝමෑඩ් සංකල්පයේ පැවැත්ම වෙහෙසකර මනසට අස්වැසුමක් ම වේ.

■ දේවප්‍රිය හුලත්දූව
Leave A Reply

Your email address will not be published.

two × three =