කොරෝනා මරණ වළක්වා නොගැනීම සාපරාධී වරදකි

කොරෝනා තුන්වැනි රැල්ල වේගයෙන් ව්‍යාප්ත වෙයි. ව්‍යාප්තිය වේගවත් වාගේ ම එය භයානක වෛරස් ප්‍රභේදයකි. බී. 1.1.7 නමැති බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය තුන්වැනි රැල්ල මාරාන්තික කොට ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම එය මුලින් ම හඳුනා ගත්තේ ය. ඒ බව අප්‍රේල් මාසෙ අට වැනිදා වන විට ආණ්ඩුවට දැනුම් දුන්නේ ය. බොරලැස්ගමුව ප්‍රදේශයෙන් සොයාගත් රෝගියකු මඟින් මුලින් ම මෙය අනාවරණය කර ගත්තේ ය. මෙහි ඇති භයානක තත්ත්වය නම්, සාමාන්‍ය වාතය හරහා සංක්‍රමණය වීමේ හැකියාව ය. එමෙන් ම ශාරීරිකව ඇති වන හානිදායක තත්ත්වයන් ද මාරාන්තික ය. කලින් ප්‍රභේදය සමඟ උණ, සෙම්ප්‍රතිශ්‍යාවෙන් නතර වන්නේ නැත. වෛරසය සෘජුව ම පෙණහැල්ලට හෝ සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි ගෙන දෙන්නකි.

මෙතරම් මාරාන්තික වෛරස් ප්‍රභේදයක් සමාජගත වන බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙද්දීත්, ඒ ගැන කිසිදු පියවරක් ආණ්ඩුව ගත්තේ නැත. ඒ වෙනුවට කොරෝනා අවසන් වූවා යැයි සිතමින්, කටයුතු කළේ ය. ජනතාවට දුන් පණිවිඩය වූයේ ද එයයි. පී.සී.ආර්. පරීක්ෂණ මුළුමනින් ම පාහේ නැවැත්වී ය. මුල දී ‘ඇන්ටිජන්’ පරීක්ෂාව යම් ප්‍රමාණයකට කළත්, පස්සෙ පස්සේ එයත් නතර කර දැම්මේ ය. කෙළින් ම සෞඛ්‍ය බලධාරීන්ට නියෝග කර තිබුණේ, පී.සී.ආර්. පරීක්ෂණ නවත්වා දමන ලෙස ය. ඒ නිසා ම රෝගීන් ප්‍රමාණය අඩු වීමක් ලෙස සමාජගත කළේ ය. ඒ සාවද්‍ය සන්නිවේදනයත් එක්ක ජනතාවත් එය සැහැල්ලුවට ගත්හ. අලුත් අවුරුදු කාලයේ දී විවිධ ගමන් බිමන්, විනෝද චාරිකා ගියහ. කලින් තිබුණු පරිස්සම හා බිය නැතිවීමෙන් සාමාන්‍ය පරිදි වැඩ කරන්නට පටන් ගත්හ. අවුරුද්දට පෙරාතුව සමහර සෞඛ්‍ය බලධාරීහු අවුරුද්දෙන් පස්සේ මෙහි ව්‍යාප්තිය වැඩි විය හැකි බව කිව්වෝ ය. විශේෂයෙන් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මේ පිළිබඳව අනතුරු ඇඟවූයේ ය. එහෙත්, ආණ්ඩුව එවැනි අනතුරු ඇඟවීමක් නොකෙළේ ය. එපමණක් නොව යෝෂිත රාජපක්ෂලාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළියේ අවුරුදු සැණකෙළියක් ද පැවැත්වූයේ ය. කිසිදු ආකාරයක මුව ආවරණයක් නොමැතිව අවුරුදු උත්සව යුද හමුදාව මූලික වෙලා ම පැවැත්වූයේ ය. ජනාධිපතිවරයා ‘ගම සමඟ පිළිසඳරට’ විශාල ජනතාවක් ඒකරාශී කළේ ය. මේ හැම එකකින් ම පෙන්වූයේ කොරෝනා අවසන් වී තිබෙන බවක් ය. එයත් එක්ක ජනතාව මෙය සැහැල්ලුවෙන් ගත්හ. එහෙත්, තත්ත්වය බරපතළ වූ විට ආණ්ඩුව ජනතාවට දොස් කිව්වේ ය. වැරැද්ද ජනතාව මත පැටවූයේ ය. අදත් එසේ ම ය.

පහුගිය දා පිළියන්දල ප්‍රදේශයේ සිදු වූ සිදුවීමෙන් රටේ ම සිද්ධ වෙන දේ හිතා ගත හැකි ය. කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය මුළු ප්‍රදේශය ම වසා තැබිය යුතු යැයි නිර්දේශ කළා ය. ඒ අනුව තීන්දුව ක්‍රියාත්මක විය. එහෙත්, පැය කිහිපයක් තුළ දී ගාමිණී ලොකුගේ ඇමැතිවරයා මැදිහත්ව තමන්ගේ ව්‍යාපාරවලට බලපාන ප්‍රදේශය විවෘත කර ගත්තේ ය. යුද හමුදාපතිවරයා කිව්වේ, හතරවටින් ආපු බලපෑම් නිසා එසේ කළ බව ය.

පළමු කොරෝනා රැල්ල ආපු වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ කිව්වේ, “විසිඅටක් ලෙඩ්ඩු ඉන්නවා කියලා රට වහන්නෙ කොහොම ද? ඔයිට වඩා යුද්දෙදි පන්දාහ, හයදාහ මැරෙද්දිත් රට වැහුවෙ නැහැ” කියා ය.

අන්තිමේ තත්ත්වය දරුණු වෙන කොට රට වහන්න සිදු වුණේ ය. ඒකෙන් යාන්තම් පළමු රැල්ලෙන් බරපතළ හානියක් නොවී බේරුණේ ය. ඒ තත්ත්වයෙන් නන්දසේනගේ ඉඳලා ආණ්ඩුවේ ඔක්කොම කට්ටිය ඔළුව උදුම්මා ගත්තෝ ය. මුළුමනින් ම එය මැතිවරණයට පාවිච්චි කර ගත්තෝ ය. යුද්ධය අවසන් කළා වාගේ කොරෝනා යුද්ධයත් අවසන් කළා යැයි කයිවාරු ගැසූහ. කොරෝනා මුළුමනින් ම දේශපාලනයක් කර ගත්හ. ඒ මොහොතේ දුර දිග නොබලපු ජනතාවත් ඡන්දය දුන්හ. ඡන්දය ඉවර වෙලා වැඩි කල් යන්න මත්තෙන් දෙවැනි රැල්ල ආවේ ය. ඒ ඉබාගාතේ ගෙන්වා ගත් යුක්රේන ජාතිකයන්ගෙනි. වසංගත රෝග පිළිබඳ ඒකකය නිකුත් කළ වාර්තාවේ ඉතා පැහැදිලිව දෙවැනි රැල්ල ආවේ කටුනායක, සීදුවේ හෝටලයක නතර වී සිටි අයකුගෙන් බව කිව්වේ ය. කොරෝනා ඇමතිතුමිය එය පාර්ලිමේන්තුවේ දී කිව්වා ය. ඉන් බරපතළ තත්ත්වයකට මුහුණ දෙන්නට සිදු විණි. එහෙත්, එය සැලකිල්ලට නොගනිමින්, විසිවැනි සංශෝධනය සම්මත කර ගන්නට මුළු බර දැම්මේ ය. විස්ස සම්මත වුවත්, කොරෝනා රැල්ල මැඬපවත්වන්න බැරි වූයේ ය. වගේ වගක් නැතිව යුක්රේනයෙන් බුරුතු පිටින් ගෙන්වූයේ ය. ගෙන්වපු අයත් කොරෝනා පොසිටිව් ය. අන්තිමේ දී දන්නෙ ම නැතිව තුන්වැනි රැල්ල ආවේ ය.

තුන්වැනි රැල්ල එන්නේ ලෝකෙ හතරවටින් ම ගෙන් වූ අයගෙන් ය. බ්‍රිතාන්‍ය ප්‍රභේදය රටට ඇතුළු වන්නේ ඒ අනුව ය. ඒ අතර හැම දා ම ඉන්දියාවේ තත්ත්වය හුවාදක්වන්නේ ය. එසේ කරන ගමන් ඉන්දියාවේ කොරෝනා ලෙඩ්ඩු නිරෝධායනය කරන්න ලංකාවට ගෙන්වා ගත්තේ ය. සංචාරක වීසා මත ආපු ඉන්දියානුවෝ හෝටල්වල අදටත් සිටිති. තවමත් එය නිල වශයෙන් නවත්වා නැත. මේ ගැන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ලගෙන් ඇහුවා ම කිව්වේ, පට්ටපල් බොරුවක් කියා ය. එහෙත්, ප්‍රසන්න රණතුංග ප්‍රසිද්ධියේ ම එය පිළිගත්තේ ය. පී.සී.ආර්. යන්ත්‍රයක් ලබා දෙන්න යැයි මීමුරේ ගම්වැසියෙක් ජනාධිපති නන්දසේනට ප්‍රසිද්ධියේ ම කිව්වේ ය. ඒ වෙලාවේ උපහාසයෙන් කිව්වේ, “පී.සී.ආර්. වැඩක් නැහැ. අපි හැමෝටම එන්නත දෙනවා. ඒක තමයි, හොඳ ම උත්තරය” කියා ය. එහෙත්, දෙන්න එන්නතක් ඇත්තේ නැත.

මේ වන විට එන්නත් දහතුන් ලක්ෂයක් විතර රටට ගෙන්වා තිබේ. ඉන් දශලක්ෂයක් විතර ලබා දී ඇත. එහෙත්, පළමුවැනි එන්නත ලබා දුන් අයට දෙවැනි මාත්‍රාව තවමත් නැත. විශේෂඥයන් කියන විදියට නියම කර ඇති කාලය තුළ දෙවැනි එන්නත දුන්නේ නැත්නම්, සාර්ථක ප්‍රතිඵල එන්නේ නැත. දැනටමත් පළමුවර පමණක් එන්නත ලබා දුන් කිහිප දෙනකුට ම රොගය වැළඳී ඇත. චීනයෙන් ලැබුණු ‘සයිනොෆාම්’ එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත වී නැත. ළඟදීම ගෙන්වපු ‘ස්පුට්නික්-5’ටත් එවැනි අනුමැතියක් නැත. එය ලංකාවේ ඖෂධ නියාමන අධිකාරියෙන් අනුමත වී ඇත. ඉන්දියාව පැත්තෙන් කියන්නේ, දැන්ම ම එන්නත විශාල තොගයක් ලබා දීමට නොහැකි බව ය. එහෙත්, ලංකාවේ ඇමතිවරු කයිවාරු ගහන්නේ එන්නත් මිලියන ගණනක් හෙට අනිද්දා එන බවට ය. මේවා කිසිවක් විශ්වාස නැත. ජනතාව විශ්වාස කරන්නේ ද නැත. මේ අතර පසුගිය දා කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ කිව්වේ, එන්නත කවලම් කරලා දෙන්න පුළුවන් ද කියලා හොයලා බලන බව ය. එනම්, ‘ඇස්ට්‍රා සෙනිකා’ දුන් අයට දෙවැනි එක ලෙස ස්පුට්නික්-5 දෙන්න පුළුවන් ද වාගේ එකක් ය. එහෙම එකක් මේ වන තෙක් වෛද්‍යවරු අනුමත කර නැත. දෙවැනි මාත්‍රාව ලබා දිය යුතු කාලය තුළ ලබා දෙන්න බැරි වුණු ආණ්ඩුව දැන් එකී කාලය දික් වූවාට කමක් නැහැ යැයි ද කිව්වේ ය.

පහුගිය දා පිළියන්දල ප්‍රදේශයේ සිදු වූ සිදුවීමෙන් රටේ ම සිද්ධ වෙන දේ හිතා ගත හැකි ය. කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය මුළු ප්‍රදේශය ම වසා තැබිය යුතු යැයි නිර්දේශ කළා ය. ඒ අනුව තීන්දුව ක්‍රියාත්මක විය. එහෙත්, පැය කිහිපයක් තුළ දී ගාමිණී ලොකුගේ ඇමැතිවරයා මැදිහත්ව තමන්ගේ ව්‍යාපාරවලට බලපාන ප්‍රදේශය විවෘත කර ගත්තේ ය. යුද හමුදාපතිවරයා කිව්වේ, හතරවටින් ආපු බලපෑම් නිසා එසේ කළ බව ය. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන කිව්වේ, තමාගේ අනුමැතියකින් තොරව එය සිදු වූ බව ය. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විෂයභාර ඇමතිවරිය චෝදනා කළේ සංචරණ සීමා පැනවිය යුතු යැයි සෞඛ්‍ය අංශ නිර්දේශ කළත්, එම යෝජනාව පරාද කළ බව ය. පරාද කළේ කවුරුන් ද යන්න ඇය නොකිව්වා ය. එහෙත්, කාටත් සිතාගත හැකි ය. ඉතා පැහැදිලිව සිදු වූ හා සිදු වන දේවල්වලින් පෙනී යන්නේ ආණ්ඩුවේ තදබල නොසැලකිල්ලෙන් සියල්ල සිදු වන බව ය. එනම්, ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම හරියට ඉටු කරන්නේ නැති බව ය. බලයට ආවේ ජාතික ආරක්ෂාව ඉස්සරහට දමාගෙන ය. එහෙත්, අද වන විට සමස්ත ජනතාව ම මහා අනතුරකට ඇදවට්ටවා ඇත. මහජනතාවට ආරක්ෂාව සැපයීමේ වගකීමෙන් ආණ්ඩුව ඉවත් වී ඇත.

මේ පිළිබඳව ඉනදියාවේ උත්තර් ප්‍රදේශයේ අලහබාද් මහාධිකරණය වැදගත් තීන්දුවක් ලබාදුන්නේ ය. රෝගීන්ට ඔක්සිජන් සපයා දීමට නොහැකි වීම පිළිබඳව දුන් තීන්දුවෙන් ප්‍රාන්ත ආණ්ඩුව ජන සංහාරයක් සඳහා ඉඩකඩ ලබා දී ඇති බව සඳහන් කර තිබේ. එමෙන් ම එය බරපතළ සාපරාධී වරදක් බව ද කිව්වේ ය. අද වන විට ලංකාවේ තත්ත්වය ද එසේ ම ය. රෝහල්වල ශ්වසන රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි ඇඳන්වල සැලකිය යුතු හිඟයක් තිබේ. එවැනි ඇඳක් නොමැතිකමින් මාවනැල්ල රෝහලේ වෛද්‍යවරයකුගේ සහෝදරයකු ම මිය ගියේ ය. ඊයේ වනවිට අනුරාධපුර, තිරප්පනේ ඉඳලා අනුරාධපුර නගරයේ ඇති ශික්ෂණ රෝහලට ගෙන ආ අවුරුදු පනස්පහක් වයසැති රෝගියා ඇඳ පෙනි පෙනී මිය ගියේ ය. එවැනි රෝගීන් විශාල ප්‍රමාණයක් මුළු රටේ ම මෙම ප්‍රශ්නයට ම මුහුණ දෙමින් සිටිති. ගාමිණී ලොකුගේ විවෘත කළ පිළියන්දල ප්‍රදේශයේ කළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලින් සියයට 55ක් ම රෝගීන් බව හඳුනාගෙන ඇත. ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩුව වාගේ ම ලංකාවේ ආණ්ඩුව ද ඊට වඩා සාපරාධී අපරාධයක් කරමින් සිටියි.

අප්‍රේල් අට වැනිදා මාරාන්තික ප්‍රභේදය ව්‍යාප්ත වන බව දැනුම් දී තිබිය දීත්, එය වළක්වා ගැනීමට පියවර නොගැනීම ද සාපරාධී වරදකි. පාස්කු ප්‍රහාරයේ දී එවක පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට ඇත්තේ ද මෙම චෝදනාව ම ය. එනම්, දණ්ඩ නීති සංග්‍රහයේ 294 වැනි වගන්තිය අනුව සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය මිනීමැරුමක් ලෙස දක්වා ඇත. එහි හතරවැනි වගන්තියේ “අන්තරාය කොපමණ ආසන්න ද කිවහොත්, සෑම අතින් ම මරණය සිදු විය හැකි බව හෝ මරණය සිදු විය හැකි ශාරීරික පාඩුව විය හැකි බව ක්‍රියාව කරන්නා දැනගෙන සිටිමින් ම මරණය සිදු කිරීමේ හෝ ඉහත කී ලෙස පාඩුවක් සිදු කිරීමේ අවදානමට මුහුණ පෑමට සමාව දිය හැකි හේතුවක් නොමැතිව ම එකී ක්‍රියාව කිරීම” ලෙස සඳහන්ව තිබේ. මාරාන්තික වෛරස් ප්‍රභේදය ව්‍යාප්ත වීම හරහා දහස් ගණනක් ජීවිත මරණයට පත්විය හැකි බව දැන දැනත් එය වළක්වා ගැනීමට පියවර නොගත්තේ ය. එය සිදු වීමට ඉඩ හැරියේ ය. එය බරපතළ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකි. නීතිය තුළ මෙය අභියෝග කළ හැක්කකි. ඉන්දියාවේ මහාධිකරණය දුන් තීන්දුව ආකාරයෙන් ම නීතිය තුළ මෙය ඔප්පු වන්නකි. පුරවැසියන්ට ඒ වෙනුවෙන් මැදිහත් වීමේ අයිතිය ඇත. පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂාව සැපයීමේ වගකීම පවරා ඇත්තේ, ආණ්ඩුවට ය. ආණ්ඩුව එය නොකර හැරීම ම එය සාපරාධී වරදක් ම වන්නේ ය. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගත්තා සේ ම කොරෝනා තත්ත්වයෙන් ජනතාව මරණයට පත් විම වළක්වා නොගැනීම වත්මන් ආණ්ඩුවට එරෙහි ප්‍රධාන චෝදනාවකි. පහුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වාගේම මේ ආණ්ඩුවත් ඒ වරද ම සිදු කොට ඇත. දෙගොල්ලන් ම කර ඇත්තේත්, කරන්නේත් එකම වරද ම බව පැහැදිලි ය●

ජගදාක්‍ෂි

 

Leave A Reply

Your email address will not be published.

fourteen − ten =