ජනාධිපති අද (05) පාර්ලිමේන්තුවට පැමිණෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) පෙරවරු 10.05 ට පමණ පාර්ලිමේන්තුවට පැමිණියේය.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසලදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත් සහ ඩී.වී චානක ඇතුළු මැති ඇමතිවරුන් විසින් ජනාධිපතිවරයා පිළිගන්නා ලදි.

ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මැති ඇමතිවරුන් පෙරටු කරගෙන පාර්ලිමේන්තුවේ සභා ගර්භයට පිවිසි ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු සමඟ සභා ගර්භයෙහි අසුන් ගත්තේය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙහි අසුන්ගන්නා අවස්ථාවේදී පාර්ලිමේන්තුව අමතමින් සිටියේ වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයාය.

සභා ගර්භයෙන් පිටව යාමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ සිය කාර්යාලය වෙත ගිය ජනාධිපතිවරයා එහි මඳ වෙලාවක් රැඳී සිටියේය.

පසුගිය අප්‍රේල් 08 වනදා ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අතර එහිදී ඔහු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රථම වරට ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ සභාපතීත්වය ඉසිලුවේය.

ඊට පෙර අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය පෙබරවාරි 11 වනදා පාර්ලිමේන්තුවට පැමිණි අතර එදින ද ඔහු සභා ගර්භයට පිවිස පාර්ලිමේන්තු රැස්වීම්වලට ද සහභාගී විය.

Leave A Reply

Your email address will not be published.

two × four =