“කොරෝනා ව්‍යාප්තිය වැඩි වීම කියන්නේ ආණ්ඩුවේ අවදානම් අත්හදා බැලීම්වල ප්‍රතිඵලයක් !”

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ,
ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක
විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

මේ වෙනකොට රට තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තියේ විශේෂ වැඩි වීමක් දකින්න ලැබෙනවා. මේක හදිසියේ ඇති වූ තත්ත්වයක් ද?

පසුගිය අප්‍රේල් මාසය පුරාම යුරෝපයේත්, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල් කිහිපයකත් හැරෙන්න අනෙකුත් රටවල පොදුවේ වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් මතු වෙලා තිබුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඒ ගැන අවධාරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකාවෙත් සියයට විසිපහක පමණ වැඩි වීමක් තිබෙන බව මේ මාසයේ මුල දිම හඳුනාගෙන තිබුණා. ඒක නිසා මේ වැඩි වීම හදිසියේ ඇති වුණු තත්ත්වයක් නෙමෙයි.

ජනතාවගේ නොසැලැකිල්ල නිසා ලංකාව තුළ රෝගය ව්‍යාප්ත වුණා වගේ අදහසක් තමයි, මේ වෙනf කාට සමාජගත කරමින් තියෙන්නෙ. ඒ මතය සාධාරණ ද?

ඒකට මම එකඟ නැහැ. ජනතාවගේ ප්‍රශ්නය එන්නෙ ජනතාව වෙනුවෙන් වග කියන අයගේ වගකීම පැහැර හැරුණට පස්සෙයි. ඒක හරියට පාසලක දරුවො වැරැදියට හැසිරෙනවා නම්, ඒකට වැරැදි පාසල් දරුවො ද? දෙමවුපියන් සහ ගුරුවරුන් ද කියන ප්‍රශ්නය වගේ. මම නම් දකින්නෙ ඒක ගුරුවරුන්ගේ සහ දෙමවුපියන්ගේ ප්‍රශ්නයක් විදිහට. ඒ නිසා ජනතාවට හැසිරෙන්න ඕනෙ ආකාරය කියා දීමත්, ඒවා පාලනය කිරීමත් සෞඛ්‍ය අංශවල වගේම ආණ්ඩුවේත් වගකීමක්. එහෙම නැතුව මේක මහජනතාවගේ ප්‍රශ්නයක් කියල කියන එක සාධාරණ නැහැ.

ඔබ කලින් කිව්වා වගේ වෛරසය ව්‍යාප්තියේ වැඩි වීම ලෝකයේ රටවල් ගණනාවකම සිදු වෙලා තියෙනවා. ඒ හැම රටකම වෙලා තියෙන්නෙ ආණ්ඩුවල මැදිහත් වීම ප්‍රමාණවත් නොවීම ද?

ලෝකෙ ඕනෑම රටක ජනතාව කැමැතියි තමන්ගෙ වැඩ ටික පහසුවෙන් කරගෙන මහන්සිය අඩු ජීවිතයක් ගත කරන්න. ඒ නිසා ලැබෙන ඕනෑම ඉඩකින් රිංගල ගිහින් ඒ කියන සුවපහසු ජීවිතය අත්පත් කර ගන්න ජනතාව උත්සාහ කරනවා. අවදානමක් තියෙනවා කියන එක ගැන ඒ වෙලාවට තියෙන අවධානය අඩුයි. ඒක පාලනයට තමයි, රටක පාලන තන්ත්‍රයක් තියෙන්නෙ. වියට්නාමය, ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය, චීනය, ලාඕසය, කාම්බෝජය, තායිලන්තය, කියුබාව වගේ රටවල් ඇරෙන්න අනෙක් හැම රටකම මේ තත්ත්වය පාලනය කර ගන්න බැරි වුණා. අනෙක් රටවල් හැම එකක්ම වගේ  අනුගමනය කරන්නේ ඇමෙරිකාවේ ට්‍රම්ප් අනුගමනය කරපු ක්‍රමවේදයම තමයි. ඒත් විධිමත් මැදිහත් වීමක් ඇතුළෙ මේ තත්ත්වය පාලනය කරන්න පුළුවන් කියන එකට ලෝකෙන් උදාහරණ ඕනෙ නැහැ. ලංකාවෙම දෙදහස් විස්ස අවුරුදු සමය දිහා බැලුවා ම ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන්. ජනතාවටත් රෝගය ගැන විශාල බියක් ඇති වෙලා තිබුණා. අනෙක් අතට ඒ වෙන කොට ආණ්ඩුවට වුවමනා වෙලා තිබුණා, පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න ඕනෙ වටාපිටාව හදා ගන්න. ඒ නිසා හැම පැත්තෙන්ම මැදිහත් වෙලා රෝගය පැතිරීම පාලනය කළා. ගැටලුවක් විදිහට තිබුණෙ වැලිසර නාවික හමුදා කඳවුරේ ඇති වුණු තත්ත්වය විතරයි.

ආණ්ඩුව පැත්තෙන් ලැබුණ ලිහිල නිසා තමයි, මේ පැතිරීම පාලනය කර ගන්න බැරි වෙලා තියෙන්නෙ කියල ද ඔබ කියන්නෙ ?

අනිවාර්යයෙන්ම ඔව්. ඒක ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ විතරක් නෙමෙයි, රෝග ව්‍යාප්තිය පාලනය කරන එකට අදාළ සැලැසුම් හදන, ඒවා ක්‍රියාත්මක කරන හැම කෙනකුගේම ලිහිල තමයි, මේකට ප්‍රධාන හේතුව. හැබැයි ඒ සියල්ලේම මූලිකත්වය තියෙන්නෙ ආණ්ඩුවට. ආණ්ඩුව තමයි තීරණය කළේ රට විවෘත කරලා, ව්‍යාපාර සහ අනෙකුත් දෛනික කටයුතු පවත්වාගෙන යමින්, රෝගය පාලනය කරනවා කියලා. ඒ නිසා තමයි, විටින් විට කුඩා ප්‍රදේශ පමණක් හුදෙකලා කරන්න පමණක් කටයුතු කළේ. ඒක සාර්ථක ක්‍රමවේදයක් නෙමෙයි කියන එක අපි නම් දැනගෙන හිටියා. ඒ අවදානම්සහගත අත්හදා බැලීමේ කොටසක් විදිහට තමයි, අද අපි රටක් විදිහට මුහුණ දීලා තියෙන මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නෙ.

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් රට තුළට පැමිණීම මේ ව්‍යාප්තියේ වැඩි වීමට හේතුවක් නෙමෙයි ද?

ව්‍යාප්තිය වැඩි වීමට ඒක ප්‍රධානම හේතුවක් ද කියල තවම කියන්න අමාරුයි. නමුත්, ඒකෙත් බලපෑමක් ඇති කියල අපිට සැක කරන්න පුළුවන්. මම කලින් කිව්වා වගේම වෛරසයේ පැතිරීම ලෝකයේ බොහෝ රටවල වැඩි වෙලා තියෙනවා කියන එක අප්‍රේල් මාසයේ මුල් සතිය තුළ ම හඳුනා ගත්තා. නව වෛරස් ප්‍රභේද, විශේෂයෙන්ම බි්‍රතාන්‍යයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ තිබුණු ‘ඊ117’ කියන ප්‍රභේදය ලංකාව තුළට ඇතුළු වෙලා තියෙනවා කියල අපි හඳුනා ගත්තේ අවුරුදු නිවාඩුවෙනුත් පස්සෙයි. ඒත්, තවමත් ඒ නව ප්‍රභේදයේ පැතිරීම මොන ආකාරයෙන් ද, මොන තරම් ප්‍රමාණයක් ද කියන එක තවමත් අවසාන වශයෙන් සොයාගෙන නැහැ. ඒ කොහොම වුණත් ඒ නව ප්‍රභේද රටට ඇතුළු වෙන්නෙත්, රට පුරා ව්‍යාප්ත වෙන්නෙත් අසීමිත සංචරණයට රට තුළ ඉඩකඩ තිබුණු නිසයි.

කොරෝනාවලට අප සතුව බෙහෙතක් තියෙන බවත්, දැනට ඒක රහසක් බවත්, කොරෝනා ව්‍යාප්තිය පටන් ගත් මුල් කාලයේ කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රබලයකු වුණු රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ ප්‍රකාශ කළා. එවැනි ප්‍රකාශ ගැන ඕබේ අදහස මොකක් ද?

සාමාන්‍යයෙන් ඕනෑම වසංගතයක් ඇති වෙන කොට සාමාන්‍ය ප්‍රජාවක පළමු ප්‍රතික්‍රියාව තමයි, ඒකට බිය වීම. මේ වසංගතය වෙලාවෙත් ඒක එහෙම ම වුණා. ඒ එක්කම ලෝකයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සහ ආයතන ඒ සඳහා කළ යුතු දේ පිළිබඳ මාර්ගෝපදේශන ලබා දුන්නා. බොහෝ පිරිසක් ඊට අනුගත වුණා. ඒ අතරේ ලෝකයේ හැම තැන ම මේ වසංගතයට ප්‍රතිකාර සහ විසඳුම් සොයමින් හිටියා. ඇතැම් රටවල් ඒ සඳහා එන්නත්, ඖෂධ මත පදනම් වුණු විද්‍යාත්මක පර්යේෂණවල නියැළෙමින් සිටිය දී, ලංකාවේ විශාල පිරිසක් දෙවි දේවතාවුන්, දුම් හට්ටි, පැණි වැනි මිථ්‍යාව මත පදනම් වුණු ආදේශක ගැන කල්පනා කරන්න ගත්තා. එතැන දී ඇති වුණු ප්‍රධානම ගැටලුව තමයි, ඒ මිථ්‍යා සංකල්ප ප්‍රචාරය කිරීමට සහ ඒවාට විශ්වසනීයත්වයක් ලබා දීමට රාජ්‍ය මැදිහත් වීමක් ලබා දීම. ඒත් අද වෙන කොට ඒ සියල්ල මිථ්‍යාවන් බවට ඔප්පු වෙලා තියෙනවා. කොහොම වුණත්, රාජ්‍ය ඇමතිවරිය කිව්ව රහස් ඖෂධය මොකක් ද කියන්න නම් මම දන්නෙ නැහැ.

මේ වගේ ලෝක පරිමාණ ව්‍යසනයක් ඉදිරියේ ආණ්ඩුවකට එවැනි වගකීම් විරහිත හැසිරීමක නිරත වෙන්න පුළුවන් ද?

කොහෙත්ම බැහැ. ඒවැනි දේවල් කියන්නෙ වගකීම් විරහිත හැසිරීමක් විතරක් නෙමෙයි, ජනතාව නොමඟ යැවීමට සැලැසුම්සහගතව කටයුතු කිරීමක්. එහෙම ජනතාව නොමඟ යවනවා වෙනුවට කරන්න තිබුණෙ අපිට එන්නත් නිපදවීමේ හැකියාවක් නැති නිසා එන්නත් නිපදවන රටවල් එක්ක සම්බන්ධතා ගොඩනඟාගෙන කල් ඇතිව එන්නත් ලබා ගැනීමට කටයුතු කරන එක. ඒක පටන් ගත්තෙත් අවසාන මොහොතේ. ඒ ඇණවුම් කරන්න පෙර අපි බලන් හිටියා, අනෙක් රටවලින් අපිට ප්‍රදාන ලැබෙයි කියල. ඒ විදිහට ඉන්දියාවෙන් ලැබුණ ප්‍රදානයෙන් පස්සෙ තමයි, අපි පළමු එන්නත් තොගය ඇණවුම් කළෙත්. ඒ සියල්ලම වගකීම් විරහිත හැසිරීම් විදිහට තමයි මම නම් දකින්නෙ.

කොහොම වුණත්, මේ වෙන කොට අපි ලෝක පරිමාණයෙනුත්, රටක් විදිහටත් කොරෝනා වෛරසය විසින් ඇති කර තිබෙන විශාල අභියෝගයකට මුහුණ දීලා තියෙනවා. පවතින යථාර්ථය ඇතුළේ අපිට මොනව ද කරන්න ඉතිරි වෙලා තියෙන්නෙ ?

මුලින්ම කරන්න ඕනේ දේ තමයි, සෞඛ්‍ය බලධාරීන් සහ අනෙකුත් වගකිව යුතු ප්‍රධානීන් එකතු වෙලා මේ මොහොතේ ඇති වෙමින් තියෙන රෝග ව්‍යාප්තියේ වැඩි වීම පාලනයට කළ යුතු දේ මොනවාද කියන එකට අදාළ සංයුක්ත නව සැලැසුමක් හදන එක. ඒ සඳහා කලින් තිබුණ සැලැසුම දැන් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ක්ෂණිකව නව සැලැසුමක් සකස් කර ජනතාව ඒ පිළිබඳ දැනුම්වත් කිරීම ඉක්මනින් ම සිදු කළ යුතුයි. ජනතාව දන්නෙ නැත්නම් වෙන්නෙ මොකක් ද කියලා, කරන්න ඕනෙ මොකක් ද කියලා, ජනතාව රෝග පාලනයට අනුගත වෙන්නෙ නැහැ. රෝගීන් තුළ අනවශ්‍ය බියක් ඇති නොකර ජනතාව සමඟ එක්ව විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් විතරයි, අපිට මේ රෝගය පැතිරීම පාලනය කරන්න පුළුවන් වෙන්නෙ.
සංවාදය: චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

16 + 10 =