“ලොකුගේ පොකුර” පිළියන්දල පොළටත්, කැස්බෑව නගර සභාවටත් පැතිරෙයි

පිළියන්දල පොලේ සිදුකල අහඹු PCR පරික්ෂණ 269 ක මේ දක්වා ලැබී ඇති ප්‍රතිඵල වලට අනුව පුද්ගලයන් 101 දෙනෙක් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය නිවේදනය කරයි.

ඊයේ දිනයේදිත් විවෘතව තිබූ මහජන පොලේ ගැවසුනු පිරිස අතරින් මෙම අහඹු PCR පරික්ෂණ සිදුකර ඇති අතර තවත් 50 දෙනෙකුගේ ප්‍රතිඵළ ලැබීමට නියමිත බව වාර්තා වේ. මෙම අහඹු PCR පරීක්ෂණයේ ප්‍රතිඵළ අනුව 50% කට ආසන්න වෛරසය ආසාදනය වූවන් ගේ ප්‍රතිශතයක් පෙන්නුම් කරන බව පවසන සෞඛ්‍ය අංශ අද දිනයේ(9) සිට පිළියන්දල පොදු වෙළෙඳ සංකීර්ණය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට පියවර ගත්තේය.

කෙසේ වෙතත් මෙම අඟුලු දැමීම කොපමණ කාල සීමාවක් දක්වා වලංගු වේ දැයි සහතිකයක් දිය නොහැකි බව පිළියන්දල පොලිසියේ නිළධාරියෙක් පවසා තිබේ.
ඒ මක් නිසාද යත් අන්තර්ජාල නාලිකාවකට ප්‍රකාශයක් ලබාදුන් ඇමති ගාමිණි ලොකුගේ පවසා සිටියේ තමන් විසින් විවෘත කල පිලියන්දල ප්‍රදේශය යලි අගුලු දැමුවහොත් තමන් නැවත මැදිහත් වී එය විවෘත කරන බවයි.

කෙසේ නමුත් කැස්බෑව නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

ඒ අනුව එම මන්ත්‍රිවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස නාගරික මන්ත්‍රිවරුන් 35 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කළ බව පිළියන්දල සෞඛ්‍ය පරීක්ෂක ඉන්දික එල්ලාවල මහතා කියයි.

Leave A Reply

Your email address will not be published.

4 × five =