වරාය නගර කොමිෂන් සටන ආණ්ඩුව දැනට පරාදයි !

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පසුගිය 06 දා පවසා තිබිණි. ඒ නිගමනය ලැබී ඇති බව ද ඔහු සඳහන් කර තිබිණි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබුණේ පසුගිය 05 දා මේ පනත් කෙටුම්පතට අදාළ විවාදය පවත්වා, ඡන්ද විමසීම පැවැත්වීමට ය.

හදිසියේම ආණ්ඩුව පැත්තෙන් 05 දා ඒ වැඩේ නොකෙරෙන බව නිවේදනය කළේය. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කතා අහන්නට එදින පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය. ඒ ගැන ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ එසේය. කතා අහන්නට පැමිණි බව ය. කෙසේ වෙතත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ වරාය නගර කොමිසමට අදාළව ආණ්ඩුවට අඩියක් පස්සට ගන්නට සිදු වී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් ඇතුළේ මත ගැටුමක් ඇති බව ද පැවසේ.

සාමාන්‍යයෙන් පනත් කෙටුම්පතක් පළමු වර කියවීමෙන් දින 07ක් ඉක්මවූ දිනකදී දෙවැනි වර කියවීම සිදු කරයි. එම දිනය තීරණය කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව යටතේ, පනත් කෙටුම්පතකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වූ අවස්ථාවකදී, එවැනි පනත් කෙටුම්පතක් දෙවැනි වර කියවීම සඳහා දින නියම කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ පිළිබඳ නිගමනය ස්ථාවර නියෝග 55 (2) ප්‍රකාරව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්කිරීමෙන් පසුවය. දැන් මේ වැඩේ 18න් පස්සට කල්ගොස් තිබේ. පනත් කෙටුම්පතක් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය පෙත්සම් විභාගය අවසන් කර, දින 21ක් තුළ පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුය. දැන් තියෙන්නේ එසේ ලැබී ඇති නිගමනය ඉදිරිපත් කිරීම ය.

කොවිඩ් මොනවද – ඉඩම දෙනවද !

කොවිඩ් 19 වසංගත තත්ත්වය නොසලකා චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනකු ලංකාවේ සංචාරය කිරීම ගැන ද මේ අතරතුර මතක් කළ යුතුය. පසුගිය වසරේ චීනයේ විදේශ කටයුතු පිළිබඳ ප්‍රධානියා වන යැං ජිචි ලංකාවට ආවේය. ඉන්පසු මේ වසරේ තුන්වැනි කොවිඩ් රැල්ලත් සමගම චීන ආරක්ෂක ඇමැති වී ෆෙන්ග් ලංකාවට පැමිණියේය. ඔහු බොරැල්ල හරහා යනවිට, මාර්ගය වසාදැමීමට එරෙහිව වාහනවල නළා හැඬවීම නිසා තරුණයෙකු අත්අඩංගුවට ගැනීම ද සිදු විය. ඒ මොහොතේ පොලිසිය පාර්ශ්වයෙන් ඒ නළා හැඬවීමට අදාළව කිසිදු පියවරක් නොගත් අතර, පසුව හදිසියේ මේ විරෝධය සංවිධානය කළ බවට චෝදනා කරමින් අදාළ තරුණයා අත්අඩංගුවට ගැනිණි. ඒ, මෙවැනි විරෝධයක් වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතියට අදාළ වන බවට අමරතුංග එදිරිව සිරිමාල් නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී තිබියදී ය. ඒවා අදාළ නැත. සමාජ මාධ්‍යවල උපහාසාත්මකව සඳහන් වූයේ අයිතිකාරයා වත්ත බලන්නට එද්දී, ඊට විරෝධය පළකරන්නට හෝ කෑගසන්නට වත්තේ තාවකාලික පදිංචිකරුවන්ට අයිතියක් නැති බවකි.

අධිකරණයෙත් අමතර කතා

මේ භූමිකාව ගැන සැකසංකා මතු වූ තවත් අවස්ථාවකි, මේ විරෝධය සංවිධානය කළ බවට චෝදනා එල්ල වූ තරුණයා සම්බන්ධයෙන් අධිකරණ නිලධාරීන් කටයුතු කළ ආකාරය. මේ තරුණයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය පවසා තිබුණේ ‘පොර වෙන්න හදන්න එපා, හැමදේටම පිස්සො වගේ හැසිරෙනවා‘ යනුවෙන් ය. පසුගිය 30දා මේ තරුණයා අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී තරුණයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ ඔහු ඔස්ටේ්‍රලියාවේ සිට මෑතකදී ලංකාවට පැමිණි බවයි. ඔස්ටේ්‍රලියාවේ අගමැතිවරයා මාර්ගයේ යන අවස්ථාවලදීවත් මෙවැනි සීමා පනවන්නේ නැති බව නීතිඥවරු කීහ.
‘ඒ ඔස්ටේ්‍රලියාවේ. මේ ලංකාවනේ…. තමුන්ට රටට ආදරයක් නැත්නම්… එන්න එපා, ඔස්ටේ්‍රලියාවට වෙලා ඉන්න. …. තමුන් ඇති කතා කළා. තමුන් කතා කළ හැටි මම දැක්කා සමාජ මාධ්‍යවල….‘
මෙහිදී අදාළ විනිසුරුවරිය මේ අදහස් ද දක්වා තිබිණි. නඩුවක සැකකරුවෙකු සම්බන්ධයෙන් මෙවැනි දේ පැවසීම විනිසුරුවරයෙකු විසින් නොකළ යුතු බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නීතිඥවරු පෙන්වා දෙති. ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය මෙහිදී සලකා ඇද්ද යන්න සම්බන්ධයෙන් ගැටළුවක් මතුවන බව ද ඔවුහු සඳහන් කරති. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් 2010 සැප්තැම්බර් 01 වැනිදා නිකුත් කළ චක්‍රලේඛ අංක 328ට අනුව, අධිකරණයේ ස්වාධීනත්වයට සහ ගෞරවයට හානි සිදුවන බැවින් විනිශ්චයකාරවරුන් නඩු කටයුතුවලදී නඩුවට අදාළ නොවන ප්‍රකාශ විවෘත අධිකරණයේ ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතුය.

සල්ලි නම් චීනෙ තමයි !

මේ අතර චීනයේ විදේශ ඇමැති වැන්ග් යී ද ලබන මාසයේ ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත ය. ඔහුගේ කලාපීය සංචාරය තුළ ලංකාවට පැමිණීම ද සිදුවන බව පැවසේ. එහෙත් ලංකාව චීනයට මේ වෙලාවේ සුවිශේෂී බව මේ රාජ්‍ය තාන්ත්‍රික ගමන්වලින් පමණක්ම වුවද පෙනේ. මේ අතරවාරයේ කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණය පිහිටි ඉඩම ඇතුළු වරාය නගරය අවට වැදගත් වාණිජ ඉඩම් කිහිපයක් ද චීන ආයෝජන ව්‍යාපෘති සඳහා ලබාදීමට සැලසුම් කෙරෙමින් ඇති බව වාර්තා වේ. එහි මූලික පියවර දැනටමත් සිදු වී අවසන් ය. 1976 වසරේ සිට කොළඹ මහ නගර සභාව යටතේ තිබූ කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණය පිහිටි ඉඩම වහාම ක්‍රියාත්මක වන පරිදි නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට අදාළ ගැසට් නිවේදනය විෂය භාර ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ විසින් මීට සති දෙකකට පෙර නිකුත් කළේය.
මේ අතර පසුගිය 03 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අගමැති මහින්ද රාජපක්ෂ විසින් තවත් විශේෂ යෝජනාවක් ඉදිරිපත් කරන ලද අතර, එය ඒ මොහොතේම සම්මත කෙරිණි. ‘මහජන චීනයේ වයිට් හෝස් විහාර පරිශ්‍රයේ ශ්‍රී ලාංකික සම්ප්‍රදායේ බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කරන ලදි.’ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ අංක 01 යටතේ එසේ සඳහන් විය. අපිට සලකන විදිහට, අපිත් සලකන්නේ එහෙම ය.

යටි උපක්‍රම කා වෙනුවෙන් ද?

පසුගිය අප්‍රේල් 08 දා කොළඹ වරාය නගරයට අදාළ කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ලංකාවේ දැනට ක්‍රියාත්මක බදු පනත් 07ක් එම ප්‍රදේශයට අදාළ නොවන බවත්, තවත් පනත් 14ක් මෙම ප්‍රදේශය තුළ වෙනස් කිරීමට හෝ නිදහස් කිරීම්වලට යටත් බවත් කෙටුම්පතේ සඳහන් යෝජනා අතර විය. මුදල් විශුද්ධිකරණය කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට මේ නගරය පත්වීමේ අනතුරක් සම්බන්ධයෙන් ද අදහස් පළවිය. එසේම මෙම ප්‍රදේශය ලංකාවේ කිසිදු පළාත් පාලන ආයතනයකට හෝ පරිපාලන ව්‍යුහයකට ඇතුළත් නොවන බව ද ප්‍රකාශ විය. මෙම ප්‍රදේශය තුළ පදිංචි පුරවැසියන්ට මෙරට ඡන්ද බලය හිමි නොවේ. මේ සියල්ල වෙනුවට පහත්, හතත් අතර පිරිසකගෙන්
යුත් කණ්ඩායමකට මෙම ප්‍රදේශයේ අධිකාරි බලය හිමි වේ. මේ කෙටුම්පතට අනුව එම පුද්ගලයන් ශ්‍රී ලාංකිකයන් වීම අත්‍යවශ්‍ය නොවේ. මේ පිරිසෙන් බහුතරයක් ශ්‍රී ලාංකිකයන් වන බවට වන සංශෝධනයක් ඉදිරිපත් කරන බවට ආණ්ඩුව පාර්ශ්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණි.

මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ මුල් අවස්ථාවේ සිටම ආණ්ඩුවට යටි අරමුණක් තිබූ බව පැහැදිලි විය. උදාහරණයක් ලෙස මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ අප්‍රේල් 08 දා ය. ව්‍යවස්ථාවට අනුව පනත් කෙටුම්පතකට එරෙහිව පුරවැසියෙකුට අධිකරණයට යා හැක්කේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනයේ සිට සතියක් තුළ ය. ඒ අනුව 09 සිකුරාදා අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමේ ප්‍රායෝගික හැකියාවක් නොතිබිණි. 10 සහ 11 සෙනසුරාදා සහ ඉරිදා විය. 12 දින විශේෂ නිවාඩු දිනයක් බවට ආණ්ඩුව ප්‍රකාශයට පත්කළේය. 13 සහ 14 අවුරුදු නිවාඩු දින විය. ඒ අනුව මෙම පනතට එරෙහිව අධිකරණයට යා හැකි දිනයක් ලෙස ඉතිරිව තිබුණේ 15 දා පමණකි. කෙසේ වෙතත් ඒ යටි අරමුණ පරාජය විය. ශේෂ්ඨාධිකරණය ඉදිරියේ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කෙරිණි.
පසුගිය 30දා පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුව පාර්ශ්වයෙන් පවසා තිබුණේ අදාළ තීන්දුව මැයි 04දා වන විට කතානායකවරයාට ලැබෙන බවත්, 05දා විවාදය පවත්වන බවත්ය. මෙවැනි වැදගත් සහ බලපෑම් සහගත පනතක් සඳහා එක් දින විවාදයක් ප්‍රමාණවක් නැති බව විපක්ෂය විසින් පෙන්වා දුන්නද, කොවිඩ් අවදානම ඉදිරිපත් කරමින් එය ප්‍රතික්ෂේප කෙරිණි. කෙසේ වෙතත් කුමක් හෝ හේතුවක් නිසා ආණ්ඩුවේ මුල් අරමුණ පරාජයට පත්වූවා මෙන්ම මේ අරමුණ ද වෙනස් කරන්නට සිදු විය.

අධිකරණය පිට පමණක් පැටවිය හැකිද?

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවද, එමගින් තීරණය කෙරෙන්නේ කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලද, නැද්ද යන්න පමණි. මෙවැනි තීන්දුවක ඇති සමාජ – ආර්ථික වාසි-අවාසි පිළිබඳව එහිදී අවධානයක් යොමු නොකෙරේ.
වර්තමාන ආණ්ඩු පක්ෂය විපක්ෂයේ සිටියදී දිගින් දිගටම කිව්වේ ලංකාවේ සිදු වූ අපරාධ ගැන හොයන්නට විදේශීය පාර්ශ්ව අනවශ්‍ය බවයි. ඒවා විදෙස් අතපෙවීම්, අධිරාජ්‍යවාදී මැදිහත්වීම් ලෙස විවිධ ආකාරයෙන් හැඳින්විණි. ඒත් දැන් ඒ කතා කියූ පාර්ශ්වය නියෝජනය කරමින් කෙටුම්පත සම්බන්ධයෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයට කිව්වේ විදේශීය මැදිහත්වීම්වල වරදක් නැති කතාවකි. අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පවා පත්කිරීමේදී මෙරට පුරවැසියෙකු යන්න සඳහන් නොවන බවත්, වරාය නගර කොමිසමට ද එම ඉඩ තැබිය යුතු බවත් නීතිවේදීහු අධිකරණයේදී පෙන්වා දුන්හ.

මේ කොමිසම වෙනත් ඕනෑම පනතක් යටතේ ඇති නියාමන අධිකාරියක බලතල සහ කාර්යයන් ක්‍රියාත්මක කරන අතර, සෑම නියාමන අධිකාරියක්ම කොමිසම ඉල්ලා සිටින කාරණයන්ට ප්‍රමුඛත්වය දී කටයුතු කිරීම අනිවාර්ය වේ. එනම් මෙහි නියාමන අධිකාරි යනු රාජ්‍ය ආයතන වේ. ඒවා අනෙකුත් කරුණු සියල්ල පසෙකලා කොමිසමේ අරමුණු ඉටුකළ යුතුය. කොමිසමට අවශ්‍ය දේ ප්‍රතික්ෂේප කිරීමට ද නොහැක. මේ අනුව එම නියාමන අධිකාරිවලට ඇති අභිමතයන් සහ බලතල ඉවත් වේ. එසේ කිරීම අත්තනෝමතික වන අතර, ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියෙන් සහතික කර ඇති නීතියේ රැකවරණයේ සර්ව සාධාරණත්වය ද උල්ලංඝනය වන බව නීතිවේදීහු පෙන්වා දෙති.
රොමේෂ් ද සිල්වා ජනාධිපති නීතිඥවරයා පවසා ඇති ආකාරයටම නාගරික සංවර්ධන අධිකාරියේ පාලක සභාවේ සාමාජිකයන් මෙන් වරාය නගර කොමිෂන් සභාවේ සාමාජිකයන් පස් දෙනා ශ්‍රී ලාංකික පුරවැසියන් වීම අනිවාර්ය නැත. වෙනත් රටවලට බැඳීම් ඇති පුද්ගලයන්ට මෙතරම් සුපිරි බලතල ලබාදීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමුවන වගන්තියෙන් සහතික කර ඇති ශ්‍රී ලංකාවේ නිදහස, ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය උල්ලංඝනය නොවන්නේදැයි නීතිවේදීහු ප්‍රශ්න කරති. එසේම එයින් ව්‍යවස්ථාවේ 2 හා 3 වගන්තිවලින් සහතික වන ජනතාවගේ පරමාධිපත්‍යයද උල්ලංඝනය වන බව නීතිඥවරයා පෙන්වා දෙයි.

ව්‍යවස්ථාව මොනවටද?

කෙටුම්පතේ 26 වැනි වගන්තියට අනුව වරාය නගරය තුළ ව්‍යාපාර කළ හැක්කේ කොමිසමේ අවසර ලැබූ අයට පමණි. 27 වැනි වගන්තියට අනුව සියලු ආයෝජන විදේශ විනිමයවලින් පමණක් විය යුතුය. ශ්‍රී ලංකාවේ බැංකුවක තැන්පත් කර ඇති විදේශ විනිමය පවා මෙහි ආයෝජනය සඳහා භාවිත කිරීමට නොහැකිය. මේ අනුව ශ්‍රී ලාංකිකයන්ට රුපියල් පමණක් නොව නීත්‍යනුකූලව ශ්‍රී ලංකාව තුළ ගිණුමක ඇති විදේශ විනිමය පවා වරාය නගරය තුළ ආයෝජනය කළ නොහැක. මෙම ප්‍රතිපාදන පැහැදිලි ලෙසම අත්තනෝමතික මෙන්ම ශ්‍රී ලාංකිකයන්ට වෙනස් ලෙස සලකන ඒවා බැවින් එමගින් ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියෙන් සහතික කර ඇති සමානාත්මතාව ඔවුන්ට නොලැබෙන බවත්, එසේම 14(1)(උ) වගන්තියෙන් සහතික කර ඇති වෙළෙඳ ව්‍යාපාර සහ ව්‍යවසායයක නියුක්තවීමේ නිදහස ද අහිමි වේ.
පනත් කෙටුම්පතේ 62 වැනි වගන්තියට අනුව කොමිසම සම්බන්ධ සියලු ආරවුල් බේරුම් කිරීම් මගින් විසඳා ගැනීම අනිවාර්ය ය. ශ්‍රී ලාංකික අධිකරණ මේ අනුව මග හැරේ. නගරය තුළින් පැනනැගෙන, කොමිසම සම්බන්ධ නොවන, වෙනත් ඕනෑම සිවිල් හෝ වාණිජ නඩු යම් අධිකරණයක ඇති විට එම නඩුවලට ප්‍රමුඛතාව දී දිනපතා නඩු විභාග පැවැත්විය යුතුය. අසනීප වැනි පෞද්ගලික හේතු මත පවා නීතිඥවරයෙකු අධිකරණයට පැමිණීමට නොහැකි වීම නඩුව කල් දැමීමට හේතු නොවේ. මෙම ප්‍රතිපාදන අත්තනෝමතික වන අතර, ඒවායින් ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තිය උල්ලංඝනය වන බව නීතිවේදීන්ගේ අදහසයි.

මුල සිටම එහෙම තමයි !

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළ පළමු පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් අනුමැතිය සඳහා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද්දේ 2011 වසරේදී ය. ඉතාම දුර්වල හා අසම්පූර්ණ වාර්තාවක් ලෙස එය ඉදිරිපත් කර තිබිණි. නමුත් එම වාර්තාව 2011 ජුනි 11 වැනි දින සිට රජයේ වැඩකරන දින 30ක කාලයක් මහජන අදහස් සඳහා විවෘත කරන ලදි. ඒ වාර්තාව සකස් කර තිබුණේ හෙක්ටයාර් 200ක භූමියක් මුහුද ගොඩකර ලබාගැනීම සඳහා ය.
පසුව 2012 වසරේදී චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගම මගින් ඉදිරිපත් කළ යෝජනාවලියට අනුව මුහුද ගොඩකර හෙක්ටයාර් 233ක භූමියක් ලබාගැනීමට යෝජනා විය.

ඒ අනුව පළමු පරිසර බලපෑම් තක්සේරු වාර්තාවට ඇමුණුම් වාර්තාවක් සකස් කර, අදාළ සමාගම වෙනුවෙන්
ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් නැවත වරක් ව්‍යාපෘතිය අනුමත කිරීමේ ආයතනය වන වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලදි. එම වාර්තාව මහජන අදහස් සඳහා විවෘත නොකෙරිණි. වගකීම් විරහිතව 2014 ඔක්තෝබර් 23 වැනි දින ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය වන වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත කොන්දේසි 42කින් සමන්විත අනුමැතියක් මීට ලබා දී තිබේ. එම අනුමැතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලැබීමට පෙර චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගම 2014 සැප්තැම්බර් 16 වැනි දින සිට මුහුද ගොඩකිරීම් කටයුතු ආරම්භ කෙරිණි. අනුමැතිය ලබාදීමට මාසයකට පෙර ගොඩකිරීම් කටයුතු නීතිවිරෝධීව මෙම සමාගම ආරම්භ කර තිබූ අතර, අනුමැතිය ලබාගත් ව්‍යාපෘති යෝජක වන ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවට මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන ලද්දේ චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගම ය. මෙය කුමන නීතිමය පදනමක් මත සිදුවූයේ ද යන්න ගැටළුවකි. වරාය නගරය ආරම්භයේ සිට ම චීනයේ ආධිපත්‍යයට යටත් වී තිබුණේ එසේ ය.

බඩරස්සාව බේරාගැනීම වෙනුවෙන් !

දැන් ගෝඨාභය – මහින්ද ඇතුළු පිරිස සිටින්නේ චීන අයිතිකාරයාට පොර ටෝක්ස් දී, වැඩේ කරගන්නට බැරිව, මගහරින වත්තේ මුරකරුවන් වගේ ය. පුරවැසියන් ආණ්ඩුවේ සියලු යටි උපක්‍රම පරාජය කිරීමට දැනට සමත් වී තිබේ. එම නිසා ම දැන් වැඩේ ඇත්තේ භයානක තැන ය. කොහොම හරි වැඩේ කරගැනීමට මුරකරුවන් සැලසුම් සකස් කරනු ඇත. නැතහොත් මුරකරුවන්ට රස්සාව නැති වේ. ටික – ටික වැඩේට
කල්ගන්නේ ඒකට ය. ඔවුන් තමන් වෙනුවෙන් සියලු
නීති – සදාචාර උල්ලංඝනය කිරීමට දෙවරක් සිතන බවට පෙන්වූ පිරිසක් නොවේ. සියල්ලන් අවදියෙන් සිටිය යුතුය.
-ශාලික විමලසේන

Leave A Reply

Your email address will not be published.

17 − two =