‘නිම්නාගේ ඉතිහාසය’ මා දකින හැටි

‘නිම්නාගේ ඉතිහාසය’‍ කෞෂල්‍ය කුමාරසිංහගේ දෙවන නවකතාව එළිදක්වා ටික කාලයක් ගත වී ගියද එය කියැවීමට ඉඩ ලැබුණේ පසුගියදාය. ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ කෞෂල්‍යගේ ප්‍රථම නවකතාවයි. ප්‍රථම නවකතාව තුළින් ම ඉමහත් පාඨක විචාරක අවධානයට ලක් වූ කෞෂල්‍ය ස්වකීය දෙවැනි නවකතාව වන නිම්නාගේ ඉතිහාසය තුළින් ලංකාවේ නවකතා කලාව තුළ ඉතා වර්ණවත්ව ස්වකීය මුද්‍රාව තබා ඇතැයි මට සිතේ. මුලින්ම කිව යුත්තේ මා මෙය ලියන්නේ ඉතාම සාමාන්‍ය හුදු පාඨකයකුට හැඟෙන දැනෙන අදහසක් ඉදිරිපත් කිරීමක් වශයෙන් පමණක් ම බවයි. ඒ හැරුණු විට නවකතාවක හෝ සාහිත්‍ය ග්‍රන්ථයක විචාරයක් හෝ රසාස්වාදයක් ඉදිරිපත් කිරීමට ඒ සම්බන්ධයෙන් වන දැනුමක් හෝ පරිචයක් මා හට නොමැති බව මුලින්ම ඉතාම නිහතමානීව ප්‍රකාශ කර සිටිමි. සාමා‍න්‍යයෙන් කියැවීමට ආශාවක් තිබෙන සහ ඉඩ ලැබෙන සෑම මොහොතකම කියැවීමට උත්සහ කරන සාමාන්‍ය පාඨකයෙක් වන මා හට ‘නිම්නාගේ ඉතිහාසය’‍ දැනුණ හැටි ගැන ලිවිය යුතු යැයි මම සිතුවෙමි.

‘නිම්නාගේ ඉතිහාසය’‍ තුළ පාඨකයකු වශයෙන් මා දුටු අනෙක් වැදගත්ම කරුණ මෙතෙක් සිංහල සාහිත්‍ය නිර්මාණයක් තුළින් නිර්මාණශීලී ලෙසින් ස්පර්ශ නොකරනු ලැබූ කලාපයන් කිහිපයක්ම ස්පර්ශ කිරීමට නිර්මාණකරුවා සාර්ථක උත්සාහයක් දරා ඇති බවයි. විශේෂයෙන් ලංකාවේ අසූව දශකයේ ඉපදුණු පරම්පරාවට මේ පොළොව තුළ අභිමුඛ වූ සමාජ, දේශපාලන සහ සංස්කෘතික සන්දර්භයන් ප්‍රමාණවත් ආකාරයෙන් සාහිත්‍ය නිර්මාණයක් තුළ නිරූපණය වී තිබේ දැයි ප්‍රශ්නයකි.

සැබැවින්ම ඉතා දීර්ඝ නවකතාවක් වන නිම්නාගේ ඉතිහාසය කෙතරම් දීර්ඝ නවකතාවක් වුවත් එක හුස්මටම ආශාවෙන් කියවාගෙන යා හැකි ආකාරයේ අපූර්වත්වයකින් යුක්තව සිය ගෙත්තම විවීමට කෞෂල්‍ය දක්වා තිබෙන බුහුටිභාවය නවකතාකරුවෙක් වශයෙන් වන ඔහුගේ ප්‍රතිභාවට හොඳම උදාහරණය වශයෙන් මට දැනිණි. දශක ගණනාවක ඉතිහාසයක හරස්කඩක් සහ විවිධ චරිතවල ඉතා සියුම් මනෝභාවයන් මෙන්ම එක්තරා යුගයක එක්තරා පරම්පරාවක පැතිකඩක් විශිෂ්ට පරිකල්පනයක් තුළින් සහ කියැවීමේ රුචිය බිඳකුදු අඩු නොවන ලෙස ලිවීමට වන කෞෂල්‍යගේ දක්ෂතාවය විස්මයජනක යැයි පොත කියවා නිම කළ පසුව මට හිතුණු ප්‍රධානතම කරුණ ය.

මා දන්නා ආකාරයට සිංහලෙන් නවකතා කියවන පාඨකයන් වඩාත් අභිරුචියෙන් කියවන ඉහළ ගණයේ සාහිත්‍ය රසයක් සහිත නිර්මාණ වූයේ ලෝක සාහිත්‍යය පරිවර්තනය කරනු ලැබූ පරිවර්තන සාහිත්‍යයයි. ගාමිණි වියන්ගොඩ වැනි සුවිශේෂී පරිවර්තකයන් කිහිප දෙනෙක් ලෝක සාහිත්‍යයේ රසය සිංහල පාඨකයාට සමීප කිරීම උදෙසා මහඟු‍ කාර්යක් සිදු කළා යැයි මම සිතමි. පරිවර්තන සාහිත්‍යය තුළ එන එම විශිෂ්ට ලෝක සාහිත්‍ය කෘතීන් හැරුණුකොට සිංහල නවකතා කලාව විෂයයෙහි ස්වතන්ත්‍ර නිර්මාණයක් සම්බන්ධයෙන් ඉහළ අවධානයක් යොමු වන්නේ කලාතුරකින් යැයි සිතමි. සයිමන් නවගත්තේගම, ලියනගේ අමරකීර්ති, සමන් වික්‍රමාරච්චි වැනි වූ නිර්මාණකරුවන් කිහිප දෙනෙක් සහ නිර්මාණ කිහිපයක් පමණක් නවකතා සාහිත්‍යයෙහි දී මෑත කාලයේ ලංකාවේ විශේෂ අවධානයට ලක් වූවා යැයි සිතමි. ප්‍රේම කථා වශයෙන් හඳුන්වන ශානරයට අයත් නිර්මාණ සඳහා යම් වෙ‍ෙළඳපොළක් පැවැතියත් ලංකාවේ ස්වතන්ත්‍ර නවකතාවක් සඳහා ඉහළ අලෙවියක් වාර්තා වන්නේ කලාතුරකිනි.

මේ සියලු‍ තත්ත්වයන් තුළ කෞෂල්‍යගේ නවකතා ලෝකයට වූ ආගමනයත් සමඟ ස්වතන්ත්‍ර සිංහල නවකතා කලාවේ තමන්ට පැහැදිලි ඉඩක් තිබෙන බවට සිය මුල් නවකතා දෙක තුළින් කෞෂල්‍ය පෙන්වා තිබෙන බව කිවහොත් පාඨක විචාරක ඕනෑම අයෙක් පිළිගනු ඇතැයි මම සිතමි. එමෙන්ම සිංහලෙන් කියවන පාඨක ප්‍රජාවට අනාගතයේ ඉහළ නිර්මාණ රසවිඳීම පිළිබඳව බලාපොරොත්තු තබා ගත හැකි බවත් කිව හැකි ය. විශේෂයෙන්ම ඉදිරියට මෙවැනි තරුණ නිර්මාණකරුවන් තව දුරටත් බිහි වේ යැයි සිතිය හැකි අතරම කෞෂල්‍ය තරුණ නිර්මාණකරුවකු වීම තුළ ඉදිරියේදී තව බොහෝ ඉහළ නිර්මාණ ඔහුගෙන් අපේක්ෂා කළ හැකි යැයි සිතමි.

‘නිම්නාගේ ඉතිහාසය’‍ තුළ පාඨකයකු වශයෙන් මා දුටු අනෙක් වැදගත්ම කරුණ මෙතෙක් සිංහල සාහිත්‍ය නිර්මාණයක් තුළින් නිර්මාණශීලී ලෙසින් ස්පර්ශ නොකරනු ලැබූ කලාපයන් කිහිපයක්ම ස්පර්ශ කිරීමට නිර්මාණකරුවා සාර්ථක උත්සාහයක් දරා ඇති බවයි. විශේෂයෙන් ලංකාවේ අසූව දශකයේ ඉපදුණු පරම්පරාවට මේ පොළොව තුළ අභිමුඛ වූ සමාජ, දේශපාලන සහ සංස්කෘතික සන්දර්භයන් ප්‍රමාණවත් ආකාරයෙන් සාහිත්‍ය නිර්මාණයක් තුළ නිරූපණය වී තිබේ දැයි ප්‍රශ්නයකි. කෙසේ වෙතත්, අසූව දශකයේ ඉපදුණු නිර්මාණකරුවකු වන කෞෂල්‍ය මේ පරම්පරාවේ කථාවත් සමඟ තවත් දීර්ඝ සමාජ දේශපාලන ඉතිහාසයක් විවරණය කරන අතරම නිරූපණය කිරීමට සාර්ථක නිර්මාණාත්මක උත්සාහයක් නිම්නාගේ ඉතිහාසය තුළ දරා ඇතැයි පැහැදිලිවම පෙනේ.

විශේෂයෙන්ම ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ආගමනය එතෙක් පැවැති සන්නිවේදනය පිළිබඳ අදහස පමණක් නොව මිනිස් සබඳතාවල ස්වරූපය ද උඩු යටිකුරු කරනු ලැබූ මෑතකාලීන මිනිස් ඉතිහාසයේ සිදු වූ දැවැන්තම විප්ලවය යැයි හැඳින්වූවාට වරදක් නැතැයි සිතමි. තරුණ, මහලු‍ භේදයකින් තොරව සමස්ත මිනිස් ප්‍රජාව කෙරෙහිම දැවැන්ත බලපෑමක් සිදු කරනු ලැබූ මෙකී සංසිද්ධිය ලාංකීය සාහිත්‍යය තුළ අවධානයට ලක් වී ඇති ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නැතැයි සිතමි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ආගමනයත් සමඟ සිදු වූ මේ බලපෑම අසූව දශකයේ ඉපදුණු පරම්පරාවේ ජීවිතවලට සිදු කරනු ලැබූ බලපෑම ඉතාම තීරණාත්මක යැයි සිතමි. නිම්නාගේ ඉතිහාසය තුළ කෞෂල්‍ය මෙකී සංසිද්ධීන් ඉතාම නිර්මාණාත්මක ලෙසින් සිය නිර්මාණය තුළ ස්ථානගත කර තිබෙන ආකාරය විශිෂ්ට ය. සමකාලීන ඉතිහාසය පිළිබඳව වන සිය නිර්මාණයේ කථාව ගලා යාමට කිසිදු බාධාවක් ඇති වන ආකාරයකින් තොරව මෙන්ම නිර්මාණයේ කථා රසය සමඟ කිසිදු ආයාසයකින් තොරව පාඨකයාට රසවිඳිය හැකි ආකාරයට මෙකී ඓතිහාසික තත්ත්වයන් නිර්මාණයේ පසුබිමේ ස්ථානගත කර තිබෙන ආකාරයේ බුහුටිභාවය ම කෞෂල්‍ය නවකතාකරුවකු වශයෙන් කෙතරම් සාර්ථක ද යන්න තහවුරු කරන බව මම සිතමි.

ලංකාවේ සමකාලීන දේශපාලන ඉතිහාසය සහ එහි හරස්කඩක් ඉතා අපූරුවට නවකතාව තුළ බහාලීමට ද නිර්මාණකරුවා සමත් වී ඇත. නිදහසට පෙර අතීතයේ පටන් ලාංකීය ඉතිහාසයේ වඩා තීරණාත්මක වූ මෑත දශක හතරක දේශපාලන ඉතිහාසය නවකතාව තුළ ස්ථානගත කර තිබෙන සියුම් බව තුළ එය නිර්මාණයේ කථා රසයේම කොටසක් වශයෙන් පාඨකයාට හැගී යයි. ගෙවණු දශක හතරක සමකාලීන ලාංකීය දේශපාලන ඉතිහාසයේ සුවිශේෂත්වය වන්නේ දේශපාලන අභිලාෂයන් ආයුධ සන්නද්ධ භාවිතාවක් තුළින් ප්‍රකාශමාන වීමයි. උතුරේ සහ දකුණේ වශයෙන් වෙනසකින් තොරව සිදු වූ මෙකී සන්නද්ධ දේශපාලන ඉතිහාසය අපට නවකතාව තුළ හමු වේ. නිම්නාගේ පියා අමරගේ මරණය තුළ දකුණේ සන්නද්ධ දේශපාලනයේ ක්‍රියාකාරීත්වය ඉතා හොඳින් සංකේතාත්මකව දක්වා තිබේ. එමෙන්ම යුද ජයග්‍රහණයේ සතුට සමරන දකුණේ සමාජය මහ පාරේ කිරිබත් පිස කෑමේ සිට සයිබර් අවකාශයේ සමාජ මාධ්‍යවල ප්‍රීතිවීම දක්වා කථාව සමගම ගලා යන සමකාලීන ඉතිහාසය අපට හමුවේ. බර්ලින් තාප්පය බිඳවැටුණු දිනයේ නිම්නාගේ උපත සිදු වීම තුළත්, නිම්නාගේ උපන් දිනය සමරන දවසේ මෙකී ඉතිහාසය නිම්නා අරවින්ද සමඟ සිදු කරන සංවාදය තුළත් සමකාලීන ලෝක දේශපාලනයත් කතාව තුළ මඟ නොහැරීමට නිර්මාණකරුවා සූක්ෂ්ම වී ඇත.

අරවින්දගේ චරිතය නවකතාව තුළ හමු වන ඉතා වැදගත් චරිතයක් පමණක් නොව ගැඹුරු සංකේතයක් ද වේ. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විරාගයේ අරවින්ද ලංකාවේ නවකතා සාහිත්‍ය ඉතිහාසයේ හමු වන සුවිශේෂීම චරිතයකි. විරාගයේ අරවින්දට නිම්නාගේ ඉතිහාසයේ අරවින්දගේ නෑදෑකම නවකතාව තුළ කතුවරයා ඍජුව ප්‍රකාශ කරයි. සේනක සමඟ වන අරවින්දගේ සංවාදයක දී අරවින්දට ඔහුගේ පියා එම නම තැබුවේ විරාගයේ අරවින්ද චරිතය ඔහුට සිදු කළ බලපෑම නිසා බව කියයි. අරවින්ද එය දැන සිටි බව සේනකට ඒ අවස්ථාවේ දී පවසයි.

අසූව දශකයේ අවසානය දක්වා ඉතිහාසය තුළ සිය දේශපාලන අභිලාෂයන් සහ ආවේගයන් සන්නද්ධව ප්‍රකාශ කළ දකුණේ වාමාංශික රැඩිකල් තරුණ දේශපාලන ක්‍රියාකාරිත්වය දෙදාහ දශකය වන විට සිය භාවිතාව මතවාදීමය වශයෙන් සන්නද්ධ ගරිල්ලා සටනකට විතැන්වීමේ කතාවත් අපේ සමකාලීන ඉතිහාසයේ වැදගත් සිදුවීමක් වශයෙන් සිතමි. බොහෝ දෙනකු නොතකා හරින සහ නොතකා හැරීමට උත්සාහ කරන එක්ස් කණ්ඩායමේ දේශපාලනය ගැනත් අරවින්ද හරහා මතු කිරීමට කෞෂල්‍ය සමත් වී ඇත. කෙතරම් විවේචන සහ නොඑකඟතාවන් පැවැතියත්, ලංකාවේ මෑත ඉතිහාසයේ තරුණ රැඩිකල් දේශපාලන ක්‍රියාකාරිත්වය පිළිබඳව සැලැකීමේ දී එක්ස් දේශපාලනයේ බලපෑම නොතකාහැරිය නොහැකි ය යන්න අපේ අදහසයි. අපේ රටේ සාහිත්‍ය නිර්මාණයක් තුළ සමකාලීන දේශපාලන ඉතිහාසයේ එක්ස් දේශපාලන මොහොත ස්පර්ශ කළ ප්‍රථම අවස්ථාව වශයෙන් නිම්නාගේ ඉතිහාසය මම විශ්වාස කරමි. දෙදහස දශකයේ රැඩිකල් දේශපාලන ක්‍රියාකාරීන්ගේ ඉමහත් අවධානයට ලක් වූ ලන්ඩන් සඟරාව, හිස්ටීරියාව පොත නවකතාවේ ගලා යාම සමඟ කිසිදු ආයාසයකින් තොරව අපට හමුවේ. මේ ආකාරයේ ඉතා විශිෂ්ට සංකේතයන් බොහෝ ගණනක් තුළ ගැඹුරු යටිපෙළ අරුත් සඟවන්නට නවකතාවේ බොහෝ තැන්වල කෞෂල්‍ය උත්සාහ කර තිබෙන බව පෙනේ. මේ ආකාරයට ලියාගෙන යන විට පාඨකයකු වශයෙන් නිම්නාගේ ඉතිහාසය තුළ හමු වූ බොහෝ සුවිශේෂ තැන් ගැන තවත් බොහෝ ලිවිය හැකි ය. එලෙස ලියා මේ කෙටි ලිපිය තවත් දීර්ඝ කරනවාට වඩා ඉතා කෙටියෙන් අවසාන වශයෙන් කිව හැක්කේ කෞෂල්‍ය කුමාරසිංහගේ දෙවන නවකතාව වන නිම්නාගේ ඉතිහාසය මෑත කාලයේ පළ වූ ස්වතන්ත්‍ර නවකතා අතර ඉතා වර්ණවත් නිර්මාණයක් බවයි. එය සිංහල නවකතාවේ අනාගතය පිළිබඳව සුභදායී බලාපොරොත්තු දල්වන බවයි.

සුදේශ් ජයවර්ධන
Leave A Reply

Your email address will not be published.

2 × two =