පළිගැනීම කොමිසම ගැන තීරණගන්න පත්කළ කොමිසමේ කාලය ඉවරයි – මාස තුනේම වැඩක් කරලා නෑ !

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ අධ්‍යයනය කිරීමට හා ක්‍රියාත්මක කිරීමට පත්කරන ලද විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මෙතෙක් එහි පරීක්ෂණ ආරම්භ කර නැත.
ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 29 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මේ විශේෂ ජනාධිපති‌ කොමිසම පත්කරන ලදි. මාස තුනක් සඳහා මේ කොමිසම පත්කෙරුණු අතර, එහි කාලය පසුගිය අප්‍රේල් 29 දිනෙන් අවසන් විය. කාලය අවසන් වුවද, කොමිසම විසින් වාර්තාවක් මෙතෙක් සකස් කර නොමැති බව වාර්තා වේ.
සන්ඩේ මෝර්නින්ග් පුවත්පත කළ විමසීමකට පිළිතුරු දෙමින් මේ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් බුවනෙක හේරත් පවසා තිබුණේ කොවිඩ් 19 වසංගත තත්ත්වය සහ රටේ පවතින දේශපාලන කරුණු නිසා එම කටයුතුවල යම් ප්‍රමාදයක් සිදු වී තිබෙන බවයි. කෙසේ වෙතත් කොමිසමේ කාල සීමාව තවත් මාස හයක් සඳහා දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට අනුමැතිය ලැබී තිබෙන බව ද ලේකම්වරයා සඳහන් කර තිබිණි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ප්‍රියන්ත ජයවර්ධන, ඛේමා කුමුදුනී වික්‍රමසිංහ සහ අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මේ කොමිසමට ජනාධිපතිවරයා විසින් පත්කරන ලද සාමාජිකයෝ වෙති.

Leave A Reply

Your email address will not be published.

3 × three =