‘හොඳටම කළ’ කොවිඩ් ව්‍යාප්තිය

කොවිඩ් නිසා ලංකාවේ මිය ගිය පළමු ගර්භණී මාතාව රාගම ප්‍රදේශයෙන් වාර්තා වූවේ ඉකුත් සතියේය. එම ඛේදජනක පුවත සමග කොවිඩ් රෝගයේ බරපතලකම ගැන පණිවුඩයක් රටටත් ජනතාවටත් ආණ්ඩුවටත් ලබාදී තිබේ. ආණ්ඩුව නිසි මොහොතේ නිසි ක්‍රියාමාර්ග ගත්තේ නම් ඇයගේ ජීවිතය සුරක්ෂිතවීමට තිබුණි. එසේම දැනට ගැබිණි මවුවරුන් 70ක් පමණ කොවිඩ් වැළඳී රෝහල්වල ප්‍රතිකාර ගනිමින් සිටියි.

සිංහල – දෙමළ අලුත් අවුරුදු සමයේ ආණ්ඩුව කොවිඩ් වසංගතයක් තිබුණාද යන්න අමතක කොට කටයුතු කිරීම නිසා ජනතාව සුපුරුදු නිදහස ගෙන ජීවත් වන්නට පටන් ගත්හ. රටපුරා සංචාරක නිකේතන පිරී ඉතිරී ගියේ ජනතාව නිදහස උපරිම ලෙස භුක්ති විඳිමිනි.
කොවිඩ් මර්දන රාජ්‍ය ඇමතිනිය අලුත් අවුරුදු සමයේ රට වසා තබන්නැයි ඉල්ලීමක් කළද ආණ්ඩුව ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වූවේ නැත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද ගම සමඟ පිළිසඳරේ යෙදෙමින් ගමින් ගමට යාම නිසා ජනතාව සිතුවේ දැන් කොවිඩ් අවසන්ය කියාය.
අලුත් අවුරුද්දෙන් පසු කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමග ආණ්ඩුව යළි ප්‍රදේශ හුදෙකලා කරමින් සංචරණ සීමා පැනවුව ද ඒ වන විට රෝගය ව්‍යාප්ත වී අවසන්ය. කොවිඩ් 19 රෝගයේ බි්‍රතාන්‍ය ප්‍රභේදය රටතුළ පැතිරෙන බවට සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ අප්‍රේල් මස 08 දාය. නමුත් එය ක්‍රියාත්මක නොවීම නිසා ජනතාව රෝගීන් ලෙස නිවෙස්වලට කොටුව සිටියි.
කොවිඩ් රෝගීන් 2000කට ආසන්න පිරිසක් රටපුරාම රෝහල් නොමැතිව නිවෙස් හි සිටින බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. මේ වන විට රෝහල්වල ධාරිතාව පැන රෝගීන් වාර්තාවීම නිසා රෝගීන්ට නිවෙස්වලට වී සිටීමට සිදුව තිබේ.
නිසි අවස්ථාවේ රෝහලක් නොමැතිවීම හේතුවෙන් රෝගීන් දෙදෙනෙකු මේ වන විට මියගොස් තිබේ. ඉන් එක් රෝගියෙකු වාර්තා වන්නේ අම්බලන්ගොඩිනි. ඔහු රෝගියෙකු බවට තහවුරුවීමෙන් පසු එම රෝගියාට නිවසේ රැඳී සිටීමට වූවේ රෝහලක් ලැබෙන තෙක්ය. නමුත් එදින සවස ඔහුට හුස්ම ගැනීමේ අපහසුතා මතුවීම නිසා ඥාතීන් වහාම වෛද්‍ය බලධාරීන් දැනුවත් කරන්නට වූහ. එහෙත් වෛද්‍ය බලධාරීන්ට රෝහලක් හෝ ගිලන් රථයක්වත් සොයා ගැනීමට නොහැකි වූවේ රෝගීන් වාර්තාවීම අධිකවීම හේතුවෙනි.
පසුව ගිලන් රථයක් නිවෙසට යන විට රෝගියා මියගොස් හමාරය. ඥාතින් පැමිණි පිරිසට බැන වැදුණේ දැන් පැමිණ ඵලක් ඇතිදැයි විමසමිනි. සෞඛ්‍ය සේවකයන් ද ඒ අවස්ථාවේ අසරණය. දෙවන අවස්ථාව වාර්තා වන්නේ තිරප්පනේ ප්‍රදේශයෙනි.
යුද හමුදාවේ සේවය කොට විශ්‍රාම ගත් එම තැනැත්තා බැංකුවක පෞද්ගලික ආරක්ෂකයෙකු ලෙස සේවය කළේ හලාවත ප්‍රදේශයේය. එහිදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඖෂධ නියම කළ රෝහල් බලධාරීන් පී.සී.ආර්. පරීක්ෂණයකට ද රෝගියා යොමු කර තිබුණි. පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාදවීමත්, රෝගය උත්සන්න වීමත් යන කරුණු මත හිතවතෙකු ඔහුව නිවසට ඇරලවා ඇත. පී.සී.ආර්. පරීක්ෂණයෙන් කොවිඩ් රෝගියෙකු ලෙස වාර්තා වීම නිසා ඔහුට රෝහලක් ලැබෙන තෙක් නිවසේ රැඳීමට සිදුවිය.
නිවසේදී රෝගය උත්සන්න වීම හේතුවෙන් නිවැසියන් සෞඛ්‍ය බලධාරින් දැනුවත් කළ අතර
රෝගියා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට රැගෙන යද්දී මිය ගොස් තිබුණි. රෝහල් ලැබෙන තෙක් රෝගියා
නිවසේ රඳවා තබා ගන්නා ලෙස පවසන සෞඛ්‍ය සේවකයෝ හොඳින් ආහාර ගන්නා ලෙසත්, හුමාලය අල්ලන ලෙසත්, නිවසේ සිටින අනෙක් පුද්ගලයන්ගෙන් වෙන්ව සිටින ලෙසත් උපදෙස් දෙනු ලබයි. හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි රෝග ලක්ෂණ පහළ වුවහොත් දැනුවත් කරන ලෙස ද සෞඛ්‍ය අංශ උපදෙස් දී රෝගියා රෝහලක් ලැබෙනතුරු නිවසේ රඳවයි.
මෙලෙස දින 14 ක්ම රෝහලක් නොමැතිව නිවසේ සිටි පුද්ගලයෙකු මීගමුව ප්‍රදේශයෙන් වාර්තාවේ. ඔහු රෝග ලක්ෂණ පහළවීම නිසා පෞද්ගලික රෝහලකින් පී.සී.ආර්. පරීක්ෂණයක් කරගෙන ඇති අතර එහි ප්‍රතිඵල අනුව ඔහු ආසාදිතයෙකු ලෙස පෙන්වා දී ඇත. ඒ අනුව ඔහුට වහාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙස පෞද්ගලික රෝහලෙන් උපදෙස් ලැබී තිබේ. ඒ අනුව ඔහු මහජන සෞඛ්‍ය පරීක්ෂක දැනුවත් කර ඇති අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ද දැනුවත් කර තිබේ.
නමුත් දින 14 ක් යනතුරු ඔහුට රෝහලක් ලැබී නැත. පෞද්ගලික අංශයෙන් පරීක්ෂණ කර ගත් බැවින් ඔහු පෞද්ගලික අංශයේ රෝහලක් ද නේවාසික ප්‍රතිකාර වෙනුවෙන් වෙන් කර ගැනීමට උත්සාහ කළ ද එම රෝහල් ද පිරීයාම නිසා එය ද අතපසුවී තිබේ.
පෞද්ගලික රෝහල් ද හෝටල් ද ගෙන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන අතර දිනකට රුපියල් 8,000ත් රුපියල් 20,000ත් අතර පරාසයක මුදලකට ඒවායේ නැවතී ප්‍රතිකාර ගත හැකිය. නමුත් රෝගීන් වැඩි වැඩියෙන් වාර්තාවීම නිසා පෞද්ගලික රෝහලක නැවතී ප්‍රතිකාර ගැනීමට ද පොරොත්තු ලේඛනයේ සිටීමට රෝගීන්ට සිදුව තිබේ.
එන්නත්කරණය ද මේ වන විට කඩා වැටීමකට ලක්ව ඇත්තේ දෙවන මාත්‍රාව දීමට තරම් එන්නත් තොග නොමැතිවීම හේතුවෙනි. පළමු මාත්‍රාව ලක්ෂ 9කට අධික පිරිසකට දුන්න ද, ඉන්දියාවෙන් ඇණවුම් කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් නොලැබීම නිසා එය අතරමග නතර වී තිබේ. සෞඛ්‍ය බලධාරීන්ට හා රෝගීන්ට සමීප වන නිලධාරීන්ට පමණක් දෙවන මාත්‍රාව ලබාදීමට අවසානයේ තීන්දු කෙරිණි. නමුත් දෙවන මාත්‍රාව දීමද සෞඛ්‍ය බලධාරින් පසෙකලා දේශපාලඥයින් සම්බන්ධවීමේ සිද්ධියක් කුරුණෑගලින් වාර්තා වේ. මේ ගැන පාර්ලිමේන්තුවේදී ද අදහස් හුවමාරු කෙරිණි.
කුරුණෑගල සෞඛ්‍ය බලධාරීන්ට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව දීම වෙනුවෙන් එන්නත් 9600ක් කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත යවා තිබුණි. මෙම එන්නත්වලින් එන්නත් 50ක් පමණ කුරුණෑගල නගරාධිපතිවරයා තමන්ට හිතවත් පිරිස් වෙත ලබාදීමට කටයුතු කර තිබු අතර පසුගිය සතියේ සඳුදා ඒවා හිතවත් පුද්ගලයන් වෙත නිකුත් කර තිබුණි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා මැදිහත්ව එය නතර කර තිබූ අතර සඳුදා දහවල් 12.00ට එය නතර කරන විට එක් ස්ථානයකදී පමණක් පුද්ගලයන් 22 ට දෙවන මාත්‍රාව ලබාදී තිබුණි. මෙහිදී නගරාධිපතිවරයාගේ සමීපතම කුරුණෑගල ප්‍රධාන දේශපාලඥයාගේ ඥාතීන්ද එහි සිටි බවට කුරුණෑගල සෞඛ්‍ය අංශ පවසයි.
එන්නත් නොගෙන්වා පැණියක් පසු පස දිවූ ආණ්ඩුව, එන්නත රෝගයට එකම බෙහෙත බව දැන් පවසමින් සිටියි. ඇමෙරිකාව හා එංගලන්තය එන්නත් අතිරික්තයක් ලෙස මිලදී ගෙන, ගබඩා කර ගෙන සිටිය ද ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව එන්නත් ගෙන්වීමේ වැඩපිළිවෙලක් සකස් නොකිරීම නිසා ලැබුණු එන්නත් ද කළමණාකරණය කරගැනීමට නොහැකි වී තිබේ.
පළමු මාත්‍රාව ගත් ලක්ෂ 5ට පමණ දෙවන මාත්‍රාව ලබාදීමට නොහැකි වී ඇත. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් ඩ එන්නතෙන් එන්නත් 15000ක් ලංකාවට ලැබී තිබේ. එම එන්නතේ තවත්
තොගයක් මේ මස අවසන්වන විට ලැබෙනු ඇතැයි ආණ්ඩුව පවසයි. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන දෙවෙනි මාත්‍රාව ලබාගැනීමට නොහැකිවූ පිරිසට දෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබාදිය හැකිද යන්න ගැන දැන් ආණ්ඩුව පරීක්ෂණ පවත්වමින් සිටියි.
නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත්තේ පළමු මාත්‍රාව දුන් එන්නතම දෙවෙනි මාත්‍රාව ලෙස ද දිය යුතු බවය. මන්ද මෙය නව එන්නතක් වන බැවින් එහි අතුරුඵල පිළිබඳව තවමත් පැහැදිලි තක්සේරුවක් නොමැත. එහෙත් ආණ්ඩුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය බැහැර කරමින් වෙනත් විශේෂඥ මත සොයමින් සිටින්නේ වෙනත් එන්නත් මාත්‍රාවක් දෙවන මාත්‍රාව ලෙස දීමටය.
රටේ දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තාවීමට පටන් ගැනීම නිසා ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් හුදෙකලා කිරීම් ආරම්භ කර තිබේ. පොලිස් බල ප්‍රදේශ මට්ටමින් හුදෙකලා නොකොට ග්‍රාමසේවා වසම් මට්ටමින් හුදෙකලා කිරීම නිසා සංචරණ සීමා පැනවීම නිසි පරිදි කිරීමට ආරක්ෂක අංශ වෙත නොහැකිවී තිබේ.
මේ අතර පිළියන්දල පොලිස් බලප්‍රදේශයට ඇඳිරි නිතිය පැන වීමට ප්‍රදේශය බාර වෛද්‍ය නිලධාරිවරයා කටයුතු කළ ද පසුව ඇමති ගාමිණි ලොකුගේ මැදිහත්ව එය වෙනස් කරනු ලැබීය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු බලධාරින් රට සති 2 ක් වසා තබන ලෙස ඉල්ලීම් කලද දේශපාලඥයන් එය වෙනස් කරනුයේ තමන්ගේ ව්‍යාපාර කඩා වැටෙන නිසාය. පිලියන්දලින් පෙන්වන්නේ රටේම ප්‍රදේශ හුදෙකලා කරන්නේ කවරාකාරයෙන්ද යන පණිවුඩය බව නම් පැහැදිලිය.
සති දෙකක කාලයකට සියළු විවාහ මංගල උත්සව මෙන්ම සියළු උත්සව තහනම් කරනු ලැබුවේ ඉකුත් 04 දාය. 03 දා සිට එය නොකොට 04 දා මධ්‍යම රාත්‍රියේ සිට එම තහනම පැනවුවේ යුද හමුදාපතිවරයාගේ හිතවතෙකු වන ගජබා රෙජිමේන්තුවේ නිලධාරියෙකුගේ දියණියකගේ විවාහ මංගල උත්සවයකට අවසර දීම වෙනුවෙනි. ඊට යුදහමුදාපතිවරයා ද ආරාධිතයෙකු ලෙස සහභාගී වී තිබේ.
ආණ්ඩුව කොවිඩ් මර්ධන නීති පනවන්නේ තමන් හිතවතුන්
රැකෙන පරිදි බවට මෙයින් මනාව පැහැදිලි වේ. ආණ්ඩුවට කොවිඩ් මර්ධනය කිරීමට අවශ්‍ය නැත. ආණ්ඩුවට අවශ්‍ය වන්නේ කොවිඩ් තබාගනිමින්, අනිකුත් සමාජ, දේශපාලන හා අර්ථික අර්බුද යට ගසමින් ජනතා ඡන්දය ලබා ගැනීමට පමණකි.
-ලසන්ත වීරකුලසූරිය

Leave A Reply

Your email address will not be published.

three × 4 =