වන්දි නැති, දඬුවම් නැති අපරාධ

ධම්මික පැණිය කොවිඩ් 19 රෝගය සඳහා ප්‍රතිකාරයක් නොවන බව සායනික පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පසුගිය 05දා වාර්තා විය. කොරෝනා වෛරසයට එරෙහි දේශීය ඖෂධ පිළිබඳ සොයාබැලීමට පත් කරන ලද විද්වත් කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කොට තිබේ. ධම්මික බණ්ඩාර නමැත්තා තමා කොරෝනා රෝගය සඳහා ප්‍රතිකාරයක් ලෙස පැණියක් නිෂ්පාදනය කළ බව කීවේ පසුගිය නොවැම්බරයේ ය. එතැන් සිට මෙය ප්‍රවර්ධනය කිරීමේ කටයුතු සිදු වූයේ මාධ්‍ය හා දේශපාලනය හරහා ය.

ඕනෑම ජරාවක්, බොරුවක් මාකට් කර තමන්ගේ ‘යූ ටියුබ්’ නාළිකා ජනප්‍රිය කර ගැනීමට දත කන ඊනියා මාධ්‍යකරුවන් ද, ජනප්‍රියත්වය සොයමින් සහ ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයට ද ගැළපෙන අයුරින් හැසිරෙන රාජ්‍ය මෙන්ම පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නාළිකා ද මෙහි පෙරමුණේරාළලා විය. බරපතළම තත්ත්වය වූයේ රටේ සෞඛ්‍ය ඇමතිනිය, රාජ්‍ය ඇමතිවරුන්, කතානායක ආදීන් ද ප්‍රසිද්ධියේ මෙම පැණිය පානය කරමින් එය ප්‍රවර්ධනයට රාජ්‍ය අනුමැතිය වක්‍රාකාරයෙන් ලබා දීම ය. මෙය විශාල ජාවාරමක් බවට පත් වූ අතර, ධම්මික පැණිය නොනිල ලෙස රට පුරා බෙදාහැරෙන්නට විය. කොවිඩ් වසංගතයට බිය වී සිටි කිසිවක් නොදන්නා මංමුළා වූ ජනතාව දහස් ගණන් පොදිකමින් පැණියට පොරකන්නට වූහ. ආරක්ෂක අංශවලට රාජ්‍ය ආයතනවලට පැණිය හොර පාරෙන් පැටවෙන්නට වූයේ තවත් ගරානාවක් ලෙස ය. කොළඹ වරායේ මුදලින් වරාය සඳහා පැණි බෝතල් විශාල තොගයක් මිල දී ගැනීමේ සිද්ධි වාර්තා විය. අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධියටත්, මහනුවර දළදා මාලිගයටත් මෙම පැණිය පූජා කිරීමේ මාධ්‍ය සංදර්ශන පැවැත්වුණේ, ජාවාරම තවත් සරු කර ගැනීමට ය.

අවසානයේ පොකට් එකට වැදුණේ මේ මිථ්‍යාවට රැවටුණු ජනතාවගේ ය. ඒ මිථ්‍යාවේ එල්ලී සිටි ආණ්ඩුව කොවිඩ් මාරයා පැරදවීමට විද්‍යාත්මක විසඳුම් සෙව්වේ නැත. වසංගත රෝග විශේෂඥයන් කී දෙවල් ගණන් ගත්තේ නැත. හදිසි තත්ත්වයකට අවශ්‍ය පූර්ව සූදානම් කටයුතු සිදු කළේ නැත. දූපතක් වීමේ වාසියවත්, නිදහස් සෞඛ්‍ය සේවා ජාලයක් පැවැතීමේ වාසියවත් පාලකයන්ට ගත නොහැකි විය. ප්‍රතිඵලය වූයේ දහස් ගණනින් කොවිඩ් මාරයාගේ ගොදුරු බවට පත්වීමත්, බොහෝ දෙනා තම ජීවිතවලින් වන්දි ගෙවීමත් ය. එපමණක් නොව වැඩි අනතුරුදායක කොවිඩ් වෛරස් ප්‍රභේදයක් හරහා තුන්වන රැල්ලක් රට තුළ නිර්මාණය වීම ය.

ඒ අතර හැම දේම ජාතික චින්තන කෝව තුළ දකින මහාචාර්ය පට්ටම් දරන සමහරු ද ධම්මික පැණිය කරතියා ගත්තේ ඉල්ලමක් ලැබුණු පරිද්දෙනි. එසේම සියලුම මගඩි වැඩ කරමින්, හැම දේටම අධිරාජ්‍ය විරෝධී කතා ආරූඪ කරන ආණ්ඩුවේ ඉඳුල්වලින් ජීවත් වන ඊනියා දේශප්‍රේමී මහත්වරුන් ද පැණියෙන් උද්දාමව සිටිනු දක්නා ලදී. පැණියට අනුමැතිය ලැබෙන බවට සමාජ මාධ්‍ය ජාලා හරහා ඇති තරම් ප්‍රචාරයක් දීමට මේ මහත්වරු උත්සාහ ගත්හ.

අවසානයේ පොකට් එකට වැදුණේ මේ මිථ්‍යාවට රැවටුණු ජනතාවගේ ය. ඒ මිථ්‍යාවේ එල්ලී සිටි ආණ්ඩුව කොවිඩ් මාරයා පැරදවීමට විද්‍යාත්මක විසඳුම් සෙව්වේ නැත. වසංගත රෝග විශේෂඥයන් කී දෙවල් ගණන් ගත්තේ නැත. හදිසි තත්ත්වයකට අවශ්‍ය පූර්ව සූදානම් කටයුතු සිදු කළේ නැත. දූපතක් වීමේ වාසියවත්, නිදහස් සෞඛ්‍ය සේවා ජාලයක් පැවැතීමේ වාසියවත් පාලකයන්ට ගත නොහැකි විය. ප්‍රතිඵලය වූයේ දහස් ගණනින් කොවිඩ් මාරයාගේ ගොදුරු බවට පත්වීමත්, බොහෝ දෙනා තම ජීවිතවලින් වන්දි ගෙවීමත් ය. එපමණක් නොව වැඩි අනතුරුදායක කොවිඩ් වෛරස් ප්‍රභේදයක් හරහා තුන්වන රැල්ලක් රට තුළ නිර්මාණය වීම ය.

ධම්මික වෙදමහතා ලෙස පෙනී සිටි පුද්ගලයන් වැනි අය අප සමාජයේ දුර්ලභ නැත. මෙවැනිම ව්‍යාජ රෝග සුව කරන්නන් ද, අනාවැකිකරුවන් ද, ආශීර්වාද කරන්නන් ද, අද්භූත බලයන් තමන්ට ඇතැයි කියන්නන් ද මේ පසුගාමී සමාජයේ දුර්ලභ නැත. ඒ බොහෝ විට ඔවුන් එදා වේල සොයාගන්නා ක්‍රමයයි. එහෙත්, ප්‍රශ්නය වන්නේ සමාජයට නායකත්වය දීමට, මඟපෙන්වීමට වගකීම භාරගෙන සිටින මාධ්‍ය ආයතන ද, දේශපාලන බලධාරීන් ද මේ මිථ්‍යාවන් වැළඳ ගැනීම හා ඒවා ප්‍රවර්ධනය කිරීමයි. එවිට ඒවා මහා පරිමාණ සමාජ අපරාධ බවට පත් වේ. ධම්මික පැණිය කොවිඩ් වෛරසයට කිසිදු ආකාරයක ප්‍රතිකාරයක් නොවන බව දැන් තහවුරු කර තිබේ. එවිට සියල්ල අවසාන ද? කිසිවක් සිදු නොවූ අයුරින් බලධාරීන්ට හැසිරිය හැකි ද? පැණිය සමාජගත කිරීමට දායක වූවන් කිසිදු වරදක් කොට නැද්ද? මුළුමහත් සමාජයක් මංමුළා කිරීමේ වගකීමෙන් ඔවුන්ට නිදහස් විය හැකි ද? සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු අදාළ ඇමතිවරුන් මේ නිසා ඉල්ලා අස්වන්නේ ද?

මේ කිසිවක් සිදු නොවන බව පමණක් අපට නිසැකවම කිව හැකි ය. ඒ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නිසා ය●

 

 

 

Leave A Reply

Your email address will not be published.

2 × three =