“කොවිඩ් පාලනයේ දි අපි දැන් ඉන්නෙ නරකටම කරපු රටවල් ආසන්නයේ..”

- වෛද්‍ය ඩබ්ලිව්.එම්. විජයානන්ද

මේ වෙන කොට ලෝකයේ බොහෝ රටවල් විවිධ ආකාරයෙන් කොවිඩ් වසංගතයට මුහුණ දුන්නා. වෛරසය පාලනය කරන්න විවිධ උපක්‍රම භාවිත කළා. දැන් ඒ උපක්‍රමවල ප්‍රතිඵල ලැබෙමින් තියෙනවා. ඒ ප්‍රතිඵල විශ්ලේෂණය කරද්දී, ඒ ඒ රටවලින් වාර්තා වුණු රෝගීන් සංඛ්‍යාව, සිදු වූ මරණ සංඛ්‍යාව, රෝගය නිසා ගත් ක්‍රියාමාර්ගවලින් ආර්ථිකයට සහ සමාජ ජීවිතයට සිදු වූ බලපෑම වගේ කරුණු රැසක් සලකා බලා තියෙනවා. ඒ ප්‍රතිඵල එක රේඛාවකට ගත්තොත්, අපිට එක පැත්තක දැකගන්න පුළුවන් මේකට හොඳටම මුහුණ දුන්න රටවල්. චීනය, දකුණු කොරියාව, ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය, තායිලන්තය, තායිවානය, භූතානය, වියට්නාමය වගේ රටවල් ටිකක් තමයි ඒ පැත්තෙ දකින්න පුළුවන් වෙන්නෙ. ඒ වගේම අනෙක් පැත්තෙ තියෙන්නෙ නරකටම කරපු රටවල් ටික. මරණ සංඛ්‍යාවත් වැඩි, ආර්ථිකය සහ ජන ජීවිතත් කඩාගෙන වැටුණු රටවල් ඒ පැත්තෙදි දැකගන්න පුළුවන්. ඇමෙරිකාව, බ්‍රසීලය, චිලිය, ඉන්දියාව, යුරෝපයේ ඇතැම් රටවල් තමයි, ඒ කොනේ ඉන්නෙ.

දැන් අපිට බලන්න පුළුවන් හොඳටම කළා කියපු ලංකාව ඉන්නෙ කොතැන ද කියලා. ඇත්තටම හොඳටම කරපු රටවල් අතර අහලකවත් ලංකාව නැහැ. ලංකාව ඉන්නෙ නරකට කරපු රටවල්වලට ආසන්නයේ. තාම කෙළවරටම ගිහින් නැතත්, වේගයෙන් ඒ පැත්තට ගමන් කරමින් තමයි, ලංකාව ඉන්නෙ.

ඊළඟට අපිට බලන්න පුළුවන් මේ හොඳටම කරපු රටවල් සහ නරකටම කරල තියෙන රටවල් අරන් තියෙන ක්‍රියාමාර්ග වෙනස් ද කියල. එහෙම වෙනසක් නැහැ. දෙපිරිසම කරල තියෙන්නෙ එක සමාන ක්‍රියාමාර්ගම තමයි. ඒ කියන්නෙ, අත් සෝදන එක, මාස්ක් දාන එක, මීටරේ දුර තියා ගන්න එක වගේ පොදු කටයුතු දෙපිරිසම අනුගමනය කරල තියෙනවා. ඒත් හොඳටම කරපු අයගෙ තියෙන වෙනස තමයි, ඔවුන් අරමුණුසහගතව මේ කටයුතු සිදු කිරීම. ඒ වගේම හොඳටම කරපු රටවල තේමාව වුණේ ‘කොවිඩ් නැති ජීවිතයක්’ කියන එක. ඒක නිසා අරමුණුසහගතව, ඉලක්කය සාර්ථක වන තුරුම ඔවුන් කටයුතු කළා. නරක ප්‍රතිඵල අත්පත් කර ගත්ත රටවල් නිල වශයෙන් නොකිව්වත්, ඔවුන් කටයුතු කළේ ‘කොවිඩ් සමඟ ජීවිතය’ කියන තේමාවත් එක්ක. ඒ නිසා කොවිඩ් පරාජය කරන්න ඕනෙ කරන අරමුණුසහගත මැදිහත් වීම ඒ රටවල් ඇතුළේ හොඳින්ම ක්‍රියාත්මක වුණේ නැහැ. අරමුණ සාර්ථක කර ගන්න කලින් පොදු කටයුතු ආම්භ කළා. රෝගය පැතිරීම පාලනය කරන්න ඕනෙ ක්‍රියාමාර්ග හොඳින්ම ක්‍රියාත්මක වුණේ නැහැ.

එහෙම තත්ත්වයක් ඇතුළේ අපි මොනවද කරමින් ඉන්නෙ…? අපි කරන්නෙ මේ දෙපැත්තම කරන දේවල්වලින් ටික ටික කරමින් ඉන්න එක. ඒ නිසා අපි අර කලින් කියපු රේඛාව ඇතුළෙ එහෙට මෙහෙට දෝලනය වෙමින් ඉන්නවා. අවුරුදු කාලෙට කලින් අපි ටිකක් හොඳ තත්ත්වයක හිටියා. අවුරුදු කාලෙ ඇතුළෙ අර නරක ආදර්ශ ගනිමින් ඉන්දියාව, ඇමෙරිකාව වගේ කටයුතු කරන්න ගිහින් දැන් අපි සැලැකිය යුතු අවදානම් තත්ත්වයකට පත් වෙලා ඉන්නවා.

වසංගත රෝග ව්‍යාප්තිය ගැන අධ්‍යයනය කිරීමේ පහසුවට එය කොටස් හතරකට වෙන් කරලා තියෙනවා. ආණ්ඩුව කියන්නෙ අපි තාම ඉන්නෙ තුන්වන මට්ටමේ කියල. තුන්වෙනි මට්ටම කියල කියන්නෙ පොකුරු ව්‍යාප්තියක් හඳුනා ගන්නා මට්ටමට. පොකුරු ව්‍යාපතියක් කියල කියන්නෙ ඕනෑම ආසාදිතයකුට රෝගය බෝ වුණු ආකාරය සොයාගෙන යනකොට හඳුනා ගත් පොකුරකට තියෙන සම්බන්ධය හඳුනා ගන්න පුළුවන් තත්ත්වයකට. ඒ වගේම පොකුරේ ඉදිරි ව්‍යාපතිය ගැනත් ඒකෙන් පුරෝකථනය කරන්න පුළුවන් වෙන්න ඕනෙ.

ඒත් මේ වෙන කොට ලංකාවේ දිනකට රෝගීන් එක්දහස් පන්සීයත් දෙදහසත් අතර සංඛ්‍යාවක් වාර්තා වෙන තත්ත්වයක් තමයි තියෙන්නෙ. ඔවුන්ව දවස ගාණේ හවසට එක එක පොකුරුවලට සම්බන්ධ කළාට ඇත්තටම ඔවුන් ඒ කියන පොකුරුවලට තියෙන සම්බන්ධය හොයාගෙනවත් නෙමෙයි එහෙම කරන්නෙ. අනෙක් පැත්තෙන් එහෙම සම්බන්ධයක් හොයන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි දැන් රට තුළ තියෙන්නෙ. ඒ කියන්නෙ දැන් අපි
පිළිගන්න ඕනෙ තුන්වැනි මට්මට පහු කරල රට හතරවැනි මට්ටමට ඇවිත් කියල. හතරවැනි මට්ටම කියන්නෙ, සමාජ ව්‍යාපතියක් හඳුනාගත හැකි මට්ටමට.

මේ තත්ත්වය පාලනය කරන්න කුඩා කණ්ඩායමකට බැහැ. රාජ්‍ය මැදිහත් වීමකින් විතරයි, මේක පාලනය කරන්න පුළුවන් වෙන්නෙ. ඒ නිසා ආණ්ඩුව කරන්න ඕනෙ පළමුවැනි වැඩේ තමයි, මේ ගැන රටට ඇත්ත කියන එක. රටට බොරු කියල ජනතාවගේ සහයෝගය මේ තත්ත්වය පාලනය සඳහා ලබා ගන්න පුළුවන්කමක් නැහැ. ජනතාවට ඇත්ත කියලා, විවෘතව වැඩ කරන්න පටන් ගන්නවා නම්, ඒකට ඕනෙ කරන සම්පත් රට තුළ තියෙනවා. වසංගත රෝග පාලනය සඳහා විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ආචාර්ය මහාචාර්යවරු ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග පිළිබඳ වගකීම් දරපු විශේෂඥවරුත් ලංකාවෙ ඉන්නවා. ඔවුන්වත් සම්බන්ධ කරගෙන, තත්ත්වය පාලනය කරන්න සාර්ථක මැදිහත්වීම් කරපු රටවලින් ආදර්ශ අරගෙන, ‘කොවිඩ් සමග ජීවිතය’ වගේ වරද්ද ගත්ත රටවල්වල ආදර්ශ තව දුරටත් අනුගමනය කරන්නෙ නැතුව, අලුත් වැඩපිළිවෙළක් හදන එකෙන් තමයි, අපිට රටක් විදිහට මේකට මුහුණ දෙන්න පුළුවන් වෙන්නෙ.

(‘අලුත් පියාපත්’ සංවිධානය විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවක දී දැක්වූ අදහස් ඇසුරෙනි)

සැකසුම: චතුරදිසානායක

Leave A Reply

Your email address will not be published.

15 + seven =