පිරිමි හිතකට වැඩිය හයියයි ඇගේ හදවත ඇත්තට

දූ පොඩිත්තක් එක්ක එද්දී ගේම එළියයි ඇත්තට
සිඟිති සුරතල් හිනාවෙන් ගෙය පිරී උතුරා යනකොට
ළපටි සියොලඟ පිරී දවසක ඇගේ ළැම උස්වෙනකොට
ඇහුණා මට ගැහැනියක් කීවා ‘කෙල්ල ගෙට වී ඇති‘ බව
මලක් පිපිලා වගේ සුවඳයි ඇගේ මුහුණේ ලස්සන
හඳක් වාගේ දෙකම්මුල් පිරි සුන්දරයි ඈ ඇත්තට
ඒත් මාසෙට වරක් දවසෙම ඇඳේමයි ඈ ඉන්නෙම
බඩ බදාගෙන මොරදෙන්නෙ ගෙයි වහල උඩයන සද්දෙට
කඳුළු පිසදා මැෂිම වාගෙයි වැඩකරන්නේ පසුදින
තේරුණා මට නොහැකි බව ගෙයි වැඩ කරන්නත් තනියම
මිදුල අතුගා විටින් විට ඈ ඉදල තබමින් පැත්තක
කොන්ද අල්ලා හූල්ලයි මං හොරෙන් දැක්කා දවසක
මුකුත් නොවුණා වගේ දරුවන් කර තියන් මුළු දවසෙම
හති දමාගෙන වෙහෙසවෙන හැටි පුදුම හිතුණා දැක්කම
වැඩ ඇරී මං එනවිට දි ඔබ සිනාසී ගෙයි දොරකඩ
“මහන්සි ද?” යැයි අසනවිට මට කඳුළු ආවේ ඔබ ගැන
දරු ගැබක් කුස දරන් ඉන්නා මවක් වාගේ ඇවිදින
තිඹිරිගෙයි කෙඳිරිලි වගෙයි අපෙ කාමරේ අද හරියට
ඇත්තමයි ගැහැනියක් උහුලයි මොන තරම් නම් ගින්දර
පිරිමි හිතකට වැඩිය හයියයි ඇගේ හදවත ඇත්තට

 

■ චමෝදි පෙරේරා
Leave A Reply

Your email address will not be published.

1 × two =