ඔබ ඉන්නේ Lockdown ප්‍රදේශයක නම්

මේ වනා විටත් ඔබේ ප්‍රදේශය හුදෙකලා කිරීමට ලක්වෙලා නම්, පළමුවෙනි ම දේ, ගෙවල් ඇතුළෙත් lockdown වෙන්න.
Lockdown එකක් අරමුණ, එහෙ මෙහෙ නොයා ඉන්න ස්වයං විනයක් නොමැති – ස්වභාවයෙන්ම සංචරණයට කැමති මිනිසුන්ව, නීතියෙන් හරි ‘එක තැනකට කරලා තියන’ එක. අත්‍යාවශ්‍ය කටයුතුවලට පවා යන එන පිරිසට කරන්න දෙයක් නැති කමට හෝ සීමා වෙන්න මේ අනුව සිදු වෙනවා. මේ අදියරේ වෛරස ව්‍යාප්තියකදී, එම ව්‍යාප්තිය අවම කරන්න කළ යතු – කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒ. ඒ නිසා ඊට සහය වෙන්න.
“Lockdown වුණාට අපේ පාරේ වාහන යනවා. ඒ නිසා අපිත් යනවා..” වගේ ආකල්පෙක ඉන්න එපා. ඔබ පරිස්සම් වෙන්න. ඔබ හරියට ඉන්න. ගේට්ටු වහලා තියාගන්න. තත්වේ බරපතල කම නොතේරෙන අය එන්න පුළුවන්.
ඔබ ඉන්නේ පිළියන්දල වගේ Lockdown ප්‍රදේශයක නම්, ඔබ පරිස්සම් වුණත් ගෙදරට කොවිඩ් ඇවිදන් එන්න පුළුවන්.
Lockdown එකක් කියන්නේ රැකියාවට නොයන නිසා, පුළු පුළුවන් වෙලාවට අසල්වැසියෝ සහ Lockdown කලාපයේ ඉන්න මිතුරු මිතුරියන් එකතුවෙලා විනෝදවෙන්න දීපු අවස්ථාවක් නෙමෙයි.
“මට – මගේ යාලුවට අසනීපයක් නැහැ” කියල ඔබට හිතුණත්, ඇත්තටම එහෙම වුණත්, සුළු අත්වැරදීමකට පුළුවන් ඔබට වෛරසය ආසානය කරවන්න. ඊට පස්සේ ඔබේ ගෙවල්වල ඉන්න ආදරණීයයන්ටත් ඒ වෛරසය ඔබ අරගෙනයි යන්නේ.
වහාම ක්‍රියාත්මකවන පරිදි lockdown වුණු ප්‍රදේශයක නම් ඔබ ඉන්නේ, සමහරවිට දීර්ඝ කාලයක් වෙනුවෙන් ආහාර පාන ඔබේ නිවසේ නැතිවෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රදේශය අනුව ලබාගන්න පුළුවන් උපකාර ලබාගන්න.
තියෙන දේ පිරිමහන්න සහ ඉඩ තියෙනවා නම් පොඩ්ඩක් මොනවහරි වවන්න.
අපි Lockdown වෙලා හිටියට අසල්වාසීන් ගැන හොයබලන්න බැරි නැහැ. කෝල් එකක් දෙන්න. ඔබේ වැඩිපුර තියෙන යමක්, මුකුත් නැති අසල්වැසියාගේ ගෙදර දොරකොඩින් තියන්න.
ඔබ එහෙම උදව් ලැබෙන කෙනෙක් නම්, ඒ ලැබෙන ද්‍රව්‍ය ගෙට ගන්න කළින් හොඳට පිරිසිදු කරන්න.
ඔබේ ප්‍රදේශයේ නිරෝධායනය වන පිරිස් ඉන්නවා නම්, ඔවුන්ට කෝල් කරන්න.හොයල බලන්න. ඔවුන් වෙනුවෙන් ඔබ ඉන්න බව දන්වන්න. ඔවුන් ‘ආසාවට’ ලෙඩ වෙලා නැහැ. ඉතින් ඔවුන්ට අපහාස එපා. හෙට ඔබත් ආසාදිතයෙක් වෙන්න පුළුවන්.
ඔබේ නිවසේ දීර්ඝකාලීනව බෙහෙත් ගන්න කෙනෙක් ඉන්නවා නම්, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි හෝ සෞඛ්‍ය බලධාරීන් දැනුම්වත් කරන්න. එමගින් ඔබට ඒ බෙහෙත් ලබාගන්න යම් උපකාරයක් ගණන් පුළුවන්.
ඒ ලැබෙන බෙහෙත් කවරේ පවා පිරිසිදු කරලා ගෙට ගන්න. ඒ වගේම ඒ බෙහෙත් රෝගියාට දෙන්න කළින් කල් ඉකුත් වීමේ දිනය, මාත්‍රාව, බෙහෙතේ හරි නම තියනවද කියල හරියට බලන්න.
ඔබේ නිවසේ ඉන්නේ එක ලෙඩෙක් වුණාට, සෞඛ්‍ය බලධාරීන්ට මේ මොහොතේ ලෙඩ්ඩු ගොඩක වගකීම තිබෙන නිසා අත්වැරදීම් (එසේ විය නොහැකිම ක්ෂේත්‍රයක් වුවත්) වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ කොටස ඔබ ඉටු කරන්න.
ඔබේ අසල්වැසියා එක්ක වැටට උඩින් කතා කරන්න ගියත් (නොයා ඉන්න බැරිම දේකට) මාස්ක් එක දාන්න. ඔබේ ඉඩමේ මායිම කොවිඩ් වෛරසයට අදාළ නැහැ.
ගෙදර ඉන්න අයගේ මානසික සෞඛ්‍ය ගැන වැඩිපුර හිතන්න. මේ වෙලාවේ ඉතාම අවිනිශ්චිත බයක් තියෙන වෙලාවක්. දන්නා මිනිස්සු එකිනෙකා සමුගන්නවා. ගෙදර ඉන්න වයස්ගත අය මේ ගැන වැඩි බයකින් ඇති. ඔවුන්ගේ හිත හදන්න.
හිතෙන වැටෙන්න දෙන්න එපා.
ගෙදර ඉන්න පොඩි දරුවන්ට මේක ඉතාම අමාරු කාලයක් වෙන්න පුළුවන්. හැබැයි ඒකට විසඳුම screen time වැඩි කිරීම නෙමෙයි. ඔබේ දරුවා අනුව ඔබට පුළුවන් මොනවම හරි දෙයක් කරන්න. ඔබේ පීඩනය ගෙවල්වල අය පිටින් පිට නොකර ඉන්න.
ඔබ මේ මොහොතේ යම් ආගමික සංස්ථාවක පිහිට අපේක්ෂා කරනවා නම්, තනි තනිව ඒ දේවල් කරන්න. රැස්වී යාඥා කරන්න, පිරිත් කියන්න යන්න එපා.
“අඳුරු කුටිය තුළ දොරගුළු ලාගෙන ගයන ගීතිකා, යදින යාතිකා දෙවියන් හට ” ඇහෙනවා. ඒකට “ගැන්සි” පිටින් බහින්න ඕන නැහැ.
පළවෙනි රැල්ල වෙලාවේ අපි පරිස්සම් වුණා මතකද? මේක ඊට වඩා පරිස්සම් වෙන්න ඕන වෙලාවක්. හැබැයි අපි කරන්නේ ඒකෙ අනිත් පැත්ත.
“කවද හරි මැරෙන නිසා මම නම් බය නැහැ” හෝ “කොවිඩ් හැදිලා හරි මම මැරෙනව නම්” වගේ ආකල්පෙක ඔබ මේ මොහොතේ ඉන්නවනම්, අනේ දෙපාරක් හිතන්න. මරාගෙන මැරෙන්නෙක් වෙන්න එපා.
දිවා රෑ නොබලා, ගෙවල්වල මිනිස්සුන්ගෙන් වෙන්වෙලා මේ තත්ත්වය යහපත් අතට හරවන්න වැඩ කරන “සෞඛ්‍ය සේවක” කියන පොදු නම මිසක් පුද්ගල නාම ඉදිරියේ ළකුණු නොලබන මිනිස්සුන්ගේ කැපවීම එක නොසැලකිලිමත් වැඩකින් විනාස කරන්න ඔබට පුළුවන්. එහෙම නොකර ඉන්න.
අවසාන වශයෙන් ඔබ දරන දේශපාලන මතය සහ මේ මොහොතේ අනෙකා ඉන්න තැන දෙකක් වෙන්න පුළුවන්. හැබැයි මේ මොහොතේ “ඔන්න උඹල ඡන්දේ දීපු එකා මෙහෙමයි”, “අරූ ආවනම් මෙහෙමයි” දෙපිල බෙදිලා මරගත්තට කමක් නැහැ. හැබැයි “මුකුත් කරන්න බැරිනම් විවේචනය නොකර කට පියන් ඉන්න.”, “උඹ මොනව කරලද කියවන්නේ?” වගේ අධිකාරී බලපෑම් කරගෙන යන්න එපා කියල බොහොම ආදරෙන් ඉල්ලනවා.
(ඊයෙත් එහෙම පොඩි පොඩි කතා ආපු නිසයි කියන්නේ.
ඔබ කරන්නේ ඔබේ කොන්ත්‍රාත්තුව හෝ රස්සාව වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් තරහ නැහැ. හැමදේම කරන්නේ ජීවත් වෙන්න නේ.. මම ඒක තේරුම් ගන්නම්. )
මත දෙකක් තියෙන මිනිස්සුන්ට පුළුවන් හිතවත්කම් තියාගන්න. හැබැයි ඒ හිතවත්කම අනෙකාගේ කට වැහීමට බලතලයක් විදිහට පාවිච්චි කරන්න එපා කියල කරුණාවෙන් මතක් කරන්න කැමතියි.
ඡන්දේ දාට කතිරේ ගහන පක්ෂේ මොක වුණත්, මේ වෙද්දී අපි හැමෝම ඉන්නේ ගිලෙයිද කියල විස්වාස නැති බෝට්ටුවක දෙකොණේ. අනෙකාගේ කොණේ හිලක් හැදුවා කියල අනෙකා විතරක් ගිලෙන්නේ නැහැ. ගිලෙද්දී ඔක්කොම ගිලෙනවා.
– සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන් (fb)

Leave A Reply

Your email address will not be published.

7 − five =