ලොකුගේගෙන් එළියට ආ පොලිටිකල් ලොක්ඩවුන්

පසුගිය දිනක පිළියන්දල පොලිස් බලප්‍රදේශය සම්පූර්ණයෙන්ම හුදෙකලා කිරීමට ගත් තීරණය ප්‍රදේශය නියෝජනය කරන ආණ්ඩුවේ ඇමතිවරයකු වන ගාමිණී ලොකුගේ මැදිහත් වී පැය විසිහතරක් යන්නටත් මත්තෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් සමාජය තුළ ඇති වී තිබේ. මෙය ලොකුගේ ඇමතිවරයාගේ වියුක්ත මැදිහත් වීමක් සේ ඇතැමකුට තේරුම් ගත හැකි වුව ද, එය හුදෙකලා සිදුවීමක් නොවන බව සිදුවීම් පෙළ දෙස බලන විට තේරුම් ගත හැකි ය.
රට තුළ කොවිඩ් වෛරසය ව්‍යාප්තිය ආරම්භක මොහොතේ පටන්ම ආණ්ඩුව ඊට මැදිහත් වූයේ වසංගතය පාලනය කිරීමට වඩා දේශපාලන කළමනාකරණයට ප්‍රමුඛතාව දෙමිනි. ඒ අනුව මෙරට දී පළමු ආසාදිතයා වාර්තා වූ පසුගිය වසරේ මාර්තු මාසය වන විට ලෝකය පුරාම රටවල් වසා දැමීමට කටයුතු කරමින් තිබිය දී මහ මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවන දිනය තෙක් රට විවෘතව තැබීමට ආණ්ඩුව විසින් කටයුතු කරනු ලැබී ය. රට වසා දැමුණේ නාමයෝජනා භාර ගත් දිනයට පසු දිනයේ සිට ය.
එහෙත් ඉන් පසු ද මැතිවරණය පැවැත්විය හැකි බව පවසමින් එවකට ද ආණ්ඩු බලයේ සිටි වත්මන් පාලක කණ්ඩායම රට විවෘත කර මැතිවරණය පවත්වන ලෙස ප්‍රසිද්ධියේම බලපෑම් කරන්නට විය. අවස්ථා කිහිපයක දීම මැතිවරණය කල් දමනු ලැබූයේ මැතිවරණ කොමිසමේ මැදිහත් වීමෙනි. මහ මැතිවරණයෙන් පසුව කොවිඩ් ව්‍යාපතිය දිගින්දිගටම විධිමත්ව පාලනය කිරීම ආණ්ඩුව නොසලකා හරිමින් සිටි අතර ඒ වෙනුවට ‘කොවිඩ් සමග ජීවත් වෙමු’ යන්න සමාජගත කරන්නට විය.
වෛරසය රට තුළට ඇතුළු වී වසරක කාලයක් ගත වුවත්, එය පාලනය කර ගත නොහැකි විය. අලුත් වට දෙකකින් නැවත මතු වෙද්දී, ආණ්ඩුව සැලැසුම් කළේ රට තුළ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යමින්, ආර්ථිකයට සිදු වන බලපෑම නතර කර ගැනීමට ය. ඒ නිසාම නුවරඑළියේ සැණකෙළි, සිංහල – දෙමළ අලුත් අවුරුද්ද සඳහා ජනතාවට මෙන්ම ව්‍යාපාරිකයන්ට ද රිසි සේ කටයුතු කළ හැකි තත්ත්වයට රට පත් කරමින් ආණ්ඩුව එහි පාලනය අතහැරියේ ය.
කොවිඩ් තුන්වන රැල්ල ආරම්භ වන්නේ එවැනි තත්ත්වයක් තුළ ය.
එසේ තුන්වන රැල්ලක් ආරම්භ වී දහස ඉක්මවමින් දෛනිකව ආසාදිතයන් වාර්තා වන විට ද ආණ්ඩුවේ අදහස වූයේ රට වසා දැමීමක් අනවශ්‍ය බව ය. ආණ්ඩුව එවැනි තීරණයක සිටින්නේ, අප්‍රේල් මුල් සතිය වන විට ලංකාවේ රෝගීන් වාර්තා වීම සියයට විසිපහක වැඩි වීමක් පෙන්නුම් කළ හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබිය දී ය. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝකයේ කලාප කිහිපයක රෝග ව්‍යාප්තියේ අති විශාල වැඩි වීමක් සිදු විය හැකි කලාප කිහිපයක් ප්‍රකාශයට පත් කරන ලදුව එහි එක් කලාපයකට ශ්‍රී ලංකාව ද ඇතුළත්ව තිබිය දී ය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙන්ම අනෙකුත් සෞඛ්‍ය විශේෂඥයන් ද මතුව ඇති අවදානම දිගින් දිගටම පෙන්වා දෙමින් සිටිය දී ය.
මේ අතර වෛසරය පාලනය වෙනුවට වෛරසය පාලනය සඳහා ගනු ලබන තීරණවලට ද වංගු ගසන බව හෙළි වූ තවත් සිදුවීමක් වූයේ මැයි මස තුන්වන දින කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පැවැති හමුදා ප්‍රධානියකුගේ යැයි කියන විවාහ මංගල උත්සවයක් පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමඟ ය. නාමයෝජනා භාර දුන් දිනට පසු දින රට වසා දැමුවා සේම රට තුළ විවාහ මංගල උත්සව පැවැත්වීම තාවකාලිකව තහනම් කරනු ලබන්නේ මැයි මස හතරවන අඟහරුවාදා සිට ය.
ලොකුගේ විසින් කරනු ලැබූ මැදිහත්වීම ද එහිම දිගුවක් විනා හුදු ලොකුගේගේ අමනෝඥ ක්‍රියාවක් නොවන්නේ ඒ නිසා ය.
දේශපාලකයන්නේ මෙවැනි විකාරරූපී හැසිරීම් ලංකාවට අලුත් දෙයක් නොවුව ද රාජ්‍ය නිලධාරීගෙන්
ඇතැමකු ද ජනතාව බිල්ලට දෙමින් කරන එවැනි කටයුතු කර දේශපාලකයන් බේරා ගැනීම සඳහා කටයුතු කිරීම අතිශය කනගාටුදායක තත්ත්වයකි. පිළියන්දල හුදෙකලා කිරීමට ගත් තීරණය වෙනස් කිරීම සම්බන්ධයෙන් රටේම සෞඛ්‍යයට වගකියන ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වගකීම් විරහිත හැසිරීම එක්තරා රූපවාහිනී වැඩසටහනක දී දකින්නට ලැබුණේ, එය වඩාත් තහවුරු කරමිනි. පහත දක්වා ඇත්තේ ඒ සංවාදයේ දී සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ලබා දුන් පිළිතුරු කිහිපයකි.

මාධ්‍යවේදියා – සංචරණ සීමා පැනවීම හෝ ප්‍රදේශයක් ලොක් ඩවුන් කිරීම සම්බන්ධයෙන් අවසාන තීරණය ගනු ලබන්නේ කවුරුන් විසින් ද?

සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් – මා විසින්

මාධ්‍යවේදියා – ඒ තීරණය ඔබ දැනුම් දෙන්නේ කාට ද?

සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් – කොවිඩ් මර්දන කාර්යසාධක බළකායේ ප්‍රධානියාට. එතැනින් තමයි තීරණය රටට නිවේදනය කරන්නේ.

මාධ්‍යවේදියා – පසුගිය දා ආන්දෝලනයකට ලක් වුණු පිළියන්දල ප්‍රදේශයේ ලොක් ඩවුන් කිරීමේ තීරණය ගත්තෙත් ඔය කියන ක්‍රමවේදයටම ද?

සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් – ඔව්. ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් අපෙන් ඉල්ලීමක් කරලා තිබුණා. ඒ අනුව අපි ඒ තීරණය ගත්තා.

මාධ්‍යවේදියා – ඊට පස්සෙ එදාම හවස පහට ඒ ලොක් ඩවුන් කිරීම ඉවත් කිරීමේ තීරණය ගත්තෙත් ඔබ ද?

සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් – නැහැ. ඒක ප්‍රදේශයේ බලධාරීන් ගත්ත තීරණයක්. ඔවුන් විසින් රෝගීන් ව්‍යාප්තියේ තත්ත්වය ගැන නැවත සලකා බලලා, ඒ කරුණු මත පදනම් වෙලා තමයි, තීරණය අරගෙන තියෙන්නෙ.

මාධ්‍යවේදියා – ඒක පිළිගන්න පුළුවන් පිළිතුරක් නෙමෙයි නෙ. උදේට කොවිඩ් රෝගීන් පොලිස් බලප්‍රදේශය පුරාම ඉන්නයි, එදාම හවස පහ වෙනකොට රෝගීන් ග්‍රාමසේවා වසම් අටකට සීමා වෙන්නයි හේතුවක් නැහැ නෙ. අනෙක් පැත්තෙන් ප්‍රදේශය ලොක් ඩවුන් කරල පැය කිහිපයක් යන කොට නැවතත් පරීක්ෂා කරලා නිගමනයකට එන්න පුළුවන් කියන එකත් ප්‍රායෝගික නැහැ නෙ

සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් – ප්‍රාදේශීය ලේකම්වරයා, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ඇතුළු ප්‍රදේශයේ බලධාරීන් විසින් තමයි ඒ තීරණය අරගෙන තියෙන්නෙ.

සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ පිළිතුරට අනුව පිළියන්දල පොලිස් බලප්‍රදේශයම හුදෙකලා කිරීමට ගත් තීරණය කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය ඇතුළු ප්‍රදේශයේ බලධාරීන් විසින් ඉල්ලා සිටින ලදුව කරන ලද්දකි. එහෙත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය පවසන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. “මගේ දැනුවත් වීමකින් තොරව තමයි, පිළියන්දලට පැනවූ සීමාවන් එදින සවසම ඉවත් කළේ. දැනටමත් මගේ ඉල්ලීම නම්, විශාල ප්‍රදේශයක් ලොක් ඩවුන් කිරීමෙන් පමණයි මේ තත්ත්වය පාලනය කරන්න පුළුවන් වෙන්නෙ කියන එකයි. අපිට පෙනෙන රෝගීන් සංඛ්‍යාව අනුව තමයි, හුදෙකලා කිරීම් සිදු කළේ. නමුත්, වාර්තා නොවූ රෝගීන් නිදැල්ලේ සැරිසරමින් මේ වන විටත් ඉන්නවා. රෝහල්ගත කීරීම ප්‍රමාද වීමෙන් රෝගීන් සියයකට වැඩි ප්‍රමාණයක් නිවෙස්වල රැඳී සිටිනවා. ‘සුවසැරිය’ ගිලන් රථ සේවාවට මේ සියලුම රෝගීන් ප්‍රවාහණය කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඉදිරියේ දී රෝගීන් නිවෙස් තුළ මිය යාමේ හැකියාවක් පවතිනවා.” යැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සමන්තිකා විජේසුන්දර පවසන්නී ය.
කෙසේ වෙතත්, සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වසන් කරන්නට උත්සාහ දරන දේශපාලන මැදිහත් වීම ලොකුගේ ඇමතිවරයා විසින්ම නිරාවරණය කරනු ලබන්නේ, මාධ්‍ය වෙත ද අදහස් දක්වමිනි.
“බුද්ධි අංශවලට සහ විවිධ අංශවලට තොරතුරු ලැබිලා තිබුණෙ මේ පළාතම ලොක් ඩවුන් කරන්න ඕනෙ නැහැ කියන එකයි. ඒ අනුව අපි ඉල්ලීමක් කළා යම්කිසි ලිහිලක් දෙන්න පුළුවන් නම් ඒ ලිහිල දෙන්න කියලා. ඒ අනුව තමයි, ලොක් ඩවුන් කිරීම ඉවත් කළේ.” යැයි ලොකුගේ පවසයි.
මේ පිළිබඳව සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ, එවැන්නක් ඇමතිවරයා සිදු කළේ නම්, එය
වැරැද්දක් බව ය.
මේ අතර හුදෙකලා කිරීම ඉවත් කිරීමට බලපෑම් කිරීමේ වගකීම ප්‍රදේශයේ වෙළෙඳ ප්‍රජාව මත පටවා ඇඟ බේරා ගැනීමට දරන උත්සාහයක් ද දැකගත හැකි විය. කැස්බෑව නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මාධ්‍ය සාකච්ඡාවක ද ඒ බව සඳහන් විය.
පිළියන්දල පොදු වෙළෙඳපොළ එක්සත් වෙළෙඳ සංගමයේ අසිත රණසිංහ පවසන්නේ, එවැනි ඉල්ලීමක් තමන් විසින් කිසි විටෙකත් නොකළ බව ය. “පිළියන්දල පොදු වෙළෙඳපොල විවෘත කරන්න කියලා අපි ඉල්ලීමක් කළ බවට ප්‍රදේශයේ දේශපාලන බලධාරීන් විසින් ප්‍රකාශයක් කරලා තිබුණා. ඒ ගැන අපේ කිසිම දැනුම්වත්භාවයක් නැහැ. අපි කිසිම කෙනකුගෙන් ඉල්ලීමක් කළෙත් නැහැ” යැයි ඔහු පවසයි.
අවසානයේ තමන් විසින් තවමත් ලොක් ඩවුන් කිරීම ඉවත් කර නොමැති බව සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පිළිගැනීමට සිදු විය. “එහෙම ඉවත් කිරීමක් කරලා තියෙනවා නම් ඒක වැරදියි. ඒ ගැන මම පරීක්ෂණයක් කරනවා” යැයි කියමින් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එය නොදන්නා බවක් පෙන්වීමට උත්සාහ දැරී ය. එය ද අහම්බයක් නොවන අතර, දේශපාලන අධිකාරිය බේරීමේ අරමුණක් එතැන නොතිබුණේ යැයි කිසිවකුටත් කිව නොහැකි ය. අවසානයේ බෙල්ල තියන්නට සිදු වුණේ සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ය. පරීක්ෂණ කණ්ඩායමක් පිළියන්දලට පිටත් කර යැවෙන්නේ ඒ අනුව ය.
දැන් කුමන පරීක්ෂණ සිදු කළ ද, රෝග ව්‍යාපතියට අවශ්‍ය කරුණු කාරණා සැලසී අවසන් ය. ‘ලොකුගේ පොකුර’ දිනෙන් දින වැඩි වන බව මේ වන විට අනාවරණය වෙමින් තිබේ. ලොකුගේ විසින් ආසාදිතයන් නැතැයි කී පිළියන්දල පොදු වෙළඳපොලේ ව්‍යාපාරිකයෙකු ද මේ වන විට රෝහලට රැගෙන යන අතරතුරදී මියගොස් ඇත. පී.සි.ආර් පරීක්ෂණයේද ඔහුට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ. එසේ වුව ද, හුදු පරීක්ෂණ කණඩායම් පත් කිරීමට එහා ගනු ලබන ක්‍රියාමාර්ගයන් නොමැත. ඒ නිසා දේශපාලකයන් ඉදිරියටත් ජන ජීවිත සමඟ සෙල්ලම් කරනු දැකීම හැර අන් යමක් දැකගත නොහැකි වනු ඇත●
-චතුරදිසානායක

Leave A Reply

Your email address will not be published.

15 − six =