දිළිඳු බවේ නිර්මාතෘවරයා කර්මය ද? ධනවාදය ද?

එදා ෂෙරීෆ්ලාගේ, ගිස්බන්ලාගේ හිතුවක්කාරී දාමරික පාලනය එම පළාතේ ම ජීවත් වූ ගොවීන්ගේ, සත්ව පාලනය කරන්නන්ගේ, වෙළෙඳාම්කරුවන්ගේ වාගේම ඔවුන්ගේ දුවාදරුවන්ගේත් ජීවිත කරදරවලට ම ඇදලා දැම්මා. බියසහ ත්‍රාසය පතුරුවමින්, ඔවුන් තම නම ප්‍රචලිත කර ගත්තා. නව හිරු උදාවන්නටත් කලියෙන් තම වගා කටයුතුවලට පිටව යන ජනයා නැවත තම පැල්පත්වලට පැමිණෙන්නේ අඳුර මහ පොළොව වසා ගත්තාටත් පස්සේ. ඉතාමත් සුළු ආහාරයකින් කුසපුරවා ගන්න මේ පිරිස දිවි ගෙවූයේ තම පාලකයන්ට ඉතාමත් බියෙනි. අව්රශ්මියට පිච්චිලා, වැස්සට තෙමිලා, මහපොළොව එක්ක හරිහරියට හැප්පිලා වගාකටයුතු, සත්ව පාලනය, වෙළෙඳාම කරලා ඉතා අමාරුවෙන් හරිහම්බකර ගන්නා මුදල් තමන්ට අවැසි විදියට වියදම් කරන්නවත් අවස්ථාවක් තිබුණේ නෑ. ඒවා ගිහිල්ලා දෙන්න ඕනෑ ෂෙරීෆ්ලාගේ භාණ්ඩාගාරෙට. බැරි වෙලාවත් එහෙම ගිහිල්ලා දෙන්න පරක්කු වුණොත්, ගිස්බන්ලා සහ ඔවුන්ගේ හමුදාව ඇවිල්ලා, මේ අහිංසකයන්ගේ පැල්පත්වලට ගිනි තියනවා. තරුණ ගැහැනු ළමයි බලහත්කාරයෙන් අරන් යනවා. රටේ ජනතාවට පැමිණිලි කරන්න තැනක් තිබුණේ නෑ. එහෙම පැමිණිලි කරන්න තරම් ආත්ම ශක්තියක් ඒ අසරණයන්ට තිබුණෙත්නෑ.

මිනිසුන්ගේ දහදිය, කඳුළු, සෝසුසුම්වලට වටිනාකමක් එක්කාසු කරන්න බැරිවුණා, රට කරවූ හා කරවන එකම නායකයකුටවත්. පත්වුණ හැම ආණ්ඩුවක් ම පරපෝෂිතයෙක් වුණා වැඩකරන ජනතාවගේ ලේ උරාබොන. අපේ අහිංසක දුප්පත් මිනිස්සුත් වෙලාවකට හිත හදා ගත්තා “මේක අපේ කර්මය” කියලා. ඒත් දැන් ජනතාවට තේරෙමින් තියෙනවා, ‘දිළිඳුකම යනු ධනවාදයේ කුහක නිර්මාණයක් මිස කර්මයේ ප්‍රතිඵලයක් නොවන බව’.

ෂෙරීෆ්ලා, ගිස්බන්ලා නිතර ම කෑවේ නැවුම් මස් වර්ග. නැවුම් පළතුරු වර්ග. බිව්වේ උසස් ම වර්ගයේ වයින්. දුක, වේදනාව කියන්නේ, මොකක් ද කියලා උන්ට දැනුණේ නෑ. දුක්විඳින අසරණ ජනතාවගේ සල්ලිවලින් උන් හිතූ හිතූ විදියට විනෝද වුණා. සදාචාරයට පටහැනි හැමදේම කළා. හිතන හිතන විදියට ෂර්වුඩයේ අහිංසක සතුන් මරලා මස් කළා. කැලෑසංහාරයක් කළා. ගජ මුතු ජාවාරම් කළා. ගමේ මිනිසුන්ට විතරක් නොවෙයි, ෂර්වුඩය ම කාබාසිනියා කරමින්, ජොලි කළා, ෂෙරීෆ්ලා, ගිස්බන්ලා සහ උන්ට ආවඩන්නන්. වැඩකරන ජනතාවට කිසිම පිළිසරණක් තිබුණේ නෑ. උන් උන්ට ඕනෑ විදියට නායකයන් පත්කර ගත්තා. බැරි වෙලාවත් අභියෝගයක් වෙයි කියලා හිතන තරුණයන් ඝාතනය කළා. නැත්නම්, සිරගත කළා. ගැහැනු ද, පිරිමි ද, දරුවන් ද කියලා කිසිම දයාවක්, අනුකම්පාවක් කරන්න තරම් තෙත් බවක් ගෑවිලාවත් තිබුණේ නෑ ඒ පාලකයන් ගේ හිත්වල.

කාලය ඔහොම ගෙවීගෙන යද්දී, ෂර්වුඩයෙන් ම නැඟීසිටිනවා මිනිසෙක්. ඒ තමයි, රොබින්. අපූරු සගයන් කිහිපදෙනකුත් එක්ක. ආදර්ශවත් කණ්ඩායම් හැඟීමක් තිබුණා, ඒ අය අතර. එකම අරමුණක් තිබුණා, ඒ හැමෝටම. ඒ වාගේම ඔවුන් ආදරය කළා ඒ පළාතේ දුක්විඳින ජනතාවටත්, ඔවුන්ගේ දූ-දරුවන්ටත්. රොබින්ලාගේ ඒ දයාව නව බලාපොරොත්තුවක් ජනිත කළා ගම්වැසියන්ගේ හිත්වලත්, එයාලාගේ දරු පැටවුන්ගේ හිත්වලත්. ෂෙරීෆ්ලාගේ ගෝලයන් ගමට ඇවිල්ලා, ගම්මුන්ට පහරදෙද්දී, ඒ මැරයන්ට පහර දුන්නා රොබින්ලා. මේ කණ්ඩායම නිරතුරුව ම රැකගත්තා ගම්වැසියන්ව. ෂෙරීෆ්ලාගේ බලකොටුව බිඳලා වැඩකරන මිනිසුන්ගෙන් බලහත්කාරයෙන් ලබා ගත් වස්තුව සොරාගෙන ආපසු ගැමියන්ට ම දුන්නා මේ කණ්ඩායම. භයවුණා ෂෙරීෆ්ලා, ගිස්බන්ලා තනියම එළියට බහින්නවත්. රොබින්ට ඕනෑ තරම් අවස්ථාව තිබුණා, ෂෙරීෆ්ව සහ ගිස්බන්ව මරා දමන්නට. ඒත් එහෙම කළේ නෑ. ඔහු අවවාද කර මුදාහැරියා කිහිපවිටක් ම. “අසරණ මිනිසුන්ට නිදහසේ ඉන්න දීපල්ලා” කියා රැකගත්තා හැමවෙලේම ෂර්වුඩයත්, නොටින්හැම් පළාතත්.

එහේ වැඩකරපු මිනිස්සු වාගේමයි අපිත්. අපේ රටත් වසර ගණනාවක් පාලනය කළා විවිධ නායකයන්. කිසිම නායකයෙක් වැඩකරන මිනිසුන්ට සහනයක්, ආශීර්වාදයක් වුණේ නෑ. මිනිසුන්ගේ දහදිය, කඳුළු, සෝසුසුම්වලට වටිනාකමක් එක්කාසු කරන්න බැරිවුණා, රට කරවූ හා කරවන එකම නායකයකුටවත්. පත්වුණ හැම ආණ්ඩුවක් ම පරපෝෂිතයෙක් වුණා වැඩකරන ජනතාවගේ ලේ උරාබොන. අපේ අහිංසක දුප්පත් මිනිස්සුත් වෙලාවකට හිත හදා ගත්තා “මේක අපේ කර්මය” කියලා. ඒත් දැන් ජනතාවට තේරෙමින් තියෙනවා, ‘දිළිඳුකම යනු ධනවාදයේ කුහක නිර්මාණයක් මිස කර්මයේ ප්‍රතිඵලයක් නොවන බව’. පොරොන්දු ගණනාවක් දීගෙන, වැඳ නමස්කාර කරගෙන රට හදන්න කියා නායකත්වය ඉල්ලද්දී, අපේ මිනිස්සුත් විශ්වාස කළා. අපේ දරුවන්ට හරි හෝ රටක් හදනවානම්, ඇති කියා හිතලා මිනිස්සු දුන්නා මනාපය ඔවුන්ට. අපේ මිනිස්සු හන්දියක් හන්දියක් ගාණේ කිරිබත් කාලා, රතිඤ්ඤා කඳු පුච්චලා, දවුල් ගහලා ප්‍රීති වුණා. තමන්ගේ මනාපෙන් නායකත්වයට පත් වූ පුද්ගලයා අපට නැතත් අපේ දරුවන්ට වාසනාවන්ත රටක් නිර්මාණය කරයි කියලා.

ඒත්, දැන් මිනිස්සුන්ට තේරෙමින් තියෙනවා, අපි මේ පත්කර ගත්ත නායකයන් මීට කලින් හිටපු නායකයන් වාගේමයි කියලා. ලැබුණ ජනවරමින් වැඩිපුර ම කරලා තියෙන්නේ, නිදොස්කොට නිදහස් කිරීම. තමන්ට තර්ජනයක් කියලා හිතන මිනිසුන්ව සිරගත කිරීම, පිටරටවල මනදොළ පිරවීම, රට තුළ නිෂ්පාදන වැඩිකරනවා වෙනුවට රටේ සම්පත් විකිණීම, මිනිස් අයිතිවාසිකම් කප්පාදු කිරීම.

අපේ මිනිස්සු දාහක් හීනහිතේ තියාගෙන නායකයෙක් පත්කර ගත්තේ රටට මෙවැනි විපතක් කරන්න ද? ‘ඔළුව උදුම්මා ගත් ආඥාදායකයකුට සියලු ම රෝසමල් විනාශ කරදමන්නට නීති පැනවිය හැකි ය. එහෙත්, වසන්තයේ පැමිණීම වළක්වාලිය නොහැකි බව’ වරෙක මාවෝ සේතුං ප්‍රකාශ කර ඇත. රටට මෙන් ම රටේ මිනිසුන්ට ද ආදරය කරන සැබෑ මිනිසුන් පිරිසක් අප දැන්වත් තෝරා ගත යුතුව ඇත. සැබෑවට ම ඔවුහු අපේ දරුවන්ට වඩාත් සුවදායී රටක් නිර්මාණය කරනු ඇත. සත්තකින් ම එවිට වසන්තය අප සොයා එනු ඇත.

බී.එම්. සුසන්ත පියතිලක
Leave A Reply

Your email address will not be published.

14 + 14 =