මේ සිහිනමය බීච් වන මැද සදාකල් සාමයෙන් නිදනු මැන‍…!

ජර්මන් පෙන් මධ්‍යස්ථානය (PEN Centre Germany) විසින් සංවිධානය කරන ලද විවිධ සාහිත්‍ය වැඩකටයුතුවලදී පසුගිය වසර කිහිපය පුරාවට ඇය අපට නිරන්තරයෙන් හමුවූවා ය.
ප්‍රසන්න සිනාවකින් නිබඳ සැදී සිටි බෙහෙවින් කරුණාබර වැඩිහිටි ලේඛක මිතුරියක වූ ඇය නමින් කත්යා බේරන්ස් (Katja Behrens) වූවා ය.
පසුගිය දා, 78වැනි වියේ පසුවෙමින් සිටියදී, ඇයට දිවියෙන් සමුගන්නට කරුණු යෙදිණි.
ඇගේ අවසන් නවාතැන වූයේ මේ බීච් වනය යි. ‘සොබාදම් සුසානය’ යන අරුතැති‍ Naturfriedhof නමින් මේ ‘වනගත සුසාන’ ජර්මානු බසින් හැඳින්වෙයි.
කොරෝනා වසංගත සීමාකිරීම් හේතුවෙන් ඇය ඒ සොබාදම් සුසානය වෙත ඇරලවන්නට හැකියාව ලැබුණේ ඉතා සුළු ළබැඳියන් පිරිසකට පමණි. සිසිරයේ ඉපල්ව අවතාර මෙන් සිටි බීච් තුරු ළදල්ලෙන් සැරසෙන වසන්තයේ, ඇය එහි සදාකාලික නින්දට ගියා ය.
යුදෙව් සම්භවයක් සහිතව 1942 දී ජර්මනියේ බර්ලීන් නුවර උපත ලද කත්‍යාට, දිවිගලවාගැනීම පිණිස ඔස්ට්‍රියාවට පලාගිය සිය මව සහ මිත්තනිය සමඟ ළදරු වියේදී ම උපන් බිමින් විතැන් වන්නට සිදුවිය. එහි කතෝලික පූජකවරයකුගේ නිවසක සැඟවී යුදෙව් ඝාතක නාසි පාලනයෙන් හා දෙවන ලෝක යුද්ධයෙන් දිවි බේරාගත් ඇය ඇතුළු පවුලේ පිරිස, යුද්ධය අවසන් වූ පසු නැවත ජර්මනියට පැමිණියහ‍.
ලේඛිකාවක, පරිවර්තිකාවක හා සංස්කාරකවරියක වූ කත්යා වඩාත් ප්‍රසිද්ධ වූයේ ඇගේ ලේඛනවලින් ජර්මනියේ යුදෙව් සංස්කෘතිය නිරූපණය කළ හෙයිනි.
ජර්මන් පෙන් මධ්‍යස්ථානයේ සාමාජිකාවක වූ ඇය 2007 සිට 2009 දක්වා එහි උප සභාපතිනියක වූවා ය. එසේම ඇය ‘සිරගත ලේඛකයෝ’ (Writers-in-Prison) වැඩසටහනේ නියෝජිතවරියක ලෙස ද කටයුතු කළා ය.
දැන් ඉතින් මේ පාළු නිහඬ වනඅරණ ඇ‌ගේ සදාකාලික නවාතැන යි‍.
-සනත් බාලසුරිය (fb)

(අවමඟුලේ සහ සුසානයේ සේයාරූ ජර්මන් පෙන් මධ්යස්ථානය හෙවත් PEN-Zentrum Deutschlandවෙතිනි.)

Leave A Reply

Your email address will not be published.

2 × 1 =