පසුගිය කාලයේ සිදු වූ බරපතළ අපරාධ ගණනාවක් සම්බන්ධයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විමර්ශන වල වාර්තා අසම්පූර්ණ සහ අවිනිශ්චිත බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. මේ බව අනාවරණය වී ඇත්තේ අදාළ විමර්ශන වාර්තා නීතිපතිවරයාගේ ඉල්ලීමක් පරිදි වැඩ බලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයා වෙත ලබා දීමත් සමගය.
නීතිපතිවරයා විසින් ඉල්ලා තිබුණේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මූතුර් ඇක්ෂන් ෆාර්ම් නැමති රාජ්‍ය නොවන සංවිධානයේ සාමාජිකයින් 17 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, වසීම් තාජුඩීන් ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීම හා බරපතළ තුවාල සිදු කිරීම, පුද්ගලයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම අපරාධ කිහිපයකට අදාල විමර්ශන වාර්තාය.
කරුණ 06 ක් යටතේ මෙම විමර්ශන වාර්තා අසතුටුදායක බව නීතිපතිවරයා පෙන්වා දෙයි.
1. මෙතෙක් සිදු කර ඇති විමර්ශනවලින් අනාවරණය වන සම්පූර්ණ සාක්ෂි තත්ත්වය අපැහැදිලි වීම.
2. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මූතුර් ඇක්ෂන් ෆාර්ම් නැමති රාජ්‍ය නොවන සංවිධානයේ සාමාජිකයින් 17 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ විමර්ශනය, වසීම් තාජුඩීන් ඝාතනය යන විමර්ශනවලට අදාළ සැකකරුවන් පිළිබඳ පැහැදිලි අනාවරණයක් නොමැති වීම.
3.විමර්ශනවල ඉදිරි සැලැස්ම සම්බන්ධයෙන් අවශ්‍ය කරුණු අනාවරණය නොවීම.
4.මෙම විමර්ශන අවසන් කිරීමට අවශ්‍ය නිශ්චිත කාල සීමාව සඳහන් කර නොමැති වීම.
5.නීතිපතිවරයාගෙන් අවශ්‍ය නෛතික උපදෙස් පැහැදිලිව සඳහන් කර නොමැති වීම.
6.විමර්ශන ආරම්භ කර ඇති දිනය සලකා බැලීමේ දී වසර ගණනාවක් ගත වුවද විමර්ශන මේ වන තෙක් අවසන් නොවීම යන කරුණු නීතිපතිගේ අවධානයට යොමු ව තිබේ.
ඒ අනුව ඉදිරියේදී බොහෝදුරට සිදුවිය හැක්කේ මෙම අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් කිසිවෙකුටත් නීතිය ක්‍රියාත්මක නොවී මෙම සිදුවීම් සම්බන්ධ ලිපිගොනු වසා තැබීමයි.