පී.සී.ආර්. නෑ – බන්ධනාගාර රැඳවියන් අවදානමේ !

කොවිඩ් 19 වසංගතයෙන් බන්ධනාගාර රැඳවියන් බේරා ගැනීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස ‘සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව’ විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ.
කොමිසමේ සභාපති ජගත් බාලසූරිය වෙත පැමිණිල්ලක් යොමු කරමින් එම කමිටුව පෙන්වා දී ඇත්තේ, මේ වන විට අඟු‍ණකොළපැලැස්ස බන්ධනාගාරයෙන් ආසාදිතයන් හමු වී ඇති බවත්, එම ආසාදිත රැඳවියන් සම්බන්ධයෙන් මෙන්ම එහි සිටින සෙසු රැඳවියන් සම්බන්ධයෙන් ද අනුගමනය කරන ක්‍රමවේද සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් මතුව ඇති බවත් ය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පවසන්නේ, ආසාදිත රැඳවියන් ඉවත් කර ඇති බව බන්ධනාගාර අධිකාරිවරයා විසින් පැවසුව ද, එම රැඳවියන් ඉවත් කර ප්‍රතිකාර සඳහා යොමු කර ඇත්තේ කුමන ස්ථානයකට ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලබා නොදෙන බවයි.
කමිටුවේ සභාපතිවරයාගේ සහ ලේකම් සුදේෂ් නන්දිමාල්ගේ අත්සනින් යොමු කර ඇති මේ ලිපියේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ, මේ වන විට රැඳවියන් 25,000කට අධික ප්‍රමාණයක් මෙරට බන්ධනාගාර තුළ සිටින බවයි.
බන්ධනාගාර පද්ධතිය තුළ තිබෙන අධික තදබදයත්, ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් නොමැති වීමත් නිසා බාහිර සමාජයට වඩා කිහිප ගුණයකින් බන්ධනාගාර තුළ කොවිඩ් 19 ව්‍යාප්ත වීමේ ඉහළ සම්භාවිතාවක් පවතී. බන්ධනාගාර තුළ පී.සී.ආර්. පරීක්ෂණ නොකිරීම නිසා තත්ත්වය තවත් භයානක අඩියකට වැටී තිබේ.

Leave A Reply

Your email address will not be published.

four × five =