ලංකාවෙත් ඔක්සිජන් ජාවාරමක් සිලින්ඩරය 60,000 පනී ! ටැංකි හිඟයක් – ආණ්ඩුව අහක බලයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ ආසාදිතයන්ට සැපයිය යුතු ඔක්සිජන් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් පැවතිය ද, සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ වගකිව යුතු පාර්ශ්ව ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමුනොකිරීම බරපතළ තත්ත්වයක් බවත්, මේ තත්ත්වය නිසා පෞද්ගලික ව්‍යාපාරිකයන් ඔක්සිජන් සිලින්ඩර් කළුකඩ මිලට විකිණීම සඳහා රැස් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවත් අනාවරණය වේ.
ලංකාවේ සෞඛ්‍ය අංශ සඳහා ඔක්සිජන් සපයන සමාගම් දෙකක් ක්‍රියාත්මක වේ. ඔවුන්ට මෙරට අවශ්‍යතාව සම්පූර්ණ කළ හැකි වුව ද, ඊට අවශ්‍ය සිලින්ඩර්, රෙගියුලේටර් ඇතුළු අනෙකුත් උපකරණ ප්‍රමාණවත් පරිදි රට තුළ නැත. ඉන්දියාවේ ද බරපතළ ගැටලුවක් ලෙස මතු වූයේ මෙසේ අදාළ උපකරණ නොමැති වීම ය. ස්වාභාවික වායුව දැඩි පීඩනයට පත්කොට ද්‍රව බවට පත් කිරීමත්, ඉන්පසු වායු ලෙස වෙන් කර ගැනීමත් සිදු කරයි. ඉන්පසු එය අධිපීඩනයක් යටතේ දැඩි ඝනත්වයක් සහිත සිලින්ඩර් තුළ ගබඩා කළ යුතු ය.

වගකිව යුතු අංශ මේ සිලින්ඩර් අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු නොකිරීමත්, ඒවා මිලට ගැනීමට කටයුතු නොකිරීමත් නිසා අදාළ සමාගම් දෙකේ පවතින ඔක්සිජන් සිලින්ඩර් පෞද්ගලික පාර්ශ්ව සහ ව්‍යාපාරිකයෝ විශාල වශයෙන් මිලට ගනිමින් සිටිති. මේ වන විටත් එම සමාගම් වෙළෙඳපොළට සපයන සිලින්ඩර් ප්‍රමාණය දැඩි ලෙස සීමා කර ඇත. ඒ සම්බන්ධයෙන් මෙරට ප්‍රමුඛ පෙළේ ඔක්සිජන් සිලින්ඩර් සහ ඊට අවශ්‍ය උපකරණ අලෙවි කරන සමාගමක් වන ‘යූනියන් කෙමිස්ට්’ ආයතනයෙන් කළ විමසීමක දී ඔවුන් පැවසුවේ, තමන් සතු සියලු‍ තොග මේ වන විට අවසන්ව ඇති බවයි. මේ වන විට තමන් සතුව අදාළ සිලින්ඩර් රෙගියුලේටරයක් හෝ නොමැති බවත්, සියල්ල විකිණී අවසන් බවත් එම ආයතනයේ ප්‍රකාශිකාවක් සඳහන් කළා ය.

කොවිඩ් 19 තුන්වැනි රැල්ල පැමිණීමට පෙර යූනියන් කෙමිස්ට් වැනි ආයතන මඟින් ඔක්සිජන් සිලින්ඩරයක් අලෙවි කරන ලද්දේ රුපියල් 23,000.00 – 25,000.00ත් අතර මුදලකට ය. ඊට අදාළ රෙගියුලේටරයක් අලෙවි කරන ලද්දේ රුපියල් 10,900.00ක මුදලකට ය. සිලින්ඩරය සහ රෙගියුලේටරය සම්බන්ධ කරන ෆ්ලෝ මීටරයක් රුපියල් 1,800.00ක මුදලකට අලෙවි කෙරිණි.

එහෙත් මේ වන විට කළුකඩ වෙළෙඳපොළේ ඔක්සිජන් සිලින්ඩරයක මිල රුපියල් 60,000.00 ඉක්මවා ඇත. එම මුදලට පෞද්ගලික පාර්ශ්ව විසින් නිවාසවල අවශ්‍යතාවක් වුවහොත්, ප්‍රයෝජනයට ගැනීම සඳහා මේ සිලින්ඩර් ගබඩා කර තබා ගැනීම මේ වන විටත් ආරම්භ කර තිබේ.

මේ වන විට ඔක්සිජන් වායුව මෙසේ පීඩනයක් යටතේ ගබඩා කර ගැනීමට හැකි ටැංකියක් ඇත්තේ, රජයේ රෝහල්වලින් කොළඹ, වසංගත රෝග විද්‍යායතනයේ හෙවත් අයි. ඩී. එච්. රෝහලේ පමණක් බව එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය හසිත් අත්තනායක ‘ලංකා’ වෙත පැවසී ය. ඊට අමතරව අර්ධ රාජ්‍ය රෝහලක් වන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ද ඔක්සිජන් ගබඩා කර ගත හැකි ටැංකියක් තිබේ. පසුගිය දිනෙක පැවැති කොවිඩ් මර්දන සැලැසුම් පිළිබඳ සාකච්ඡාවක දී තවත් මෙවැනි ඔක්සිජන් ටැංකි 4ක් රට පුරා රජයේ රෝහල් 4ක පිහිටු වීමට සාකච්ඡා කර තිබේ. එහෙත්, ඊට අදාළ රෝහල් තෝරා ගැනීමක් හෝ මුදල් වෙන් කිරීමක් මෙතෙක් සිදු කර නැත.
මේ සම්බන්ධයෙන් විමසීමට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි හෝ සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු පැවසුවේ, කොවිඩ් වසංගතය පාලනය සඳහා වන සියලු‍ සැලැසුම් කොවිඩ් මර්දන කමිටුව මඟින් සකස් කරන බවයි. ඔක්සිජන් අවශ්‍යතාව සම්බන්ධයෙන් දැනට ගැටලුවක් මතු වී නැති බවත්, ඉදිරියේ දී එවැනි තත්ත්වයක් සඳහා මුහුණ දීමට ආණ්ඩුවට හැකියාව ඇති බවත් එම ලේකම්වරයා සඳහන් කළේ ය.

(ඉන්දියාවේ ඡායාරුපයක් අන්තර්ජාලයෙන්)

Leave A Reply

Your email address will not be published.

4 × 5 =